ජාහිලියා සමාජය – ඉස්ලාමීය විමසුමක්

2

ඉස්ලාම් දහම, සමස්ථ මිනිස් සමාජය ඔවුන්ගේ ප්‍රතිපත්ති හා පිලිගැනීම අනුව ප්‍රධාන කොටස් කිහිපයකට ගොනු කොට කථා කරයි. එසේ කරන ගොනුකිරීම් අතර ‘ජාහිලියා’ යන්න ද ප්‍රධාන එකකි. මෙම අඩවිය තුලත් මුස්ලීම් සමාජය තුලත් නිතර කියවෙන වචනයක් වන ‘ජාහිලියා’ යන්න පිලිබදව විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.   

ඉස්ලාම් දහම ප්‍රකාශ වූ සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස හදුන්වයි. මෙම අඩවිය තුල මීට ඉහත  සාකච්චා කොට ඇති ලිපියක් (එම ලිපිය මෙතැනින් කියවන්න) තුලින් ඉහතින් සදහන් එම ගොනු කිරීම පිලිබදව සරල විග්‍රාහයක් ඉදිරිපත් කොට ඇත. ඉස්ලාම් දහම හා එය ප්‍රකාශ වූ සමාජ තත්වය පිලිබදව නිසි අවබෝධයක් ලබාගැනීමට නම් එවකට පැවති සමාජ තත්වය පිලිබදව කිසියම් අවබෝධයක් තිබීම අත්‍ය අවශ්‍යය. එපමණක් නොව එම අවබෝධය වර්ථමානයේ ඉස්ලාමය නිවැරදිව අවබෝධ කරගැනීමට ද හේතුවන අතර විටින් විට අප තුලින් මතුවන ‘ජාහිලියා’ විශ්වාස හා පුරුදු පාලනය කරගැනීමට ද එය හේතු වනු ඇත. එමනිසා මෙම ලිපිය තුලින් ඉස්ලාම් ප්‍රකාශ වූ සමාජය නොඑසේනම් ‘ජාහිලියා’ සමාජය මොනවගේද?. ඔවුන්ගේ විශ්වාස ඇදහිලි මොන ආකාරයටද පැවතුණේ?. යනාදීය කරුණු මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

ජාහිලියා සමාජය

ජාහිලියා යන අරාබි පදයේ වචනාර්ථය ‘නොදැනුවත්කම’ යන්නයි. මෙම ජාහිලියා යන වචනය යහමග අඩවිය තුල බොහෝ විට ‘අඥාන සමාජය’ ලෙස පරිවර්ථනය කොට ඇත. නමුත් මෙම ජාහිලියා යන පදයට ‘නොදැනුවත්කම’ හෝ ‘අඥාන’ ලෙස පරිවර්ථනයන් ලබාදුන්න ද ඉස්ලාම් අදහස් කරන නිවැරදි අදහස එය නොවේ. එය මෙතැන් සිට විමසා බලමු.

මුහම්මද් (සල්) තුමාණන් මගින් ඉස්ලාම් දහම ප්‍රකාශ වීමට පෙර අරාබිද්වීපයේ පැවති ජන සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස ඉස්ලාම් හදුන්වයි. එවකට පැවති සමාජය නොදැනුවත්කමින් පිරි සමාජයක් හෝ අඥාන සමාජයක් හෝ නොවේ. ඉස්ලාමය එම යුගයේ අරාබිවරුන්ව ‘ජාහිලියා’ ලෙස හැඳින්වූයේ ශාස්ත්‍රීය හා කලාත්මක දැනුම ඔවුන් තුල උපරිමයෙන් තිබියදීය. ඔවුන් කිසිදු අයුරකින් නූගත්කමින් හෝ විද්‍යා ක්ෂේත්‍රයේ පසුගාමීව පැවති සමාජයක් නොවීය. එසේ තිබියදී එම සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස ඉස්ලාම් හදුන්වන්නට මූලික වූ හේතුකාරණා වන්නේ,

  • ඔවුන්ගේ විශ්වාස ඒකදේව සංකල්පයෙන් බැහැර වූ බොහෝ දුරට පිළිම වන්දනාවන් මූලික කොට පැවතී පාරම්පරික ආගමික විශ්වාසයන් ලෙස පැවතීම,
  • සමාජ පුරුදු, නමස්කාරය, සංකල්ප, ජීවිතය පිළිබඳ දෘෂ්ඨිකෝණය… යනාදීය ඔවුනට ම ආවේනික වීම,
  • සංස්කෘතිය, කලාව, සාහිත්‍යය, දේශපාලනය, ආර්ථිකය… වැනි මානව ක්‍රියාකාරකම් සඳහා තමන්ට ම ආවේනික විශ්වාසය, චින්තන ක්‍රමයක් සහ ජීවන රටාවක් පැවතීම,
  • පුරුෂ මූලික කොටගත් සමාජයක් ලෙස පැවතීම,

යනාදීය සදහන් කලහැක.

ඒ අනුව ඔවුන් ‘ජාහිලියා’ සමාජය එනම්, අඥාන හෝ නොදැනුවත්කමින් පිරි සමාජය යනුවෙන් ඉස්ලාම් පවසන්නේ ඔවුන් බුද්ධිමත් නොවනවා යන අදහසින් නොවන බව හොදින් පැහැදිලි වියයුතුය. එම සමාජය දියුණු  සමාජයක්ව පැවතුණත් ඔවුන්ගේ අධ්‍යාත්මික හා සංස්කෘතික පසුබෑම එම සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස හැදින්වීමට මූලික හේතුවයි. එම සමාජයේ පැවති පුරුදු හා පිලිගැනීම් මෙම අධ්‍යාත්මික හා සංස්කෘතික පිරිහීම මනාව පිලිබිඹු කරන්නකි. එවැනි නිදසුන් කිසිපයක් මෙහි පෙලගසන්නේ නම්,

  • එම සමාජය කාන්තාවන් දුර්භාග්‍යයක් ලෙස සලකා,  කුඩාකලම (බොහෝ විට පණපිටින් වලළා) ඝාතනය කරන සමාජයක් විය.
  • දුප්පත්කමට බියේ දරුවන් ඝාතනය කරන සමාජයක් විය.
  • විවාහය නමින් විවිධ ආකාරයේ (බහු ලිංගික සම්බන්ධතාවයන් පවත්වා තම ස්වාමියා / බිරිද තෝරාගැනීම වැනි) අනාචාරයන් පැවති සමාජයක් විය.
  • පිලිම වන්දනාව (බහු දේව විශ්වාසය, දිනකට එක් දෙවියෙකු බැගින් දෙවිවරු 365ක් වන්දනාමාන) කරන සමාජයක් විය.
  • සියල්ල ජෝතිෂ්‍ය මත පදනම්ව තීන්දු කරන සමාජයක් විය.
  • මියගිය පිරිසගෙන් භාරහාර කරන තම අවශ්‍යතාවයන් ඔවුන්ගෙන් ආයාචනා කරන ඔවුනට නැමදුම් කරන සමාජයක් විය.
  • කාන්තාවන්ට විවිධ වූ වධහිංසා පමුණුවන කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් නොවන ලෙස සැලකූ සමාජයක් විය.
  • සමාජය තුල ප්‍රබලයන් දුබලයන්ව තමන්ට රිසිසේ පාලනය කිරීම සුලබව පැවතී සමාජයක් විය.
  • සමස්ථ සමාජයම සුරාවෙහි ගිලී පැවතී සමාජයක් විය.
  • නිර්වස්ත්‍රව දේව නැමදුමෙහි නියැලෙන සමජයක් විය.
  • පියා මියගිය හොත් පියගේ බිරිද (කුඩම්මා) තමා (පුතා) විවාහ කරගැනීම නීතියක් වූ සමාජයක් විය.
  • කුලවාදය දරුණුවට ම ක්‍රියාත්මක වූ ජන සමාජයක් වීය.
  • මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය කාරණයක් ලෙස සිතෙන තරමට මිනිස් ජීවිතවලට වටිනාකමක් නොදුන් සමාජයක් විය.
  • අරාබි භාෂාව පමණක් භාෂාවක් ලෙස සලකමින් අනිකුත් භාෂාවන් සියල්ල භාෂාවක් ලෙස පිලිනොගෙන ප්‍රතික්ෂේප කල සමාජයක් විය.

ඉස්ලාම් දහම ප්‍රකාශ වීමට පෙර පැවති ඉහතින් සදහන් ජන සමාජය ඉස්ලාම් ‘ජාහිලියා’ සමාජය ලෙස හදුන්වයි.

අවසාන වශයෙන් මෙවැනි සමාජයන් සම්බන්ධයෙන් ඉස්ලාමීය තීන්දුව කුමක්ද? යන්න පිලිබදව ද කෙටි විමසා බැලීමක් කිරීම සුදුසු යයි හැඟේ, මොවුන් ඉස්ලාම් දහම පිලිබදව හෝ සර්වබලධාරී දෙවියන් පිලිබදව නිසි අවබෝධයකින් තොරව හා බහුදේව විශ්වාසයෙන් තොරව ජීවත් වී එම ප්‍රතිපත්තියේම මියගොස් ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් තීන්දුවක් කිසිවකුටත් දිය නොහැක. එය දෙවියන් පමණක් දන්නා ඔවුන් හා දෙවියන් අතර පවතින විනිශ්චයකි.

එය මූසා (අලෛ) තුමාණන්ගෙන් ෆිර්අවුන් විමසූ පැනයට මූසා (අලෛ) තුමාණන් ලබාදුන් පිළිතුරින් ද මනාව පැහැදිලි වේ. එය අල්කුර්ආනය මෙසේ පවසයි,

(මූසා (අලෛ) දහම පැවසීමට පෙර විසූ) ඉකුත් පරම්පරාවල තත්ත්වය කුමක්ද?  යයි ඔහු(ෆිර්අවුන්) විමසුවේය. (එයට මූසා (අලෛ)) ඒ පිළිබඳ දැනුම ඇත්තේ මාගේ රබ්(පරමාධිපති) ලඟය. මාගේ රබ්(පරමාධිපති)ට නොවරදින්නේය, අමතකද නොකරන්නේ ය. යැයි ඔහු(මූසා) කීවේය.

අල්කුර්ආනය – 10 – 51,52

ඉහත වාක්‍යය අනුව ඉස්ලාමය ප්‍රකාශ වීමට පෙර ‘ජාහිලියාවේ’ ජීවත් වී මියගිය පිරිස පිලිබදව විනිශ්චයන් කිරීම කිසිවකුටත් කලනොහැක දෙවියන් පමණක් දන්නා කාරණයකි. නමුත් ‘ජාහිලියා’ සමාජයක හිඳ ‘ශිර්ක්’ හෙවත් දෙවියන්ට කිසිවක් හෝ කිසිවෙක් සමාන කොට නොඑසේ නම් එවැනි විශ්වාසයක හිඳ එම තත්වයේ මියගොස් ඇත්නම් ඔහුගේ එම ක්‍රියාව ඔහුව නිරයට කැඳවාගෙන යන්නක් බව පැහැදිලිව පැවසිය හැකි බව සටහන් කරමින් මෙම ලිපිය අවසන් කරමි.

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site