නිදාගැනීමේ නිවැරදි ඉරියව්ව – ඉස්ලාමීය විමසුමක්

දවසේ වැඩි කාලයක් කාර්‍යබහුල හා වෙහෙසකාරී ලෙස ගෙවාදමන අපට ‘නින්ද’ ඉතා අත්‍යඅවශ්‍ය අංගයකි. මෙම ‘නින්ද’ තුල අප ශරීරයට අවශ්‍ය කායික සහ මානසික වශයෙන් වැදගත් ජෛව රසායනික ක්‍රියාවලි ගණනාවක් සිදුවේ. දවසපුරා වෙහෙසට පත්ව දුර්වල වන අප සිරුර නැවත සංසිඳවමින් යථා තත්වයට පත්වන්නේ රාත්‍රී නින්දෙදිය. මෙහිදී මාංශ පේශි ලිහිල් වී ශරීර උෂ්ණත්වය අඩුවේ. මෙය ශරීරයට ඉතා සැහැල්ලුවක් ඇති කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි. මේ නිසා කය හෝ මනස වෙහෙසන කෙනෙකුට නින්ද අත්‍යාවශ්‍ය කාරණයකි.

මෙම නින්ද අපට නිසිලෙස නොලැබුණු විට හෝ අඩු වූ විට එහි බලපෑම ඉතා හානිදායකය. නින්ද අඩු වූ විට ප්‍රබල බලපෑම් ඇති වන්නේ ස්නායු පද්ධතියටයි. ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීමට ද මේ තත්වය හේතු වේ. මතක ශක්තිය අඩු වීම, සාංකාව, දිවා කාලයේ ඇතිවන අධික විඩාබර බව, මලානික බව, ක්‍රියාශීලි බව අඩු වීම, ඇස් වටා කළු වීම, සමේ රැලි ඇති වීම අධික මහන්සිය සහ අවපැහැ ගැන්වීම ආදිය ද නින්ද නොලැබීමෙන් ඇති වන හානි අතර වේ.

අද දින යහමග අඩවිය තුලින් කථා කිරීමට සූදානම් වන්නේ එම ‘නින්දෙහි’ ප්‍රධාන අංගයක් වන ‘ නිදා ගැනීමේ නිවැරදි ඉරියව්ව කුමක්ද?’ යන්න පිලිබදව හා ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදවයි. මනුෂ්‍යයෙකුට නින්ද කොතරම් වැදගත් ද එලෙසම නිදාගැනීමේ ඉරියව්වද කොතරම් වැදගත් වනවාද යන්න මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.

වර්ථමාන විද්‍යාව මේ විෂය පිලිබදව දීර්ඝ ලෙස කථා කරයි. විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව නිදා ගැනීමේ ඉරියව් පිලිබදව විද්‍යාත්මක විග්‍රහයන් සහිතව කරුණු ඉදිරිපත් කරන ලිපි ගණනාවක්ම අන්තර්ජාලයේ දක්නට ලැබේ. එහිද විශේෂයෙන් මෙම කෝවිඩ් (Covid 19) සමයේ එම රෝගීන් තම ශ්වසනය පහසු කිරීම පිණිස නිදාගත යුතු නිවැරදි ඉරියව් පිලිබදව ද කරුණු ඉදිරිපත් වීම අද දකින්නට ලැබේ. ඒ අනුව නූතන වෛද්‍ය විද්‍යාවේ නිර්දේශය වන්නේ…

‘නිදා ගැනීමේ දී ඇලව නිදාගැනීම වඩාත් නිවැරදි ඉරියව්ව බවත්, එය දකුණු පැත්තට බරව නිදාගැනීම වඩාත් සුදුසු ඉරියව්ව බවත්ය’

මෙම නිර්දේශයට පදනම් වූ කාරණයන් ලෙස වෛද්‍ය විද්‍යාව පවසන්නේ…

  • දකුණු පැත්තට බරව නිදාගැනීමේදී කොඳුඇට පෙල සෘජුව පිහිටන බැවින් කොඳුඇට පෙලෙහි තෙරපීමක් හෝ ආතතියක් ඇති නොවේ. මේ නිසා කොඳුඇට පෙලෙහි සංකූලතාවයන් ඇති නොවී සුවපහසු නින්දක් ලැබේ.  
  • දකුණු පැත්තට බරව නිදාගැනීමේදී පපු ප්‍රදේශයේ ඉහල කෙළවරේ හදවත පිහිටයි. මේ හේතුව නිසා කෙනෙකුට ගැඹුරු නින්දක් නොලැබෙන බව වෛද්‍ය විද්‍යාව පවසයි. එමනිසා සුළු ශබ්දයක් මඟින් වූවද අවදි වී සාමාන්‍ය තත්වයකට තම ශරීරය ක්ෂණිකව සූදානම් කරග හැකි බව පවසයි. එය උදෑසන අවදි වීමේ පුරුද්ද ද වර්ධනය කරයි.
  • දකුණු පැත්තට බරව නිදාගැනීමේදී ආමාශය උඩු පැත්තෙන් යටිකුරුව පිහිටන නිසා ගැස්ට්රයිටීස් වැනි උදර ආබාධයන් අඩුවන අතර උදරයේ සහ බඩවැල් හි බර රුධිර වාහිනිවලට බලපෑමක් ඇති නොකරන නිසා ශරීරයේ රුධිර සංසරණය හොදින් සිදුවේ.
  • දකුණු පැත්තට බර නොවී වම් පැත්තට බරව නිදා ගැනීමෙන් ඔබේ පෙනහළු, ආමාශය සහ අක්මාව ඔබේ හදවතට තද වන අතර එමනිසා අපේ ප්‍රධාන අවයවයන් මත ආතතියක් ඇති වේ.
  • මුණින් අතට නොසේනම් ඔබේ බඩ මත නිදාගැනීම ද නොකලයුතුය. එසේ ඔබ නිදාගන්නා විට ඔබේ සියලු අභ්‍යන්තර අවයවයන්ට පීඩනයක් ඇති වේ. එමනිසා ඔබේ පෙනහළු මඟින් නොගැඹුරු හුස්ම ගැනීම සිදු වේ. මෙය ආබාධ ගණනාවකට හේතු වේ.

මේ අනුව නිදාගැනීමේ වඩාත් සුදුසු ඉරියව්ව වන්නේ දකුණු පැත්තට බරව නිදාගැනීමේ ඉරියව්ව යන්න පැහැදිලිය.

එසේනම් අප ලිපියේ මාතෘකාවට අදාලව මේ විෂය පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න දැන් විමසා බලමු.

බරාවු ඉබුනු ආසිෆ් (රලි) තුමාණන් දන්වයි. ‘මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී. ‘ඔබ නින්දට යන සෑම අවස්ථාවකදීම යාච්ඥව (සලාතය) සඳහා වුළු (දොවනය) කරන ආකාරයට වූළු කරගන්න, පසුව ඔබේ දකුණු පැත්තතට හැරී නිදාගන්න…’ (දීර්ඝ හදීසයක් මෙහි කොටසක් ඉදිරිපත්කොට ඇත)

මුලාශ්‍ර ග්‍රන්තය – බුහාරී 247

හුදෙයිෆා ඉබුනු අල්යමාන් (රලි) දන්වයි ‘මුහම්මද් (සල්) තුමාණන් නින්දට යන විට, තම (දකුණු) කම්මුලට යටින් අත තබා “අල්ලාහුම්මා බිස්මික අමුතු වා අහ්යා” යනුවෙන් පැවසන ලදී. තවද එතුමාණන් අවදි වු විට “අල්-හම්දු ලිල්-ලහි අල්ලාදි අහියානා බාද මා ඇමතනා, වා ඉලායි අන්-නුෂුර්’’ යනුවෙන් පවසන ලදී.’

මුලාශ්‍ර ග්‍රන්තය – බුහාරී 6314

ඉහත හදීසයන් දෙක හොදින් හා බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ඉස්ලාම් පෙන්වාදෙන නිදා ගැනීමේ ඉරියව්ව ‘දකුණු පැත්තට බරව දකුණු කම්බුලට යටින් දකුණු අත තබා නිදාගැනීම’ යන්න පැහැදිලි වේ. (වැඩි දුරටත් පැහැදිලි කරගැනීමට ඉහත පිංතූරය බලන්න)

මෙම ලිපිය ආරම්භයේ ම දකුණු පැත්තතට බරව නිදා ගැනීමේ වාසිය හා එසේ නොකිරීමේ අවාසිය විද්‍යාත්මකව පැහැදිලි කලෙමි. නුතන විද්‍යාව කියන එම වම් පැත්තට හෝ බඩ මත (මුණින් අතට) නොවැතිර දකුණු පැත්තට හැරී නිදා ගැනීම වඩාත් සුදුසු යන සත්‍යය මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන් පැවසුවේ කෙසේද?. මෙයයි මෙතැනදී බුද්ධිමත්ව විමසා බැලිය යුතු පැනය. මෙම එතුමාණන්ට හෝ එම සමාජයට මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයවයන් හි පිහිටීම පිලිබදව දැනුමක් තිබුණේ නැත. එසේ තිබියදීත් වත්මන් විද්‍යාව පවසන සත්‍යය එදා එතුමාණන්ට පැවසීමට හැකිවූයේ මෙය දිව්‍යමය මඟපෙන්වීමක් මත ගොඩනැඟුණු හොඳම ආදර්ශයක් වූ නිසාම පමණක් යන්නෙහි සැකයක් නැත.

මේ හේතුව නිසයි අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව මෙසේ පවසන්නේ,

අල්ලාහ්වද, අවසාන දිනයද, ස්ථීර වශයෙන් විශ්වාස කරන්නන්ට අලංකාර වූ පූර්ව ආදර්ශයන්, නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයා (වන මුහම්මද්(සල්)) හමුවේ ඇත්තේය.

අල්කුර්ආන් 33-21

එසේනම් එතුමාණන්ගේ ආදර්ශයන් පුර්ණ වශයෙන් පිලිපැද මෙලොව හා පරලොව යහපත උදාකර ගැනීමට අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය අපට හිමි වේවා! යන පැතුමිණ් මෙම ලිපිය අවසන් කරමි.

ඉබුනු සහීර්

Leave a Reply