මිනිස් මොළයේ ධාරිතාවය විමසුමක්

නුතන මිනිසා සියල්ල තාර්කිකව බලන්නත්, අවබෝධ කරගන්නත් උනන්දුවක් දක්වයි. ආගම දහම වූවත් එහි ඉගෙන්වීමන් හි ඇති ආකාරයට ම අද ඔහු පිලිගන්නට සූදානම් නැත. ඔහු තම බුද්ධියට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ දෙවරක් සිතා නොබලාමය. එවන් වූ ‘බුද්ධිමත් මානවයාගේ දැනුමෙහි තරම සහ ධාරිතාවය’ පිලිබදවයි අද මෙම ලිපියෙන් විමසා බලන්නේ.

මිනිස් මොළයක මතක ධාරිතාවය කුමක්ද?

සාමාන්‍ය වැඩිහිටි මිනිස් මොළයක් තුල මතක ධාරිතාවය බයිට් ට්‍රිලියන (trillions of bytes) ගණනක් බව පරියේෂකයන් පෙන්වාදේ. එවැනි පරියේෂණ කිහිපයක් වෙත දැන් අවදානය යොමු කරමු.

ස්ටැන්ෆර්ඩ් අධ්‍යයන (Stanford Study) කණ්ඩායම පවසන ආකාරයට,

‘මිනිසාගේ මොළයේ විශාලම කොටස වනුයේ මස්තිෂ්කයයි. එහි පර්යන්ත ප්‍රදේශය මස්තිෂ්ක බාහිකය නම් වේ. මෙම මස්තිෂ්ක බාහිකයේ පමණක් ‘උපාගම’ ට්‍රිලියන 125 ක් පවතී.

උපාගම සම්බන්ධතාවය

(උපාගම යනු ස්නායු සෛල එනම් නියුරෝන දෙකක් කුඩා අවකාශයකින් වෙන් වී නාලිකාවක් ලෙස ක්‍රියාකරමින් ඒවා එකිනෙක අතර අඛණ්ඩව තොරතුරු සම්ප්‍රේෂණය සිදුකරන සම්බන්ධතාවය ‘උපාගම’ ලෙස හඳුන්වයි. තවද ‘නියුරෝන’ යනු මොළය තුළ පණිවිඩ සැකසෙන හා සම්ප්‍රේෂණය කරන සෛල වේ.)

තවත් අධ්‍යයන කණ්ඩායමක් පවසන ආකාරයට

‘එක් උපාගමයකට තොරතුරු බිට් 4.7 (bits) ක් ගබඩා කළ හැකිය.’

එසේනම් මිනිස් මොළයේ මස්තිෂ්ක බාහිකයේ පමණක්  උපාගම ට්‍රිලියන 125 ක් තුල තැන්පත් වන තොරතුරු ප්‍රමාණය (ට්‍රිලියන 125 x බිට්  4.7) 587500000000000 bits එය ආසන්න වශයෙන් 73.4375 TB කට සමාන වේ. එසේ නම්, මිනිස් මොළයේ මස්තිෂ්ක බාහිකයේ පමණක් මතක ගබඩා ධාරිතාවය ටෙරාබයිට් 73 ට වඩා වැඩි බව මෙයින් පෙනීයයි.

මිනිස් මොළය පිලිබදව පරියේෂණ කල සයන්ටිෆික් ඇමරිකන් Scientific American, හි 2010 ලිපියකට අනුව,

මිනිස් මොළයේ සම්පූර්ණ මතක ධාරිතාව පෙටාබයිට් 2.5 (2500 TB) කට සමාන බව වාර්තා කරයි. (මෙහි ‘පෙටබයිට්’ යනු  ටෙරාබයිට් 1024 කි.) ඒ අනුව සාමාන්‍ය වැඩිහිටි මිනිස් මොළයකට ගිගාබයිට් මිලියන 2.5 කට සමාන ඩිජිටල් මතකයක් ගබඩා කිරීමේ හැකියාව ඇති බව පැහැදිලි වේ.

ඉහත අධ්‍යන වාර්ථාවන්ට අනුව මිනිස් මොළයේ මතක ධාරිතාවය පිලිබදව ඔබට හොද අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. අපට ලැබී ඇති මෙම මතක ධාරිතාවය තවදුරටත් හොදින් අවබෝධ කරගැනීම පිණිස වත්මන් ලෝකයේ භාවිතයේ පවතින යම් යම් තාක්ෂණික උපකරණ උපාංගවල මතක ධාරිතාවයන් සමඟ සංසන්ධනාත්මකව දැන් විමසා බලමු.

ඔබ සතුව තරමක් නව පරිගණකයක්, ටැබ්ලටයක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබේ නම්, ‘මෙගාබයිට්’ සහ ‘ගිගාබයිට්’ යන වාක්‍ය ඛණ්ඩ පිලිබදව ඔබට කිසියම් අවබෝධයක් තිබෙනු ඇත. මුල් කාලයේ පරිගණකවල මෙගාබයිට් කිහිප‍යක එනම්, Floppy Disc 1.44MB ධාරිතාවයකින් යුක්ත විය. ඉන්පසු දෘඪ තැටි  hard Disc වල තොරතුරු ගබඩා කිරීමේ හැකියාව ආරම්භ වූ අතර එය මෙගාබයිට්ස් (MB), ගිගාබයිට්ස් (GB), ටෙරාබයිට්ස් (TB)… ලෙස වර්ධනය වෙමින් ඇත. නමුත් වර්තමාන ප්‍රමිතීන්ට අනුව එය ඉතා කුඩා ප්‍රමාණයකි. උදාහරණයක් ලෙස, අද ස්මාර්ට් ජංගම දුරකථන වල “ගිගාබයිට්” (16GB, 64GB, 128GB) මතක ධාරිතාවක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබීම සාමාන්‍ය තත්වයක් වී ඇත.

අද දවසේ ඉහතින් සදහන් මතක ධාරිතාවයන් 1 මෙගාබයිට්ස් (MB), 1 ගිගාබයිට්ස් (GB), 1 ටෙරාබයිට්ස් (TB)… ලෙස සරල අගයකින් කථා කලත් එහි අන්තර්ගත ධාරිතාවය සුළුපටු ප්‍රමාණයක් නොවේ. එය ඔබට අවබෝධ කරවීම පිණිස නිදසුන් කිහිපයක් වෙත ඔබේ අවධානය යොමු කරන්නේ නම්,  

  • පලමු සඳ ගමන

සඳ මතට ගොඩ බැස්ස පළමු ඇපලෝ අභ්‍යවකාශ යානයට පරිගණකය මෙහෙයුම් පද්ධතියක් තිබුනේ කිලෝබයිට් 64 ක (64 KB) මතක ගබඩා කිරීමේ හැකියාවක් පමණි. එනම්, එම පරිගණකයට බයිට් 64000 කට වඩා හැසිරවිය නොහැකි එකක් විය. මෙය තවත් සරලව පවසනවා නම්, අද ඔබේ සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථනය එම අභ්‍යවකාශ යානය මෙහෙයවූ සහ පාලනය කළ පරිගණකයට වඩා සියදහස් ගුණයකින් ඉදිරියෙන් සිටී.

  • Yahoo දත්ත ගබඩාව

අද අන්තර්ජාලයේ දැවැන්තයා වන යාහූ ‘Yahoo’ සමාගම් දත්ත ගබඩා ධාරිතාවය මොහොතක් විමසා බැලිය හැක. මෙය පෙටබයිට් 2.0 (2000000 GB) කින් සමන්විත දත්ත ගබඩාවකි.  යාහූ සමාගම විසින් මෙම දත්ත ගබඩාවේ ඇති අතිවිශාල තොරතුරු ගබඩා කිරීමේ ධාරිතාවය භාවිතා කරන්නේ එහි මිලියන ගණනක අමුත්තන්ගේ හැසිරීම විශ්ලේෂණය කිරීමට ය. එය ලෝකයේ තනි විශාලතම දත්ත සමුදාය පමණක් නොව කාර්යබහුලම දත්ත ගබඩාවයි. දිනකට ‘සිදුවීම් බිලියන 24ක් මතකයේ රඳවා ඒවා විශ්ලේෂණය’ කලහැකි යාහූහි 2.0 පෙටබයිට් පරිගණක මධ්‍යස්ථානය තනි මිනිස් මොළයක ධාරිතාව (2.5 පෙටබයිට්)ට වඩා 20% කින් කුඩාය.

මෙතෙක් ඉදිරිපත් කල කරුණු බුද්ධිමත්ව ඔබ විමසා  බලන්නේ නම්, ‘මිනිස් මොළය ඇත්තෙන්ම පුදුමාකාරය’ යයි සිතෙනවා නොඅනුමානය. අපගෙන් බොහෝ දෙනෙකුට සිතාගත නොහැකි තරම් හැකියාවක් ධාරිතාවක් මිනිස් මොළයට ඇත. එහි ධාරිතාවය සමඟ සසඳන කල දැනට අපි එයින් භාවිතයට ගෙන ඇත්තේ කොතරම් සුළු ප්‍රමාණයක්ද?.

අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ පවසයි.

දැනුමෙන් ඔබලාට ලබා දී ඇත්තේ ඉතා සුළු දෙයක් මිස වෙන කිසිවක් නොවේ.

අල්කුර්ආන් 17-85

අවසාන වශයෙන්, ඉහත 17-85 වෙත අවධානය යොමු කලේනම්, එහි අල්ලාහ් (දෙවි) මිනිසාට සමස්ථ දැනුමෙන් ස්වල්පයක් ලබාදුන් බව පවසයි. එම ස්වල්ප දැනුම රැස්කිරීම සදහා ලබාදුන් මතක ධාරිතාවය 2500 TB  (2500000000000000 bit) කට අධිකය. එම දැනුම අප රැස්කොට ඇත්තෙමුද?. අපගේ මතක ධාරිතාවය පූර්ණ වශයෙන් අපි භාවිතයට ගන්නෙමුද? මෙය බුද්ධිමත්ව විමසා බැලිය යුතු පැනයකි. එසේ එම දැනුම රැස් නොකොට අප සතු අසම්පූර්ණ අල්ප දැනුම පදනම් කරගෙන අහස, පොළොව, විශ්වය, දෙවියන්, ඔහුගේ ඉගෙන්වීම්, ස්වර්ගය හා අපාය… යනාදීන් පිලිබදව පුර්ව නිගමනවල හිඳ තර්ක විතර්ක ගොඩනැඟීම කොතරම් දුරට සාධාර්ණ හා බුද්ධිමත් ක්‍රියාවක්ද?. මේ පිලිබදව බුද්ධිමත් විමසුමකට බුද්ධිමත් ඔබට ආරාධනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

ඉබුනු සහීර්

Leave a Reply