අල්කුර්ආනයේ ඉතිහාසය 04 – දේව පණිවුඩ පහලවීම

1

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.)

අරාජිකව පැවතී ජාහිලියා සමාජය හා ඔවුන්ගේ ක්‍රියාකලාපය පිලිබදව තිබූ කලකිරීම නිසා ‘හීරා’ නම් ගුහාවේ හුදෙකලාව වැසීම පුරුද්දක් කරගත් මුහම්මද් (සල්) තුමාණන්ට දිනක් එම ගුහාවේ මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ දර්ශනය විය. එය දැක බියට හා කලබලයට පත් නබිතුමාණන් හමුවේ එම සුවිශේෂි මැවීම කථා කරන්නට විය. තමන් ජිබ්රීල් නම් දේවදූතයකු (නොහොත් මලැක්වරයෙකු) බවත්, නබිවරයෙකු (නොහොත් වක්තෘවරයෙකු) ලෙස අල්ලාහ් (දෙවි) ඔබව තොරාගෙන ඇති බවත්, ඉදිරියේ දී දේව පණිවුඩ පහලවීමට නියමිත බවත් මුහම්මද් තුමාණන්ට දැනුම් දෙන ලදී. මීට පෙර මෙවැනි අත්දැකීමක් ලබා නොතිබූ එතුමාණන් මෙම පණිවුඩය අසා විශ්මයට හා බියටපත්ව නිවස කරා දුවවිත් තම බිරිද වන කදීජා (රලි)තුමියට සිදුවූ සියල්ල පවසන ලදී.

එය අසා කලබල නොවු එතුමිය එවකට විවිධ ආගම් පිලිබදව ගවේෂණයන් හි නියලී සිටී ‘වරකා’ නම් විද්වතෙකු වෙත මුහම්මද් (සල්)තුමාණන්ව කැදවාගෙන යන ලදී. එහි ගොස් සිදු වු සියල්ල සවිස්තරව ‘වරකාට’ පවසන ලදී. එය සාවදානව අසා සිටී ඔහු (වරකා) බිය වියයුතු කිසිවක් නැති බවත්, මෙවැනි සිදධීන් මීට පෙරද සිදුවූ බවට ග්‍රන්ථවල සදහන් වී ඇති බවත්, ඔබ හමුවීමට පැමිණියේ ජිබ්රීල් නම් දේව දූතයෙකු බවත්, මුහම්මද් වන ඔබව දේව වක්තෘවරයෙකු ලෙස අල්ලාහ් (දෙවි) විසින් තෝරාගෙන ඇති බවත් දැනුම් දෙන ලදී.

මෙතැන් සිට තමන් වක්තෘවරයෙක් බව අවබෝධ කරගත් මුහම්මද් (සල්) තුමාණන් තම දහම ප්‍රචාරය ඉහත සදහන් ආකාරයට අරාජිකව පැවතී ජාහිලියා සමාජය මධ්‍යයේ ආරම්භ කරන ලදි. එතුමාණන් වයස අවුරුදු 40 දී ප්‍රථම දේව පණිවුඩය ඉහත සදහන් ගුහාව තුල පහල වූ අතර එතැන් පටන් විවිධ අවස්ථාවල සමාජයේ ඇති වූ විවිධ ගැටළුවලට විසදුම් ලෙසත්, මිනිස් වර්ගයාට අවවාද අනුශාසනා ලෙසත්, යහපත් දිවියකට මඟපෙන්වන්නක් ලෙසත්, රාජ්‍ය පාලනයකට අවශ්‍ය සම්බන්ධ උපදේශයන් ලෙසත්, දේව නැමදුම් පිලිබදව ඉගෙන්වීම් ලෙසත්… වසර 23ක් මුළුල්ලේ විවිධ අවස්ථාවල මෙම දේව පණිවුඩ පහල විය.

මෙසේ කඩින් කඩ කොටස් වශයෙන් දේව වදන් පහල කිරීම අල්ලාහ් (දෙවි) තම පුස්තකයේ 17-106 වාක්‍යයෙන් මෙසේ පවසයි.

(මුහම්මද්) නුඹ කුර්ආනය මනුෂ්‍යයනට පවසනු පිණිස අපි එය කොටස් කළෙමු. අපි එය කඩින් කඩ පහළ කෙළෙමු.

මෙලෙස කොටස් වශයෙන් පහල වු දේව පණිවුඩ මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 63 දී (වක්තෘ මෙහෙවරට අවුරුදු 23 ක්ව තිබියදී) අවසන් වූයේ පහත සදහන් 5-3 අල්කුර්ආන් වාක්‍යය පහලවීමත් සමගිනි. එය මෙසේය…

අද දින නුඹලාගේ දහම නුඹලා වෙනුවෙන් සම්පූර්ණ කරන ලදී

ඉහත සදහන් ආකාරයට වසර 23ක් මුළුල්ලේ පහල වූ අල්කුර්ආන් වාක්‍යයන්, එසේ පහල කිරීමේ අරමුණ කුමක්ද? යන්න මා කෙටියෙන් සදහන් කලත්, එහි අරමුණ අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ මෙසේ විස්තර කරයි. එනම්,

  • මිනිසාට සත්‍යයෙන් අසත්‍ය වෙන්කර යහමඟ පැහැදිලි කිරීම පිණිස, (2-185)
  • (ඉස්ලාමය පිලිගෙන එය) විශ්වාස කරන්නන් හට සුභාරංචි පවසනු පිණිස, (16-102)
  • ලොව සියළු ජනයාට අවවාදයක් වනු පිණිස (25-1)
  • (මිනිස් සමාජයට) අනුශාසනා කරනු පිණිස (36-6)
  • සිත්වල ඇති රෝගයන් (ගැටළු) සදහා ප‍්‍රතිකාරයක් වනු පිණිස (10-57)
  • (දෙවියන්ට)බියබැති පිරිසට උපදේශයක් වනු පිණිස (20-3)
  • මිනිසාට යහමග පෙන්වීම පිණිස (2-185)
  • (සමස්ථ සමාජයට) අවවාදයක් පිණිස (26-103)
  • දෙවියන් වහන්සේ විසින් පෙර පහල කල වක්තෘවරුන්ගේ උපදේශයන් සත්‍ය කරනු පිණිස, (11-120)

ඉහත ආකාරයේ උතුම් අරමුණු පෙරදැරිව පහල වූ අල්කුර්ආන් වාක්‍යයන් 6500 කටත් වඩා අධිකව පහල වන ලදී. මේ ආකාරයට අල්ලාහ් (දෙවි) විසින් මුහම්මද් (සල්) නම් වක්තෘවරයාණන් හට පහල කරන ලද අල්කුර්ආනය අදටත් එලෙසින්ම ආරක්ෂා වී පැවතීම විශ්මිතයකි.

මා මෙසේ පවසන විට එය කොතරම් දුරට සත්‍යයද? එහි වලංගුභාවය කොපමණද? යන පැනයන් සමහරක්ට මතුවීමට පුළුවන. කිසියම් දහමක පවසන නීතිරීතීන්, වත්පිලිවෙත්, අවවාද, අනුශාසනා… යනාදීය එහි ආරම්භයේ සිට ම ආරක්‍ෂා වී පවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එය එම දහමේහි වලංගුභාවයට සෘජුවම බලපාන සාධකයකි. එසේම එම දහමේ හෝ දර්ශනයේ ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්‍ෂා වී ඇති ආකාරය ද එනම්, මුඛපරම්පරාගතවද?, සම්ප්‍රදායිකවද?, ලිඛිතවද? යන්නත් එම දහමට සෘජුවම බලපාන සාධකයන්ය. එසේ නම් අල්කුර්ආනය සම්බන්ධයෙන් දැන් අප ඉදිරියේ ප්‍රශ්නයක් ඇත. එනම්,

ඉස්ලාම් දහමේ මූලාශ්‍රය වන අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය කුමක්ද?

කිසියම් දහමක දර්ශනයක ඉගෙන්වීමේ වලංගුභාවය රදා පවතින්නේ එහි පැවසෙන කරුණු මත පදනම්ව පමණක් නොව එම ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වූ ආකාරය මතද පදනම්වයි. ඒ අනුව ‘මීට වසර 1430 කට පමණ පෙර ප්‍රකාශ වූ ඉගෙන්වීමක් වසර 23 ක් මුළුල්ලේ කුඩා කොටස් වශයෙන් පහල වී ඒ සියල්ල 100%ක් අදටත් ආරක්ෂා වී පවතිනවා යන්න පැවසීම ගැටළු සහගත නොවේද?’ යන පැනය බොහෝ දෙනෙකු තුල මතුවන්නට පුළුවන. එමනසා මෙම ලිපි පෙලේ තවත් කොටසක් ලෙස ඉදිරියේ දී ඒ පිලිබදව ද ‘යහමග’ තුලින් විමසා බැලීමේ පොරොන්දුව මත ‘දේව පණිවුඩ පහලවීමේ ඇරඹුම හා අවසානය’ නම් මෙම කොටස මෙතැනින් අවසන් කරමි.

(මෙම ලිපියේ තවත් කොටසක් ඉදිරියට බලාපොරොත්තු වන්න…)

මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ ඉදිරියට කථා කිරීමට අදහස් කරමි. එනම්,

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site