නිවැරදි අධ්‍යනයකට අත්වැලක් – අල්කුර්ආන් කලාව

0

ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන අල්කුර්ආනයේ ඉගෙන්වීමන් සම්බන්ධයෙන් විවිධ වූ විවේචන හා අභියෝග ඉදිරිපත් වන ප්‍රවණතාවයක් දැන් දැන් ශ්‍රී ලාංකීය සමාජය තුල දක්නට ඇත. අල්කුර්ආනය, මුස්ලීම්වරුන්ව මනුෂ්‍ය ඝාතනයට පොළොඹ වනවා, ඔවුනට මිලෙච්ඡත්වය උගන්වනවා, එහි පුරුෂ ආධිපත්‍යයක් ගැන කථා කරනවා, අන්‍ය ආගමිකයන් ප්‍රතික්ෂේප කරනවා, කෲර වදහිංසන නීති එහි පවතිනවා, සත්ව හිංසාවට අනුබල දෙනවා… යනාදීය ඔවුන් ඉදිරිපත් කරන විවේචනයන් අතර කිහිපයකි. මෙසේ විවේචන එල්ල කරන එම පිරිස් අතුරින් බහුතරයක් කිසිදු පදනමකින් තොරව ‘අල්කුර්ආනයේ තිබෙනවා’ යන උපකල්පනයේ හිඳ විවේචන කලත්, සමහරක් පිරිස් අල්කුර්ආන් පාඨයක් හෝ එයින් කොටසක් ඉදිරිපත් කරමින් තම වාදය ගොඩනඟන ආකාරය ද දක්නට ඇත.

කිසිදු පදනමක් නොමැතිව මනක්කල්පිතයන් මත හිඳ විවේචනයන් කරන පිරිස් අතර තමන් ඉදිරිපත් කරන වාදයට අල්කුර්ආනයෙන් සාක්ෂි උපුටා දැක්වීමට උත්සාහ කරන පිරිසගේ උත්සාහය සැබෑවින්ම අගය කලයුත්තකි. නමුත් අල්කුර්ආනයට එරෙහිව කිසියම් වාදයක් විවේචනයක් ඉදිරිපත් කිරීමේ දී ඒ විෂය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයකින් යුතුව එය කලයුතුය. එසේ නොමැතිව කිසියම් වාක්‍යයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් පදනම් කරගෙන ගොඩනඟන විවේචන අභියෝග කිසිසේත් සාධාර්ණ හා බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට ම පැහැදිලි වනු ඇත. එසේනම් අල්කුර්ආනය අධ්‍යනය කිරීම හෝ එහි ඉගෙන්වීමන්ට අභියෝග කිරීමට ප්‍රථම එහි වාක්‍ය රටාවන් තිබෙන්නේ කුමන ආකාරයටද? එහි ඉගෙන්වීමන් තේරුම් ගන්නේ කෙසේද? එය තේරුම් ගැනීමේ කලාව කුමක්ද? යන කාරණයන් පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම් පදනම් කරගෙන මෙතැන් සිට විමසා බලමු.

නව කථාවක්, ඉතිහාස  කථාවක් මෙන් අල්කුර්ආනයේ ඉගෙන්වීමන් එකදිගට එක විෂයක් ගලාගෙන නොයයි. එහි වාක්‍ය රටාවන් ලොව අනිකුත් ග්‍රන්ථයන්ට වඩා බොහෝ සේ වෙනස්ය. වසර 23ක් මුළුල්ලේ විටින් විට සමාජයේ ඇති වන ගැටළුවලට විසදුම් ලෙසත්, එම සමාජයට අවවාද අනුශාසනා කරනු පිණිසත්, රාජ්‍ය පාලනය හා අනිකුත් පරිපාලන කටයුතු සදහා උපදෙස් ලෙසත්, දෙවියන් හා දේව නැමදුම පිලිබදව දැනුවත් කිරීම පිණිසත්… මෙම අල්කුර්ආන් වාක්‍යයන් පහල විය. ඒ අනුව අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී එහි වාක්‍ය රටාවන් පිලිබදව මූලික අවබෝධයක් තිබිය යුතුමය. ඒ පිලිබදව කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

  • අල්කුර්ආනයේ එක් වාක්‍යයකට අල්කුර්ආනයේම වෙනත් තැනක සදහන් වාක්‍යයක් විග්‍රහයක් ලබාදෙන අවස්ථාවන් ඇත.
  • අල්කුර්ආනයේ එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයන් රාශියක් විවිධ පරිච්ඡේදවල විසිරී තිබෙන අවස්ථාවන් ඇත.
  • අල්කුර්ආනයේ එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයන් තුල පවා මුල් වාක්‍යය අල්කුර්ආනයේ අග පරිච්චේදවලත් එම විෂය කථා කරන අවසාන වාක්‍යයන් මුල පරිච්ඡේදවලත් තිබෙන අවස්ථාවන් ඇත.

 (මේ පිලිබදව වැඩි විස්තර අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය නම් ලිපිය කියවන්න)

ඉහත මූලික කාරණයන් පිලිබදව අවබෝධයෙන් යුතුව අල්කුර්ආනය අධ්‍යනය කලයුතු අතර එසේ අධ්‍යනය කිරීමේ දී අනුගමනය කලයුතු ප්‍රධාන නීති 05ක් ගැන ඉස්ලාමයේ නීති විශාරදයන් පෙන්වාදේ. එනම්,

  • අල්කුර්ආනයේ වාක්‍යක් කෙරෙහි අවදානය යොමු කිරීමේ දී එම වාක්‍යයට පෙර හා පසු වාක්‍යයන් තුල පවසන කාරණයන් පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.
  • කිසියම් විෂයකට අදාල වූ වාක්‍යයක් අධ්‍යනයට බදුන් කිරීමේදී එම විෂය සම්බන්ධ අල්කුර්ආනයේ පැවසෙන අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය. (අල්කුර්ආන් පාඨයකට අල්කුර්ආනයේම වෙනත් පාඨයක් හෝ පාඨයන් මඟින් විවරණය ලබාදෙන බැවිනි.)
  • අල්කුර්ආන් වාක්‍යයකට හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශයන්) විවරණය ලබාදෙන අවස්ථා අනන්තවත් ඇත. එම අධ්‍යනය කරන විෂය පිලිබදව හදීස්වල සදහන් කරුණු ද විමසා බැලිය යුතුය.
  • අල්කුර්ආනයේ එක් වාක්‍යයක් මඟින් තවත් වාක්‍යයක් අවලංගු කරන අවස්ථාවන් ඇත. අල්කුර්ආනය ගවේෂණය කිරීමේ දී ඒ පිලිබදව ද සැලකිලීමත් වියයුතුය.
  • අල්කුර්ආනයේ ගවේෂණයට බඳුන් කරන වාක්‍යය පහල වූ අවස්ථාව එනම්, එය පහල වීමට පසුබිම් වූ සිද්ධිය හා එවකට සමාජ පසුබිම පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.

ඉහත ප්‍රධාන නීති 05 මෙතැන් සිට තරමක් සවිස්තරව හා නිදසුන් සහිතව විමසා බලමු.

1./පෙර-පසු වාක්‍යයන් නොසලකා හැරීම නොකලයුතුය.

අල්කුර්ආනයේ සදහන් වාක්‍යය සම්පූර්ණයෙන් නොගෙන තමන්ට අවශ්‍ය කොටස පමණක් ගෙන වාදයන් ගොඩනැගීම හා අධ්‍යනය කරන වාක්‍යයට පෙර පසු වාක්‍යයන් නොසලකා හරිමින් වාදයන් ගොඩනැඟීම. මේ යටතේ සැලිකිය හැක. මෙය කිසිසේත් සාධාර්ණ නොවව වැරදි ක්‍රමවේදයකි. එය නිදසුනකින් පැහැදිලි කරනවා නම්,

මුස්ලීම්වරුන්ට අනිවාර්‍ය කොට ඇති දිනපතා පස්වේල් නැමදුම සම්බන්ධයෙන් අල්කුර්ආනය එක්තරා තැනක මෙසේ පවසයි.

‘සලාත් (පස්වේල නැමදුම්) කරන පිරිසට විනාශයමය’

අල්කුර්ආන 107-4

ඉහත එම වාක්‍යය පදනම් කරගෙන විනිශ්චයකට එලඹෙන්නේ නම්, එලඹිය හැකි නිගමනය වන්නේ…

‘මුස්ලීම්වරුන් දිනපතා කරන පස්වේල සලාතය ඔවුන්ව විනාශය කරා ගෙනයන බැවින් ඔවුන් දෛනික නැමදුම වන සලාතය ඉටුකිරීමෙන් වැලකිය යුතුය’

නමුත් එය එසේ නොවේ. 107-4 වාක්‍යයෙන් ‘විනාශය’ යයි කියූ අල්කුර්ආනය 107-5 සහ 107-6 වාක්‍ය මඟින් එම විනාශයට ගොදුරු වන්නේ කවුරුන්ද? යන්න විස්තර කරයි. ඒ මෙසේය,

ඔවුන් කවුරුන් ද යත් තම සලාතය ((නැමදුම) නිසිලෙස හා නිවැරදිව ඉටුකිරීම පිලිබදව) නොසැලකිලීමත් වූ පිරිසයි. ඔවුන්  (සලාතය ඇතුළු කුසල ක්‍රියාවන්වල යෙදෙන විට)මුනිච්චාවට එය ඉටු කරන්නෝය (6).

අල්කුර්ආන 107-5,6

ඉහත වාක්‍ය 03ම සම්බන්ධ කොට කියවන විට ඉහත 107-4 වාක්‍යයෙන් පවසන්නට එන කාරණය ඔබට පැහැදිලි වනු ඇත. මේ ආකාරයට පෙර පසු වාක්‍යය සමඟ එක්කොට තේරුම් ගතයුතු අල්කුර්ආන් වාක්‍යය විශාල ප්‍රමාණයක් අල්කුර්ආයේ ඇත. එයට නිදසුන් ලෙස අල්කුර්ආනයේ 9-5, 11-96… වාක්‍යයන් ද සදහන් කලහැක.

2./ වාක්‍යයක් අධ්‍යනය කිරීමේදී ඒ සම්බන්ධ අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය.

අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේදී එක් වාක්‍යයකට පෙර පසු වාක්‍යය පිලිබදව සැලකිලීමත් වනවා සේම එම විෂය පිලිබදව අල්කුර්ආනයේ වෙනත් තැන් හි එම විෂය පිලිබදව කථා කරන වාක්‍යයන් පිලිබදව සැලකිලීමත් වියයුතුය. එසේ නොකොට අවසාන නිගමනයකට එලඹීම නිවැරදි අල්කුර්ආන් අධ්‍යනයක් නොවේ. මෙයද නිදසුනකින් විමසා බලන්නේ නම්,

ඉස්ලාම් දහමේ අනිවාර්‍ය යුතුකමක් වන සකාත් (බද්ධ) බෙදාදෙන ලෙස අල්කුර්ආනයේ බොහෝ තැන්වල දැඩිව අවදාරණය කරයි. එවැනි වාක්‍යයක් වෙත ඔබේ අවදානය යොමු කලේනම්,

සලාත් (නම් පස්වේල නැමදුම) තහවුරු කරනු. සකාත් (බද්ධ) ගෙවනු.

අල්කුර්ආනය 24-56

මීට අමතරව 2-43, 2-277, 5-55, 9-11, 19-55, 21-73… යනාදීය තවත් බොහෝ තැන්වල සකාත් (බද්ධ) ගෙවන ලෙස අල්කුර්ආනය පවසයි. නමුත් එය ගෙවිය යුත්තේ කාටද? යන්න පිලිබදව ඉහත වාක්‍යයන් කිසිවක සදහන් නොවේ. නමුත් සකාත් (බද්ධ) ලබන්න සුදුසු කණ්ඩායම කවුරුන්ද යන්න පිලිබදව අල්කුර්ආනය වෙනත් වාක්‍යයකින් විස්තර කරයි. එය මෙසේය…

…ඔහු (අල්ලාහ්(දෙවි)) කෙරෙහි වූ ඇල්ම නිසා දේපළ නෑදැයින්ටද, අනාථයින්ටද, දිළින්දන්ටද, මගීන්ටද, යාචකයින්ටද, වහලූන් මුදවා ගැනීමටද වැය කර සලාත්හි නිරතව zසකාත් ගෙවීමද වේ…

අල්කුර්ආනය 2-177

ඉහත 24-56 වාක්‍යය මඟින් සකාත් බද්ධ ගෙවීම අනිවාර්‍ය බව පවසන අල්කුර්ආනය එය බෙදාදිය යුත්තේ කාහටද? යන්න අල්කුර්ආනයේ 2-177 වාක්‍යය මඟින් පැහැදිලි කරයි. ඒ අනුව 2-117 වාක්‍යය සමඟ අනිකුත් වාක්‍යයන් සම්බන්ධ කර බැලුවේ නම් පමණයි ඉහත සකාත් (බද්ධ) පිලිබව පැහැදිලි නිගමනයන්ට එළඹිය හැකි වන්නේ. මෙහි නිදසුනට එක් වාක්‍යයක් ගෙන සාකච්චා කලද මෙවැනි වාක්‍යයන් රාශියක් අල්කුර්ආනයේ ඇත. මේ අනුව පැහැදිලි වන්නේ අල්කුර්ආන් වාක්‍යයකට අල්කුර්ආනයේ තවත් වාක්‍යයක් මඟින් විග්‍රහයන් ලබාදෙන බවයි.

3./ අල්කුර්ආනයට සමගාමීව එම විෂයට අදාල හදීසයන් ද විමසා බැලිය යුතුය.

ඉස්ලාම් දහමේ මූලාශ්‍ර දෙකකි. අල්කුර්ආනය හා අල්-හදීසය යනුවෙන් හදුන්වන මෙම මූලාශ්‍රයන් දෙකම දිව්‍යමය අණාවර්නයක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ඒ අනුව අල්කුර්ආනයේ සදහන් නොවන සමහරක් නීති අල්-හදීසයේ සදහන් වන අවස්ථාවන් ඇත. නිදසුනක් ලෙස ඉහතින් සාකච්චා කල සකාතයම නැවත විමසා බලන්නේ නම්,

අල්කුර්ආනයේ සකාත් (බද්ධ) ගෙවීමේ අවශ්‍යතාවය සහ එය බෙදා දියයුතු පාර්ශවයන් කවුරුන්ද යන්න විස්තර කලත් එහි ප්‍රමාණයන් හා සීමාවන් අල්කුර්ආනයේ සදහන් නොවේ. එය විස්තර කෙරෙන්නේ අල්-හදීසයන්වලය. එපමණක් නොව ඉහතින් සාකච්චා කල සලාතය නොහොත් නැමදුම ඉටුකරන ලෙස අල්කුර්ආනය පැවසූවත් එය කුමන වේලාවේ කවර ආකාරයට ඉටුකලයුතු ද යන ප්‍රායෝගික පැහැදිලි කිරීම කරන්නේ හදීසයන්ය. ඉස්ලාමයේ අනිවාර්‍ය වගකීමන් වන සකාතය, සලාතය සේම උපවාසය සම්බන්ධයෙන් ද බොහෝ නීති විස්තර කෙරෙන්නේ අල්-හදීසයන් තුලය. එවැනි එක් වාක්‍යයක් පිලිබදව අවදානය යොමු කලේනම්,

තවද, අළුයම(කාලයෙ)හි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලිව පෙනෙනතෙක් (ආහාර) අනුභව කරනු, පානයකරනු. අනතුරුව (මෙම සියලූ දෙයින්ම වැළකි) රාත්‍රිය එළඹෙනතුරු උපවාසය සම්පුර්ණ කරනු

ශුද්ධ වූ කුර්ආනය 2-187

ඉහත 2-187 අල්කුර්ආන් වාක්‍යය උපවාසය ආරම්භ කරන මොහොත පිලිබදව පවසයි. එහිදී ‘…කළු නූලෙන් සුදු නූල පැහැදිලිව පෙනෙනතෙක්…’ යයි පැවසීම මිනිස් බුද්ධිය පමණක් යොදා අවබෝධ කරගත හැකි වාක්‍යයක් නොවේ. එසේ වුවානම් උපවාසය ආරම්භ කරන අවස්ථාවේ කළු හා සුදු නූලක් අතේ ඇතුව ආහාර අනුභව කිරීම සිදුකල යුතු වේ. නමුත් මේ පිලිබදව අල්-හදීසයේ සවිස්තරව කරුණු සදහන් වේ. එනම්, මෙහි ‘…කළු නූලෙන් සුදු නූල…’ යයි පවසන්නේ අළුයම හෙවත් හිරු උදාවන මොහොත බව පැහැදිලිව විග්‍රහ කෙරේ.

මෙහිදී අල්-හදීසය නොසලකා අල්කුර්ආනය තුලින් පමණක් ඉස්ලාමයේ ඉගෙන්වීමන් අවබෝධ කරන්නට ගියේනම්, ඉස්ලාමයේ අනිවාර්‍ය යුතුකම වන සලාතය, සකාතය, උපවාසය පමණක් නොව හජ් යන නැමදුම සම්බන්යෙන් ද බොහෝ දෑ අවබෝධ කරගැනීමට නොහැකි වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ අල්කුර්ආනය තේරුම් ගැනීමට අල්-හදීසය ද අත්‍යඅවශ්‍ය අංගයක් යන්නයි. මෙය අල්කුර්ආනය ද අවදාරණය කරන සත්‍යයක් යන්න ඔබේ වැඩිදුර අවබෝධයට සටහන් කරමි.

4./අල්කුර්ආනයේ එක් වාක්‍යයකින් තවත් වාක්‍යයක් අවලංගු කරන අවස්ථාවන් පිලිබදව සැලකිලීමත් වියයුතුය.

අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේදී එක් එක් විෂයකට අදාල සියළු වාක්‍යයන් පිලිබදව සැලකිලීමත් වනවා සේම එක් විෂයක් පිලිබදව කථා කරන වාක්‍යයක් අවලංගු කරමින් තවත් වාක්‍යයක් ඉදිරිපත් වන අවස්ථාවල් ද (සීමිත වශයෙන්) අල්කුර්ආනයේ ඇත. එසේ කථා කරන වාක්‍යයන් ද සැලකිල්ලට ගෙන අල්කුර්ආන් අධ්‍යනය සිදුකල යුතුය. මෙය නිදසුනක් ගෙන විමසා බලන්නේ නම්,

සුරාව (මත්පැන්) භාවිතය ඉස්ලාම් දහමට අනුව තහනම් යන්න ඔබ සියළුදෙනා හොදින් දන්නා කාරණයකි. මේ සම්බන්ධයෙන් මුස්ලීම් නොවන සමාජයට ද කිසියම් අවබෝධයක් ඇත. එමනිසා සුරාව සම්බන්ධ අල්කුර්ආන් වාක්‍යයක් ගෙන ඉහත නීතිය පැහැදිලි කරන්න අදහස් කරමි.

විශ්වාසවන්තයිනි! නුඹලා පාරායනය කරන දෑ (නුඹලාට) නොවැටහෙන ලෙස සුරාමතින් සිටින විට සලාතය (නැමදුම)ට ළං නොවනු.

අල්කුර්ආනය 4-43

ඉහත වාක්‍යය තුලින් පැහැදිලි වන්නේ සලාතය එනම් පස්වේල් නැමදුම කරන අවස්ථාවල පමණක් සුරා පානයෙන් වැලකී සිටිය යුතු බවත්,  සිහිය විකෘති නොවන තරමින් සුරා පානයකර ඇත්නම් නැමදුම කලහැකි බවත්ය. ‘සුරාපානය’ යන මෙම විෂය පිලිබදව අල්කුර්ආනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී 4-43 වාක්‍යය පමණක් පදනම් කරගත්තා නම්, එලඹිය යුතු නිගමනය ඉහත ආකාරයට වූවත් අල්කුර්ආනයේ මේ විෂය පිලිබදව කථා කරන 5-90 වාක්‍යයක් විමසා බලන්නේ නම්, එහි මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි.

විශ්වාසවන්තයිනි! සුරාව, සූදූව, අන්සාබ් (ආදේශවාදීන් අදහන පිළිරුව ඉදිරියේ පූජාවන් සඳහා යොදා ගන්නා ගල්) හා අzස්ලාම් (නිමිති බැලීමට සිටුවා තබා ඇති රිටි) යන මේ සියල්ලම ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත ක්‍රියාවේ. එනිසා මේවායින් වළකිනු. නුඹලාට ජයග්‍රාහකයන් විය හැකිය.

අල්කුර්ආනය 5-90

ඉස්ලාම් දහම සුරාපානය මිනිස් සමාජයට තහනම් කලේ පියවර කිහිපයක් මඟිනි. 4-43, 2-219 සහ 5-90 එම පියවරයන්ය. (මේ පිලිබදව දීර්ඝ විස්තර සහිත ලිපියක් යහමග අඩවියේ මෙතැනින් කියවන්න) මේ සියළු වාක්‍යයන් විශේෂයෙන් 5-90 වාක්‍යය නොසලකා 4-43 මගින් මෙම විෂයට අදාල අවසාන නිගමනයකට එලඹුණේ නම් එය සම්පූර්ණයෙන් වැරදි නිගමනයක් යන්න දැන් ඔබට අවබෝධ වනු ඇතැයි සිතමි.

5./ අල්කුර්ආන් වාක්‍යයක් අධ්‍යනය කරන විට එය පහල වූ අවස්ථාව හා එයට පසුබිම් වූ සිද්ධිය පිලිබදව ද සැලකිලිමත් වියයුතුය.

මෙතෙක් කථාකල නීතිවලින් අවසාන නීතිය වන මෙම නීතිය එතරම් ප්‍රබල අවශ්‍යතාවයක් නොවුනත් කිසියම් වාක්‍යයක් නිවරුදව හා පූර්ණ ලෙස අවබෝධ කරගැනීමට එය පහලවීමේ සමාජ පසුබිමත් දැන සිටීම අවශ්‍ය වේ. එයට නිදසුන් ලෙස නිදසුන් ගණනාවක් ඉදිරිපත් කල හැක. මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල 9-5 අල්කුර්ආන් වාක්‍යය පදනම් කරගත් ‘මනුෂ්‍ය ඝාතනය අල්කුර්ආනය මුස්ලීම්වරුන්ට උනන්දු කරනවාද?‘ යන ලිපියද එවැනි එකකි. මෙම නීතිය අවබෝධ කරගැනීම පිණිසත් නිදසුනක් වෙත යොමු වන්නේ නම්,

උපවාස නීති සම්බන්ධයෙන් කථා කරන අල්කුර්ආනය එහි එක්තරා නීතියක් මෙසේ විස්තර කරයි.

…නමුත් කවුරුන් වහලෙකු නිදහස් කිරීමට ශක්ති සම්පන්න නොවන්නේද ඔවුන් දෙදෙනා එකින් එකා ස්පර්ශ කිරීමට පෙර ඔවුන් දෙදෙනා මාස දෙකක් අඛණ්ඩව උපවාසයේ නිරත වියයුතුය. එයට ශක්තිසම්පන්න නොවේ නම්, දුප්පතුන් හැට දෙනෙකුට ආහාර ලබා දිය යුතුය…

අල්කුර්ආනය 58-4

ඉහත වාක්‍යය කියවන ඔබට ‘අද කොහොමද වහල්ලු නිදහස් කරන්නේ’ යන ගැටළුව අනිවාර්‍යයෙන් මතුවෙනු ඇත. නමුත් මෙම වාක්‍යය පහල වූ සමාජය සැලකූවිට එහි වෙළද පොළොවල් හි මිනිසුන් (වහලුන්) භාණ්ඩයක් ලෙස අලෙවි කෙරුණු සමාජයක් බව සදහන් වේ. ශ්‍රේෂ්ඨ සහාභිවරයෙකු වන (කළු ජන වර්ගය නියෝජනය කල) බිලාල් (රලි) තුමා ද එලෙස වෙළද පොළෙන් මිලදී ගෙන නිදහස් කරන ලද සහාභිවරයෙකි. එදා එම සමාජයේ පැවති වහල් සංකල්පය තුරන් කිරීම පිණිස ඉස්ලාම් බොහෝ අවස්ථාවල වරදට දඬුවම් ලෙස වහලුන් නිදහස් කිරීම අවදාරනය කරන ලදී. ඒ අනුව 58-4 වාක්‍යය නිවැරදිව අවබෝධ කරගැනීමට නම් එම වාක්‍යය පහල වූ සමාජයේ පැවති වහල් සංස්කෘතිය අවබෝධ කරගතයුතු වේ.

ඉහතින් මේ දක්වා සාකච්චා කලේ  අල්කුර්ආනය අධ්‍යනය කිරීමේ දී හා ගවේෂණය කිරීමේ දී අනුගමනය කලයුතු ප්‍රධාන නීති 05 යි. එම නීතීන් යටතේ කරන ගවේෂණයයි නිවැරදි ගවේෂණය වන්නේ. එසේ නොමැති තමන්ට වාසි සහගත ලෙස වාක්‍යයක් හෝ වාක්‍යයකින් කොටසක් අරගෙන ඒය පදනම් කරගෙන තර්ක විතර්ක ගොඩනැඟීම නිවැරදි හා සාධාර්ණ ක්‍රමවේදයක් නොවේ. එයින් සිදුවන්නේ අල්කුර්ආනයේ ඉගෙන්වීමන්ට පරස්පර වූ මතවාදයක් මතුවීම පමණි. එවිට එහි නිවැරදි ඉගෙන්වීම අවබෝධ කරගැනීම අපහසු වේ. එම දුර්වලතාවයෙන් මිදී අල්කුර්ආනයේ ඉගෙන්වීමන් එහි නීති-රීති අනුව විවෘත මනසින් හා සත්භාවයෙන් අධ්‍යනය කිරීමට මේ ලෝකවාසී සියළුදෙනාට නුවණැස පෑදේවා යන පැතුමෙන් මෙම ලිපිය අවසන් කරමි.

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site