මුස්ලිම් මරණ ආදාහනය

කාලීන සංවාද පුවත් විමසුම සියළු ලිපි

මුස්ලිම් දේහ ආදාහනය පිළිබද ගැටලුව ලංකාවේ හුදු දේශපාලන මාතෘකාවකින් ඔබ්බට ගොස් මානව හිමිකම් පිළිබද පුළුල් ගැටලුවක් ලෙස සලකන බවක් නොපෙනේ. මානව හිමිකම් සම්බන්ධයෙන් යම් උනන්දුවක් දක්වන පුද්ගලයන් සහ කණ්ඩායම් පවා හුදු පළපළපුරුදු මණ්ඩලයක් මඟින් යම් තීරණයක් ගැනීම තුළ එම තීරණය අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන තීරණයක් ලෙස සලකන බව පෙනෙයි.

පුරවැසියකුගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාවක් මඟින් පිළිගැනීම; එම නිශ්චිත පුද්ගලයාගේ අයිතිවාසිකම පමණක් නොවේ. එය රටක නීතියේ ආධිපත්‍ය පිලිබඳ (Rule Of Law ) ප්‍රශ්නයක් ද වේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යමකුගේ අයිතීන් ව්‍යවස්ථාව තුළින් (මුලික නිතිය) සහතිකකර ඇති අවස්ථාවක එය උල්ලංඝනය කරන්නේනම් එය සමස්ත ආණ්ඩුක්‍රමයටම බලපාන නීතියේ ආධිපත්‍යට තර්ජනයක් වන අතර එනයින්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයකට බරපතල තර්ජනයකි. රටක නීතියේ ආධිපත්‍ය යනු බහුතරයේ ආධිපත්‍ය වීම භයානකය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් 10 වන වගන්තියෙන් ආගමික නිදහස තහවුරු කර ඇත. මෙමඟින් “ආගමික විශ්වාසයන් තමන්ගේ තෝරාගැනීම අනුව භාවිතා කිරීමේ නිදහස” පුද්ගලයන්ට ලැබී ඇත. මුස්ලිම් ජනයා තම ආගමික විශ්වාසය අනුව මියගිය දේහයන් ආදාහනය කරන්නේ නැති අතර ඒ අනුව එම විශ්වාසය අනුව කටයුතු කිරීමේ අයිතිවාසිකම ඔවුනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර දී ඇත.

සමාන්‍යයෙන් අයිතිවාසිකම් සමඟම නෛතික ලියවිලි වල විස්තර කරන ඒ සඳහා පවතින සීමාවන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වගන්තිය මඟින් විස්තර කර ඇත. නමුත් මෙම වගන්තිය මඟින් 10 වගන්තියේ අයිතිවාසිකම් ප්‍රකාශිතවම සිමා කරන්නේ නැත. 16 වන වගන්තියේ ඒ වෙනුවට සඳහන් වන පරිදි “මුලික අයිතිවාසිම්වල කෙසේ සඳහන් වුවද රටේ පවතින නීතිය සිමා කිරීම එම ප්‍රතිපාදන මඟින් සිදු නොවන බව දක්වා ඇත. ඒ අනුව වසංගතයක් ආශ්‍රිතව භාවිතා කළ හැකි නෛතික ප්‍රතිපාදන ක්‍රියාවේ යෙදවීමට හැකියාවක් ඇත. නමුත් මෙයින් කිසිදු විටෙක රටේ මුලික නීතිය උල්ලංඝනය කිරීමට අවස්ථාවක් උදාවෙන්නේ නැත.

බලධාරීන් මෙන්ම ආදාහනයට පක්ෂව අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ 2020 මාර්තු මසදී සකසන ලද කොවිඩ්-19 සම්බන්ධ මාර්ගෝපදේශ මාලාව අනුව ආදාහනය අනිවාර්ය බවය. මෙම මාර්ගෝපදේශවල 7 කොටසේ i, ii, සහ iii කොටස්වල මෘත ශරීරයන් ආදාහනය කළ යුතු (exclusive cremation) බව දක්වා ඇත.

මෙම ලියවිල්ල නිපුණතා මණ්ඩලයක් මඟින් නිර්මාණය කළ බවට එහි ආරම්භයේ නම් සදහන් කර ඇති අතර එය වූ කලි හුදු විධායකය (සෞඛ්‍ය අමාත්‍යංශය ) මඟින් නිර්මාණය කල ලියවිල්ලකි. දේශපාලන ආයතනයක් වන විධායකය විසින් නිර්මාණය කරන මෙවැනි මාර්ගෝපදේශයක් අයිතිවාසිකමක් සීමා කිරීම සඳහා යොදා ගැනීම කිසිසේත්ම මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සළකා බලන කල පිළිගත හැකි නිර්නායකයක් වන්නේ නැත.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු ලෙස අභ්‍යාස කරන රටවල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් සීමා කිරීම් සඳහා යොදා ගන්නා නිර්නායකයන් ඉතාම ශක්තිමත්ය.

අයිතිවාසිකමක් උල්ලංඝනය සඳහා යම් ප්‍රතිපාදනයක් ගෙන එන්නේ නම් ඒ සදහා විශේෂයෙන්ම ප්‍රමාණවත් ලෙස වැදගත් අරමුණක් තිබිය යුතුය (Sufficient Important Object). මෙහිදී අන් පුරවැසියන්ගේ ජිවිත කොවිඩ්-19 ආසාධනය වීමෙන් ආරක්ෂා කර ගැනීම වැදගත් අරමුණ ලෙස ඉදිරිපත් වී ඇත. අයිතිවාසිකම් උල්ලංඝණය කරන පාර්ශ්වය අධිකරණයේ වග උත්තරකරු වූ විට ලෙහෙසියෙන්ම සමත්වන පරීක්ෂණය මෙය වේ. නමුත් හුදු අරමුණ පමණක් ප්‍රමාණවත් නොවේ. එම අරමුණ සහ අයිතිවාසකම උල්ලංඝණය කිරීම අතර තාර්කික සබඳතාවක් (Rational connection between objective and the infringement) තිබිය යුතුය. මෙහිදී මිනිස් ජිවිත ආරක්ෂා කිරීම සහ ආදාහනය අතර කිසිදු තාර්කික සම්භන්ධතාවයක් දැකිය නොහැක. මේ සඳහා අධිකරණයන් විසින් යොදාගන්නා කරුණු අතිශය තීරණාත්මක ලෙස උල්ලංඝණය සහ ඊට හේතුව අතර සම්බන්ධයක් ඉල්ලා සිටියි .

මෙම සම්බන්ධතාවය තාර්කික වීම සඳහා හුදු නිපුණතා මණ්ඩලයක මාර්ගෝපදේශයක් පමණක් (2020 මාර්තු මසදී සකසන ලද කොවිඩ්-19 සම්බන්ධ මාර්ගෝපදේශ) උල්ලංඝනය කරන්නා (ආණ්ඩුව) විසින් ඉදිරිපත් කරනු ලබයි. මෙය කිසිසේත් ම අයිතිවාසිකමක් උල්ලංඝණය කිරීමට ශක්තිමත් හේතුවක් වන්නේ නැත. මෙම තාර්කික සම්බන්ධතාවය පෙන්නීම සඳහා අඩුම තරමේ ජාත්‍යන්තරව මෙවැනි වසංගත තත්වයකදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පුළුල්ව ගෙනහැර දැක්විය හැකිය. ලෝකයේ සාතිශය බහුතරයක රටවල් කිසිසේත්ම ඉස්ලාම් දේහයන් ආදාහනය කරන්නේ නැත; නැත්නම් ජාත්‍යන්තර සංවිධාන (WHO වැනී ) මඟින් ලබා දී ඇති මාර්ගෝපදේශයන් ගෙනහැර දැක්විය හැකිය. WHO ඉදිරිපත් කර ඇති මාර්ගොපදේශයන් හී මිහිදන් කිරීම සම්බන්ධයෙන් කිසිදු තහනමක් පනවා නැත. මෙම කරුණු සැළකීමේදී දේහයන් මිහිදන් කිරීම උල්ලංඝණයට අදාළව තාර්කික කිසිදු කරුණක් පෙන්වා දීමට නොහැකිය. මේ දක්වාම මිහිදන් කරන ලද දේහයකින් ජිවත්වන්නවුන්ගේ ජිවිතයට හානියක් වූ බවට තාර්කික සම්බන්ධයක් ලංකාවේ නොව ලෝකයෙන්වත් උදාහරණයට ගත හැකි සිද්ධීන් වාර්තා වී නැත. එනම් උල්ලංඝණයේ අරමුණ සහ අයිතිවාසකම උල්ලංඝණය කිරීම අතර තාර්කික සබඳතාවක් පෙන්වා දිය නොහැක.

මේ සඳහා උල්ලංඝණය කරන (ආණ්ඩු) පාර්ශ්වය වෙනුවෙන් සිදු කරන ජනප්‍රිය කරුණු දැක්වීමක් වන්නේ බහුතර ජනතාවක් විසින් (සිංහල බෞද්ධයන්) මේ සඳහා විරෝධයක් දක්වන බවය. මුලික අයිතිවාසිකම් ව්‍යවස්ථාව තුළින්ම තහවුරු කර දී ඇත්තේම එය බහුතරයක හෝ ආධිපත්‍ය මතය හෝ ක්‍රියාකාරිත්වයන් මඟින් උල්ලංඝණය වීම වැළැක්වීම සඳහා ය. එබැවින් මෙම කරුණු දැක්වීම මුලික අයිතිවාසිකම් සම්බන්ධව හරයාත්මකවම වැරදි කරුණු දැක්වීමකි.

අයිතිවාසිකමක් උල්ලංඝණයට භාජනය කිරීමේදී තවත් වැදගත්ම මුලධර්මයක් වන්නේ එය හැකි අවම මට්ටමකින් උල්ලංඝණය කිරීමයි (Minimum impairment ). ප්‍රායෝගික ලෝකය තුළ විවිධ කරුණු මත අයිතිවාසිකම් සීමාකිරීම් වලට ලක් කිරීමට සිදුවේ. නමුත් මෙසේ සීමා කිරීමේදී අදාළ අයිතිවාසිකම අවම මට්ටමකින් සීමා කිරීමට බලධාරීන් ක්‍රියා කළ යුතුය. උදාහරණයක් ලෙස මෙම දේහයන් මිහිදන් කිරීම සඳහා ජනාකීර්ණ නොවන ප්‍රදේශ තෝරා ගැනීම වැනි විකල්ප කරා ගමන කිරීමට හැකියාව ඇත. නමුත් කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයකින් තොරව උපරිම මට්ටමින්ම පළමු පියවරෙන්ම මෙම අයිතිවාසිකම උල්ලංඝණය වීම සිදු කර ඇත.

යම් අයිතිවාසිකමක් සිමාවට ලක් කරන විට සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ සමානුපාතික ආචරණයක් (proportionality Effect) තිබීමයි. නැතහොත් උල්ලංඝණයෙන් ඇතිවන බලපෑම්වල සහ උල්ලංඝණය ඇති හේතුන් අතර සමානුපාතිකභාවයක් තිබිය යුතු වීමයි. දීර්ඝකාලයක් මුළුල්ලේ ඉස්ලාම් භක්තිකයන් තුළ මුල්බැසගත් ආගමික විශ්වාසයක් විනාශ කිරීම මෙමඟින් සිදුවී ඇත.අනෙක් අතට කිසිදු පර්යේෂණයකින් දේහයන් මිහිදන් කිරීම මත කොවිඩ්-19 ආසාධිතයන් සොයාගත් බවක් ඔප්පු වී නොමැත. මේ අනුව ආගමික නිදහසේ අයිතිය උල්ලංඝණය කිරීම මඟින් ඇතිවන ප්‍රතිඵලයන් සහ එසේ කිරීමට තුඩු දුන් හේතුන් දීර්ඝව සහ ගැඹුරින් සාකච්ඡා කළ යුතුව ඇත.

ප්‍රසන්න පතිරාජ | Prasanna Pathiraja

උපුටා ගැනීම – විකල්ප වෙබ් අඩවිය

ඉදිරිපත් කිරීම – යහමග