ධනාත්මක සිතුවිලි හා ඉස්ලාම් – අල්කුර්ආන් විමසුමක්

මනුෂ්‍යයා පාලනය කරනු ලබන්නේ ඔහු තුළ ඇති වන සිතුවිලි මඟිනි. මිනිස් සිතුවිලි ඔහුගේ ජීවිතයට බලපාන බැවින් ජීවිතය පිළිබඳ සුබවාදී දෘෂ්ටියක් බැලීම අත්‍යඅවශ්‍ය කාරණයකි. ලෝකය පිළිබඳ  පවතින මෙම සුභවාදී දෘෂ්ඨිය නොඑසේ නම් ධනාත්මක සිතුවිලි මතයි ලෝකය ඉදිරියට ගමන් කරන්නේ. එසේ නොවී අශුභවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලන්නට වූයේනම් මිනිස් සිත් තුල ඉතිරි වන්නේ පසුතැවීම පමණි. එසේ නොවීමට නම් සුබවාදීව හා ධනාත්මක දෘෂ්ටියකින් සියල්ල බැලීම අත්‍යඅවශ්‍ය කාරණයකි. මේ හේතුව නිසයි සමාජය තුල නිතර ධනාත්මක සිතුවිලි…ධනාත්මක චින්ත…ධනාත්මක ආකල්ප… යන දෝංකාරය රුව්දෙන්නේ.

යමක් සුබවාදී හා ධනාත්මක දෘෂ්ටියකින් දැකීමේ අවශ්‍යතාවය කොතරම් වත්මන් සමාජය තුල පැහැදිලි කලත් තවමත් අතිබහුතරයකගේ ක්‍රියාවන් හා සිතුම්පැතුම් තුල දකින්නට ඇත්තේ දුක, පසුතැවීම, අපේක්ෂාභංගත්වය… යනාදීය සෘනාත්මක ලක්ෂණ පමණි. විශේෂයෙන් වසංගත රෝගයක් ලොවපුරා පැතිරෙමින් තිබෙන මේ මොහෝතේ සමාජය තුල විරලම කාරණය සිත සනසවන හා දෛර්‍යමත් කරවන ධනාත්මක වදන් සහ දිරිගැන්වීමයි. එම කාරණය කාලීන වගකීමක් ලෙස සලකා මෙම විෂය පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න මෙතැන් සිට අවදානය යොමු කිරීමට අදහස් කරමි.

මුස්ලීම්වරයෙකු තුල ධනාත්මක චින්තනය සහ ශුභවාදී ආකල්පය ඉතා වැදගත් වේ. එය අපේ දේව නැමදුම් හා ප්‍රාර්ථනා (කන්නලව්) යන ප්‍රධාන කාරණා දෙක සුබවාදී බලාපොරොත්තු මත ගොඩනැඟී තිබෙන බැවිණි. මුස්ලීම්වරයෙකු කරන නැමදුම දෙවියන් බලාසිටී එසේම මුස්ලීම්වරයෙකු කරන ප්‍රාර්ථනාවට දෙවියන් සවන්දෙති යන සුබවාදී සිතුවිල්ල එහි අත්‍යඅවශ්‍යය. දිව්‍යමය පුස්තකය වන ‘අල්කුර්ආනය’ හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් වන ‘හදීසය’ හොදින් අධ්‍යයනය කිරීමේදී මෙය පැහැදිලිව දැකගත හැකිවේ.

ඒ අනුව මෙම ලිපිය තුලින් අද අවදානය යොමු කරන්නේ සුබවාදී නොහොත් ධනවාදී සිතුවිල්ල පිලිබදව අල්කුර්ආනයේ ඉගෙන්වීම් කවර ආකාරයේද? යන්න පිලිබදවයි. තමන්ට යමක් අහිතකර, අවාසි, අයහපතත් තත්වයක දි  වූවද එතැනදී ධනාත්මක වියයයුතු ආකාරය අල්කුර්ආනය පවසයි. එම වාක්‍යයන් වෙත අවදානය යොමු කලේනම්,

  • කණගාටු නොවන්න. අල්ලාහ් අප සමඟ සිටී (අල්කුර්ආනය 9-40)
  • ඇත්තෙන්ම, අල්ලාහ්ගේ සහනය ගැන කිසිවෙකු බලාපොරොත්තු සුන් කර ගන්නේ විශ්වාස කළ නොහැකි මිනිසුන් හැර (12:90);
  • අල්ලාහ් අස් සාබිරූන් (ඉවසිලිවන්ත) අය සමඟ සිටී (8:46);
  • අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්න. අල්ලාහ් [ඔහු] කෙරෙහි විශ්වාසය තබන අයට ප්‍රේම කරයි (3: 159);
  • විශ්වාස කරන සහ ධර්මිෂ්ඨ යහපත් ක්‍රියා කරන අයට සමාව දීම සහ මහත් ත්‍යාගයක් (එනම් පාරාදීසය) ඇත (34: 4); සහ
  • විශ්වාස කරන අය අල්ලාහ් කෙරෙහි ආදරයෙන් ශක්තිමත් ය (2: 165).

දුක් වෙන්න එපා. අල්ලාහ් අප සමඟ සිටී. (අල්කුර්ආනය 9-40)

මිහිමත වෙසෙන සෑම කෙනෙකුම කිසියම් හෝ අවස්ථාවක දුකට පත්වීම නොවැලැක්විය හැකි කාරණයකි. දුක හදවත දුර්වල කරන අතර අධිෂ්ඨානය අඩු කර ඉදිරියට යාමට ඇති ආශාව අඩු කරයි. නමුත් එවැනි අවස්ථාවක අල්ලාහ් (දෙවි) පවසන්නේ ‘දුක් වෙන්න එපා. (අල්ලාහ් වන)මා ඔබ සමඟ සිටිමි’ යන්නයි. යහපත් මුස්ලීම්වරයෙකුට දුකක් ඇති වනවිට ‘තමන් සමඟ අසමසම බලවත් හා මහා දයාන්විත අල්ලාහ් (දෙවි) සිටී. ඔහු මා මුහුණපාන සියලු ගැටළු හොදින් දනී’ යයි අවංකව විශ්වාස කිරීම තුලින් තමන්ගේ දුක තුනී වන්නේය.

තවද මුස්ලීම්වරයෙකුගේ ශෝකයට වඩා ෂෙයිතාන් ප්‍රිය කරන අන් කිසිවක් නැත. ෂෙයිතාන් (නම් නපුරා)ට වඩාත්ම ප්‍රියතම කාරණය වන්නේ මුස්ලීම්වරයෙකු යහමගින් ඉවත් කොට දුකට පත්කිරීමයි. මේ හේතුව නිසයි අල්ලාහ් (දෙවි)ගෙන් මුහම්මද් (සල්) තුමාණන් පවා ‘ශෝකයෙන්’ ආරක්ෂාව පැතුවේ. එසේනම් මුස්ලීම්වරයෙකු නිතර ම සතුටින්, සුභවාදීව හා අල්ලාහ් (දෙවි) කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඔහු මත රඳා ක්‍රියා කලයුතුය. එවිට, සෑම තත්ත්‍වයකදීම ඔබට සැනසුම හා සතුට ලැබෙනු ඇත. අප කනස්සල්ලට පත්ව අශුභවාදීව සිතන විට ඔබේ සතුට විනාශ වී ඔබේ සාර්ථකත්‍වය ද විනාශ වී අන් අයගේ සුබවාදී ආකල්ප ද විනාශ වී ෂෙයිතාන් ජයගනු ඇත.

ඇත්තෙන්ම අල්ලාහ්ගෙන් ලැබෙන සහනය ගැන විශ්වාස කළ නොහැකි මිනිසුන් හැර වෙන කිසිවෙකු බලාපොරොත්තු සුන් කරගන්නේ නැත. (අල්කුර්ආනය 12-90)

ජීවිතයේ සමහරක් අවස්ථථාවල අපට රැකියා, අධ්‍යයන, බැදීම්, සබඳතා… යනාදී යමක් අහිමිවීයාම තුල අපි කනස්සල්ලට පත්ව බලාපොරොත්තු නැති කරගෙන අශුභවාදීව සිතන තත්වයන් දකින්නට ලැබේ. මෙසේ සිතීමෙන් සිදුවන්නේ අනාගත බලාපොරොත්තු සුන්වීම සහ නැවත යමක් කිරීමට ඇති විශ්වාසය නැති වීමයි. එයින් සිදුවන්නේ කාලය නාස්තිවීම පමණි. එසේ නොවී ජීවිතය පවත්වාගෙන යාමට නම්, ‘අප සෑම කෙනෙකුටම ජීවිතයේ කිසියම් අවස්ථාවක දී කිසියම් දෙයක් අහිමි විය හැකිය’ යන ධනාත්මක ආකල්පයන් පවත්වා ගැනීම සහ තේරුම් ගැනීම ඉතා වැදගත් ය.

අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ පවසන ආකාරයට ‘විශ්වාස කළ නොහැකි මිනිසුන් හැර, අල්ලාහ්ගෙන් ලැබෙන සහනය ගැන කිසිවෙකු බලාපොරොත්තු සුන් කරගන්නේ නැත’ (අල්කුර්ආනය 12-90) යන සත්‍යය අප හොදින් අවබෝධ කර නොගෙන අප, මුස්ලිම්වරුන් ලෙස හිඳ, අශුභවාදීව කටයුතු කරන්නේ නම්, අප මුස්ලීම් නොවන්නන් සේ වන්නෙමු. එසේ නොවන්නට නම් මෙම වාක්‍යයට අනුකූලව, අල්ලාහ් (දෙවි) පවසන ලෙස අප සර්ව ශුභවාදීව සහ බලාපොරොත්තු ඇතුව ජීවත්වීම අවශ්‍යය. බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් අපගේ ධනාත්මක ශක්තියට සෘජුවම බලපෑම් ඇති කරන බැවින් එවන් සිතුවිලිවලට අප කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතුය.

අල්ලාහ් ඉවසිලිවන්ත අය සමඟ සිටී. (අල්කුර්ආනය 8-46)

ඉවසීම යනු විඳදරාගැනීමේ හැකියාවයි. එය මිනිස් දිවිය තුල ඉතා වැදගත් ගුණාංගයකි. එම ගුණාංගය අප තුල වර්ධනය කරගැනීම මඟින් අප පරිණත මිනිසුන් වීමට එය හේතු වන අතර අපගේ සිහින හා අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට ඉඩ ප්‍රවර්‍ධනය කරයි. නමුත් අවාසනාවන්ත දෙය නම්, අපෙන් බොහෝ දෙනෙකු ඉවසීම සමඟ පොරබදින බවයි. මෙම ඉවසීම නැති කරගෙන ලොවේ කිසිවකු කිසිවක් දිනාගෙන නැත. ඉවසීම ප්‍රගුණ කල මිනිසුන්මය මේ ලෝකය ලස්සන කලේ.

අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් ‘නියත වශයෙන්ම අල්ලාහ් අස්-සාබිරූන් (ඉවසිලිවන්ත) සමඟ සිටී’ යයි පැවසීම තුල ‘අල්ලාහ් (දෙවි) කිසි විටෙකත් ඉවසිලිවන්තයන් තනි නොකරයි.’ යන්න අවදාරණය කරයි. ඔහු ගැන විශ්වාසයෙන් යුතුව ඉවසිලිවන්තව බලා සිටින මුස්ලීම්වරයෙකුට ඔහු උදව් කරයි. ඉවසන මොහොත දුෂ්කර එකක් වූවත් ඔහු කෙරෙහි විශ්වාසයෙන් යුතුව එය ඉටුකලේ නම්, ඊටත් වඩා ඉමහත් දෙයක් අපට හිමි වෙනවා සහතිකය.

මේ හේතුව නිසයි වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසූවේ…

‘මිනිසුන් සමඟ එකතු නොවී ඔවුන්ගේ නොරිස්සීම ඉවසාගෙන සිටින මුස්ලීම්වරයාට, මිනිසුන් සමඟ එකතු නොවී ඔවුන්ගේ කරදර නොඉවසන මුස්ලීම්වරයාට වඩා මහත් ත්‍යාගයක් හිමි වේ.’

මේ අනුව පැහැදිලි වන්නේ ‘ඉවසීමෙන් කටයුතු කරන අප සමඟ අල්ලාහ් සිටී’ යන විශ්වාසය ඇතුව ඉවසීමෙන් කටයුතු කලෙන්ම්, ඉමහත් භාග්‍යයන් දිනාගෙන පරිණත මිනිසුන් ලෙස ධනාත්මක ශක්තිය වර්ධනය කරගනිමින් සාර්ථකත්වය කරා ලඟාවිය හැක‍.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්න. අල්ලාහ් [ඔහු කෙරෙහි] විශ්වාසය තබන අය ප්‍රිය කරයි. . (අල්කුර්ආනය 3-159)

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම සාර්ථක ජීවිතයක වැදගත්ම අංගයකි. කෙසේ වෙතත්, අද බොහෝ මිනිසුන් පීඩාවට පත්වන්නේ එම විශ්වාසය නිසි ආකාරව නොමැතිකම නිසයි. අල්ලාහ් (දෙවි) ඉහත අල්කුර්ආන් වාක්‍යය මඟින් පවසන්නේ ‘මා කෙරෙහි විශ්වාසය තබන්න. මා කෙරෙහි විශ්වාසය තබන අය මා ප්‍රිය කරමි’ යනුවෙනි. ඔබ අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, අල්ලාහ් ඔබ ව ’ප්‍රිය’ කරන බව මෙහි පවසයි. අල්ලාහ් (දෙවි)ගේ ‘ආදරය’ මුස්ලීම්වරයෙකුට මෙලොව දී දිනාගත හැකි වේ නම්, එය ඔහු ලබන ඉහල ම භාග්‍යයයි. ඊට වඩා කිසිවක් මුස්ලීම්වරයෙකුට අවශ්‍ය නොවේ.

අල්ලාහ් (දෙවි) කෙරෙහි විශ්වාසය තැබීම ඉස්ලාමයෙන් හරි අඩක් යන්න ඉස්ලාමයේ ඉගෙන්වීමයි. එම විශ්වාසය අල්ලාහ් (දෙවි)ගේ ආදරය දිනාගැනීම තරම් බලගතුය. එසේනම්, කිසියම් කෙනෙකුට කිසියම් ගැටළුවක් ඇති වන මොහොතක පුර්ණ ලෙස අල්ලාහ් (දෙවි) විශ්වාස කොට තමන්ව ප්‍රිය කරන ඔහුගේ උපකාරය අපෙක්ෂාවෙන් කටයුතු කිරීම මඟින් සිත්තුල සෘනාත්මක හෝ අශුභවාදී සිතුවිලි ඇති නොවන අතර ‘මව ප්‍රිය කරන අල්ලාහ් මට උදව් කරයි’ යන සුබවාදී සිතුවිල්ල අපගේ සාර්ථක ශක්තිමත් දිවියට යහපතත් අයුරින් බලපායි.

විශ්වාස තබා දැහැමි යහපත් ක්‍රියාවන් කරන අයට (දෙවියන් හමුවේ) සමාව ද මහත් ත්‍යාගයන් ද ඇත. (අල්කුර්ආනය 34-4)

ජීවිත කාලයේ යහපත් දෑ කිරීම යන්න කෙනෙකුට ලබා ගත හැකි ඉතාමත් සුන්දර දෙයකි. ක්‍රියාවකින් හෝ වචනයකින් අන් අයට උපකාර කිරීම හොඳ හැඟීමකි. එවැනි පිරිසට අල්ලාහ් (දෙවි) හමුවේ සමාව සහ මහත් භාග්‍යයන් ඇති බව මෙම වාක්‍යය පවසයි. යහපත ක්‍රියාවන්  උදාහර්ණයක් ලෙස අල්කුර්ආනය කියවීම, දානමාන ඉටුකිරීම, දෙමාපියන් සමඟ සුහදව කටයුතු කිරීම, දුප්පත් ජනයාටට උපකාර කිරීම, රෝගීන් සුවදුක් විමසීම, අසල්වැසියන් හා සුහදව කටයුතු කිරීම… ආදිය ජීවිතයට යහපත් බලපෑමක් ඇති කරන අතර ඔබව ජන්නාව (ස්වර්ගය)ට ගෙන යයි. ‘මම යහපත් ක්‍රියාවන් කරන්නෙකු ලෙස ජීවත් වෙමි’ යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඔබේ ජීවිතය ගත කරන්න. ‘ඔබට එයින් යහපතක් නොලැබුණත් යහපත් වන්න, අන් අයගේ යහපත සඳහා නොව, යහපත් දේ කරන අයට අල්ලාහ් (දෙවි) ආදරය කරන බැවින්’.

ඔබ යහපත් ක්‍රියාවක් වෙනුවෙන් ජීවිතය තනියම සටන් කිරීමට සිදුවූවත්, ‘අල්ලාහ් (දෙවි)ගේ ආශීර්වාදය මට ලැබෙනු ඇත’ යන සුබවාදී ආකල්පයෙන් එය ඉටු කරන්න. ඔහු සැමවිටම ඔබ සමඟ සිටින අතර ඔබට අවශ්‍ය දේට වඩා වැඩි යමක් ඔහු ඔබට ලබා දෙනු ඇත.

විශ්වාස කරන අය අල්ලාහ් කෙරෙහි ඇති ආදරය තුළ ශක්තිමත් ය. (අල්කුර්ආනය 2-165)

මිනිස් ජීවිතයේ හොඳම හැඟීම් වලින් එකක් නම් ඒ ආදරයයි, ආදර අපව ජීවත් කරවන්නේය. ආදරය ශක්තිමත් බැදීම් ඇති කරවන්නේය. එම බැදීම අපව මවා පෝෂණය කරන අල්ලාහ් (දෙවි) සමඟ නම්, එය කොතරම් සුන්දර බැඳීමක් වනු ඇත්ද?. අපගේ නිර්මාතෘ අල්ලාහ්ට අප ප්‍රේම කිරීම ඔහුට කීකරු වීමෙන් හා ඔහුගේ අණට ගරු කිරීමෙන් අපි ඔහුට ආදරය කරන බව අපි සැම විටම ඔප්පු කළ යුතුයි. එයයි අල්ලාහ් (දෙවි) ‘විශ්වාස කරන අය අල්ලාහ් කෙරෙහි ආදරයෙන් ශක්තිමත්ය’ යනුවෙන් අල්කුර්ආනයේ පවසන්නේ. අල්කුර්ආනයේ තවත් තැනක මෙසේද පවසයි.

…ඔහු (අල්ලාහ්) ඔවුනට ප්‍රිය කරන, ඔවුන් ඔහු(අල්ලාහ්)ට ප්‍රිය කරන, විශ්වාසිකයින් කෙරෙහි නිහතමානී වන, ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි බලවත් වන…

ඉහත අල්කුර්ආනය 5-54 මඟින් පවසන ආකාරයට ඔබ අල්ලාහ් (දෙවි)ට ප්‍රේම කරන්නේ කවරේද ඒ ආකාරයටම ඔහු ඔබට ද ආදරය කරයි. අල්ලාහ් ඔබට ආදරය කරන විට මිනිසුන් ඔබට ආදරය කරයි. අල්ලාහ් යමෙකුට ප්‍රේම කරන විට ඔහු ඔවුන්ව ආරක්ෂා කරන අතර ඔවුන්ට මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද යහපත් දේ ලබා දේ. අල්ලාහ් (දෙවි) කෙරෙහි ආදරය ඇති තැනැත්තාට අල්ලාහ් සෑම අතින්ම තමන්ට ප්‍රමාණවත් යන සුබවාදී මානසිකත්වයෙන් කටයුතු කිරීම දක්නට ලැබේ. එවිට ලෞකික කාරණයන් තුල ඔහුට පසුතැවීමක් ඇති නොවේ.

ඉහතින් විමසා බලන ලද අල්කුර්ආන් වාක්‍යයන් තුළින් අවදාරනය කරන්නේ යහපත් සිතුවිලි මිනිස් සිතේ ශක්තිය බවයි. ඔබ පාලනය කරන්නේ ඔබ තුළ ඇති සිතුවිලි ය. මෙම සිතුවිලි ජීවිතය පිළිබඳ ඔබේ දෘෂ්ටියට බලපාන බැවින් ජීවිතය පිළිබඳ සුබවාදී දෘෂ්ටිය ලෝකය පිළිබඳ ධනාත්මක සිතුවිලි මත රඳා පවතී. ඔබට සෘනාත්මක සිතුවිලි ඇත්නම්, ඔබ ජීවිතය පිළිබඳ අශුභවාදී දෘෂ්ටියකින් පීඩා විඳීමට බොහෝ ඉඩ තිබේ. මෙය ඔබගේ ජීවිතයේ ගුණාත්මක භාවයට හා ඉදිරි ගමනට සෘජුවම බලපානු ඇත. ඉහත අල්කුර්ආන් වාක්‍යයන් මඟින් අල්ලාහ් (දෙවි) අපට පවසන්නේ තෘප්තිය සහ සාමයේ හැඟීම් අල්ලාහ් (දෙවි) පිලිබදව වූ සිතිවිලි තුළ ඇති බවයි. අවසාන වශයෙන් එක් කාරණයක් පැහැදිලිව ම සදහන් කලහැක. එනම්, දහමේ අනිකුත් ඉගෙන්වීමන් කුමක් වුවත් සෑම මනුෂ්‍යයෙකුටම ආදරය හා දයානුකම්පාව සහ ධනාත්මක වීම එහි උගන්වනවා යන්නයි.

ඉබුනු සහීර්

Leave a Reply