ළමා අයිතීන් හා ඉස්ලාම් – යහපත් ජාතකයක් හිමිකරදීම

ළමයින් සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ දැක්ම ‘ඔවුන් මෙලොව අලංකාර පිණිස දෙවියන් විසින් මනුෂ්‍යා හට ලබාදුන් ත්‍යාගයක්’ යන්නයි. එය මිට පෙර යහමග අඩවිය තුලින් සාකච්චා කල ‘දරුවන් මෙලොව අලංකාර භාග්‍යයක්‘ යන ලිපිය මඟින් විමසා බැලුවෙමු. මෙම ලිපිය තුලින් විමසා බැලීමට අදහස් කරන්නේ ‘ළමා අයිතීන්’ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවාද? යන කාරණයයි.

ඉස්ලාම් දහම ‘ළමුන් සදහා හිමිවිය යුතු අයිතීන්’ බොහෝමයක් පිලිබදව අල්කුර්ආනය හා අල්හදීසය තුලින් කථා කරයි. නමුත් එම කාරනයන් පිලිබදව සමාජයේ බහුතරයකට නිසි අවබෝධයක් නොමැතිකම නිසාම එවැනි පිරිස් අතින් පදනම් විරහිතව ඉස්ලාම් දහම විවේචනය කිරීමන් දක්නට ලැබේ. එසේම සමහරක් මුස්ලීම්වරුන්ද දහමේ ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයකින් තොරව සමාජය තුල කටයුතු කිරීම නිසාත් ඉස්ලාම් දහමට එරෙහිව චෝදනාවන් එල්ල වේ. මෙවැනි හේතූන් රාශියක් මුලික කරගෙන ‘ඉස්ලාම් පවසන ළමා අයිතීවාසිකම් මොනවාද?’ යන්න මෙතැන් සිට එකින් එක විමසා බැලීමට අදහස් කරමි.

ළමා අයිතීන් පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් විමසා බලන විට ප්‍රථමයෙන් පහත අල්කුර්ආන් වාක්‍යයන් දෙක වෙත අවදානය යොමු කලයුතුම වේ. එනම්,

ජලයෙන් මිනිසා මැව්වේද ඔහුය. ඉන්පසු ලේ නෑකම්ද විවහා නෑකම්ද ඇති කළේය. නුඹගේ රබ්(පරමාධිපති) සර්වබලධාරිය.

අල්කුර්ආන් 25-54

එනු! නුඹලාගේ රබ්(දෙවි) නුඹලාට තහනම් කළ දෑ මම ප්‍රකාශ කරමි. නුඹලා ඔහුට කිසිවක් ආදේශ නොකරනු. තවද දෙමාපියන්ට කරුණාවෙන් සලකනු. තවද දිළිදුකම නිසා නුඹලා නුඹලාගේ දරුවන් නොමරනු. (මන්ද) නුඹලාටද ඔවුන්ටද ආහාර සපයන්නේ (දෙවි) අපමය. ප්‍රසිද්ධියේ හො අප්‍රසිද්ධියේ අශිෂ්ඨ ක්‍රියාවන් වෙත යොමු නොවනු. (නොමරන මෙන්) අල්ලාහ් තහනම් කළ ජීවය අයිතිය පරිදි මිස නොමරනු. මේවා නුඹලාට වටහාගනු පිණිස නුඹලාට (නුඹලාගේ පරමාධිපති) අණ කළේය.

අල්කුර්ආන් 6-151

නොඋපන් දරුවාගේ අයිතිය පිලිබදව කථා කරන ඉහත වාක්‍යයන් දෙක බුද්ධිමත්ව දැන් විමසා බලමු,

ඉහත 25-54 වාක්‍යය මඟින් පවසන ආකාරයට මනුෂ්‍යයා මැවීමෙන් අනතුරුව ඇතිකල ප්‍රධාන බැදීම් දෙක වන්නේ ලේ නෑකම හා විවාහක බැදීම යන්නයි. එසේනම් එම නෑකම් ආරක්ෂා කිරීම දෙවියන් විසින් ඇති කොට ඇති නියමයන් යන්න අවබෝධ වේ. මනුෂ්‍යාගේ හිත සුව පිණිස ඇති කොට ඇති එම විවාහ බැදීම අල්කුර්ආනයේ 30-21 තුලින් ද මෙසේ විස්තර කරයි. එනම්,

තවද නුඹලා ඇය තුලින් හිත සුව පිණිස නුඹලා තුලින්ම නුඹලාගේ භාර්යයාවන් මවා තිබීමද, නුඹලා අතරේ ආදරයද කරුණාවද ඇති කර තිබීමද, ඔහුගේ සාධකයන් අතුරින් එකකි. වටහා ගත හැකි ජන සමාජයට මෙහි නියත වශයෙන්ම (බොහොමයක්) සාධකයන් ඇත.

අල්කුර්ආන් 30-21

එම ආදර බැදීමට ත්‍යාගයක් ලෙසයි අල්ලාහ් (දෙවි) ඔවුනට දරුවන් නැමැති භාග්‍යය ලබාදෙන්නේ. නමුත් එම සුන්දර බැදීම ප්‍රතික්ෂේප කරමින් අම්මා අප්පා නාඳුනන දරුවන් ජාතක කිරීම එම දරුවාගේ මුලික අයිතීන් වන ආදරය, ආරක්ෂාව, පෝෂණය… යනාදී සියල්ල අහිමි කරවීමකි. මෙය මහා පාපයක් වන අතර එම වරද මරණ දඬුවම ලබාදීමට තරම් දරුණු පාපයක් ලෙස ඉස්ලාම් දකී.

එසේම, ඉහත 6-151 දෙවන වාක්‍යය වෙත අවදානය යොමු කලේනම්, මෙහි වත්මන් සමාජය තුලත් දකින්නට තිබෙන එදා ‘ජාහිලියා’ (ඉස්ලාම් ප්‍රකාශවීමට පෙර පැවති) සමාජයේ දරුණුවට ම පැවැති ඛේදවාචකයක් පිලිබදව පවසයි. එනම්, ‘දිළිදුකම නිසා දරුවන් ඝාතනය කිරීම’ යන්නයි. මෙම ජාහිලියා පුරුද්ද වත්මන් සමාජය දියුණු තාක්ෂණය උපයෝගි කරගෙන තම කුස තුලම දරුවා ඝාතනය කිරීමට තරම් දියුණු වී ඇති බව නොරහසකි. මෙය නොඋපන් දරුවාගේ ජීවත්වීමේ අයිතිය උදුරාගන්නා මහා පාපයකි.

මේ අනුව, නීත්‍යානුකූල විවාහයකින් ඇති වන බැදීමක් තුලින දරුවන් බිහිකිරීම එම දරුවාට ලබා දියයුතු අයිතියක් යන්න ඉස්ලාම් හි ඉගෙන්වීමයි. එසේම එම දරුවා පෝෂණය කිරීම ද මාපියන්ගේ වගකීම වන අතර දිළිදු වේවි යන බියෙන් දරුවන් ඝාතනය නොකලයුතු යන්නත් ඉස්ලාම් දහම නොඋපන් දරුවන් වෙනුවෙන් යෝජනා කරන අයිතියයි.

ඉබුනු සහිර්

 

Leave a Reply