නූතන ජාහිලියාව

0

ජාහිලියා සමාජය යනු කුමක්ද? යන්න මීට පෙර ලිපියකින් අපි කථාකලෙමු. එම ජාහිලියා සමාජය මොනවගේද? ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා සම්ප්‍රදායන් මොනවගේද? යන්න එහි අපි සාකච්චා කලෙමු. ඉස්ලාම් දහම ප්‍රකාශ වීමත් සමඟ අතුරුදහන් වී ගිය ඒ ‘ජාහිලියා’ව යලිත් අළුත් මුහුණුවරකින් වත්මන් සමාජය තුල නැවත ක්‍රියාත්මක වීමක් සිදුවෙමින් ඇත. මේ පිලිබදව මුස්ලීම් සමාජයේ අවදානය යොමු කිරීම පිණිසත්, එම ජාහිලියාවෙන් ආරක්ෂා වීම පිණිසත් මෙම ලිපිය තුලින් එදා පැවති ජාහිලියා පුරුදු හා සම්ප්‍රදායන් වර්ථමාන දියුණු යයි පවසාගන්නා සමාජය තුල කොතරම් දුරට පවතිනවාද? යන්න පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම මෙම ලිපියෙහි අරමුණයි.

‘ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවති සමාජය අඳුරු යුගයක ජීවත් වූ සමාජයක්. අපි එහෙම නැහැ මේ සමාජය ඉතා දියුණුයි’ මේ අද බොහෝ දෙනෙකු පවසන කථාවකි. එහි ඇත්තක් නැතුවා නොවේ එදාට වැඩිය වීදි-මංමාවත් අද දියුනුයි, යාන-වාහන දියුණුයි, ගෙවල්-දොරවල් දියුණුයි, වත්-පොහොසත්කමින් දියුණුයි, ඇදුම්-පැලදුම්වලින් දියුණුයි, තාක්ෂණ හා විද්‍යාවෙන් දියුණුයි… මේ ආකාරයට සියල්ලෙන්ම දියුණුයි. නමුත් සාරධර්මවලින් හා ශිෂ්ඨත්වයෙන් අප නොදියුණුය.

බුද්ධිමත්ව විමසා බලන්න එදා ජාහිලියා සමාජයේ පැවති පහත පුරුදු,

  • එම සමාජය කාන්තාවන් දුර්භාග්‍යයක් ලෙස සලකා,  කුඩාකලම (බොහෝ විට පණපිටින් වලළා) ඝාතනය කරන සමාජයක් විය.
  • දුප්පත්කමට බියේ දරුවන් ඝාතනය කරන සමාජයක් විය.
  • විවාහය නමින් විවිධ ආකාරයේ (බහු ලිංගික සම්බන්ධතාවයන් පවත්වා තම ස්වාමියා / බිරිද තෝරාගැනීම වැනි) අනාචාරයන් පැවති සමාජයක් විය.
  • පිලිම වන්දනාව (බහු දේව විශ්වාසය, දිනකට එක් දෙවියෙකු බැගින් දෙවිවරු 365ක් වන්දනාමාන) කරන සමාජයක් විය.
  • සියල්ල ජෝතිෂ්‍ය මත පදනම්ව තීන්දු කරන සමාජයක් විය.
  • මියගිය පිරිසගෙන් භාරහාර කරන තම අවශ්‍යතාවයන් ඔවුන්ගෙන් ආයාචනා කරන ඔවුනට නැමදුම් කරන සමාජයක් විය.
  • කාන්තාවන්ට විවිධ වූ වධහිංසා පමුණුවන කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් නොවන ලෙස සැලකූ සමාජයක් විය.
  • සමාජය තුල ප්‍රබලයන් දුබලයන්ව තමන්ට රිසිසේ පාලනය කිරීම සුලබව පැවතී සමාජයක් විය.
  • සමස්ථ සමාජයම සුරාවෙහි ගිලී පැවතී සමාජයක් විය.
  • නිර්වස්ත්‍රව දේව නැමදුමෙහි නියැලෙන සමජයක් විය.
  • පියා මියගිය හොත් පියගේ බිරිද (කුඩම්මා) තමා (පුතා) විවාහ කරගැනීම නීතියක් වූ සමාජයක් විය.
  • කුලවාදය දරුණුවට ම ක්‍රියාත්මක වූ ජන සමාජයක් වීය.
  • මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය කාරණයක් ලෙස සිතෙන තරමට මිනිස් ජීවිතවලට වටිනාකමක් නොදුන් සමාජයක් විය.
  • අරාබි භාෂාව පමණක් භාෂාවක් ලෙස සලකමින් අනිකුත් භාෂාවන් සියල්ල භාෂාවක් ලෙස පිලිනොගෙන ප්‍රතික්ෂේප කල සමාජයක් විය.

ඉහත සදහන් කිසිදු පුරුද්ධක් වත්මන් සමාජය තුල නැතැයි කාටද කියන්න පුළුවන්?

එදා ඉස්ලම් ප්‍රකාශ වීමට පෙර පැවති ඉහත ආකාරයේ සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස ඉස්ලාම් හඳුන්වන්නේ ඔවුන් ශාස්ත්‍රීය, කලාව හා විද්‍යාව යන ක්ෂේත්‍රයන් තුල උපරිම දියුණුවක් ලබා තිබුණත් සාරධර්ම පිරිහී අශිෂ්ඨ සමාජයක් ව පැවතුණු නිසාය. එම අශිෂ්ඨත්වය කවර කාලයක කවර සමාජයක් තුල මතුවන්නේද? එම සමාජය ‘ජාහිලියා’ සමාජයක් බවට පරිවර්ථනය වීම ඉස්ලාමයේ ස්ථාවරයයි. එය පහත හදීසයන් තුලින් ද පැහැදිලි වේ. එනම්,

අධ්‍යාපනය ජනයාගෙන් අතුරුදහන්වීම, ජාහිලියා පුරුදු (නැවත) ඇතිවීමත්, මත්පැන් පානය සහා ප්‍රසිද්ධියේ කාමුක ක්‍රියාවල නියලීමත් ලෝක අවසානයේ කලකුණු වේ

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

‘(මරණින් මතු ඇතිවන) කියාමත් දිනයට පෙර (මිනිස්) ඝාතන බහුලව සිදුවන කාලයක් එනු ඇත. එම කාලයේ අධ්‍යාපනය අතුරුදහන් වී ‘ජාහිලියා’ව මතු වනු ඇත.’ යනුවෙන් නබිතුමාණන් පැවසූ බව ඉබුනු මස්වූද් (රලි) තුමාණන් පවසයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

ඉහත හදීසයන් දෙක හොදින් විශ්ලේශනය කලේනම්, ‘ජහිලියා’ යන්න ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවති සමාජයන් සමඟ නිමා වන යලි ඇති නොවන තත්වයක් නොවන බව පැහැදිලි වේ. එදා පැවති ජාහිලියා විශ්වාස හා පුරුදු කවර ජන සමාජයක පවතින්නේද? එම සමාජයන් ජාහිලියා සමාජය යන්න ඉහත හදීසය තුලින් පැහැදිලි වන කාරණයයි. එය වඩාත් හොදින් තහවුරු කිරීමට නිදසුන් ඕනෑ තරම් සමාජයෙන් ගෙනආ හැකි වූවත් මෙම ලිපිය දීර්ඝවීමත් ඉදිරියට සවිස්තරව මෙම විෂය කථා කිරීමත් සැලකිල්ලට ගෙන වත්මන් ජාහිලියාව හොදින් අවබෝධ කරදීම පිණිස සමාජයේ පවතින ජාහිලියාව ඉක්ම වූ ජාහිලියා සිරිත් 03ක් පමණක් මෙහි ගෙන කෙටියෙන් විමසා බලන්න අදහස් කරමි.

කාන්තාව දුර්භාග්‍යයක් ලෙස හෝ අවාසනාවක් ලෙස දැකීම,

  • එදා ජාහිලියා සමාජය කුඩා ගැහැණු දරුවන් පණපිටින් වලළන සමාජයක් විය. ඔවුන් ගැහුණු දරුවක් ලැබීම දුර්භාග්‍යයක් ලෙස සලකන සමාජයක් විය. ඒ අශිෂ්ඨ සිතුවිල්ල හා ක්‍රියාව වත්මන් සමාජය තුල ද ඒ ආකාරයටම පවතින තත්වයක් දැකගත හැක. මෙය මුස්ලීම් සමාජයේ පමණක් නොව මුස්ලීම් නොවන සමාජයන් තුල ද බහුලව දක්නට ඇත. පූජනීය ස්ථානයන් තුලට කාන්තාවන් ඇතුලවීම වැලක්වීමත්, දරු ගැබ තුල ඇති දරුවා ගැහැණුදරුවකුද? යන්න බලා ගබ්සා කිරීමත් එම ජාහිලියාවේ පැතිකඩකි. මීට අමතරව ශ්‍රීලාංකීය සම්ප්‍රදායක මුස්ලීම්වරුන් යයි පවසාගන්නා බහුතරයක් පිරිස් අතර සිදුවන විවාහ මංගල්ල උත්සවවල එම නව යුවලට කරන සම්ප්‍රදායක ප්‍රාර්ථනාවක් ඇත. එහිදී ඔවුන් දෙවියන් හමුවේ නව යුවලට ප්‍රාර්ථනා කරන්නේ ‘මේ යුවලට පිරිමි දරුවන් ලබාදෙන්න’ යනුවෙනි. මෙවැනි පුරුදු තුලින් පිලිඹිබු වන්නේ එදා පැවති ජාහිලියා පුරුදු නොවේද?

දුප්පත්කමට බයේ දරුවන් ඝාතනය කිරීම

  • දුප්පත්කමට බයේ දරුවන් ඝාතනය කිරීම ජාහිලියා සමාජයේ පැවති ලක්ෂණයකි. මෙම පුරුදු ඒ ආකාරයට ම වත්මන් සමාජය තුල ද දැකීම සුලබ තත්වයකි. දිනපතා වර්ථාවන කුඩා දරුවන් ඝාතනවල සුලමුල සෙවීමේදී එහි මූලික හේතුව වී ඇත්තේ දිළිදුකමයි. මීට අමතරව ජාහිලියාව ඉක්මවා ගිය ඝාතනයක් ද වත්මන් දියුණූ සමාජයේ සිදුවේ. ඒ මේ දුප්පත්කමට බයේ අති බහුතරය නූපන්දරුවන් දරු කළලය තුල දීම විනාශ කිරීමයි.

මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය කාරණයක් යයි සිතෙන තරමට මිනිස් ජීවිතවලට වටිනාකමක් නොදීම.

  • එදා ජාහිලියා සමාජයේ මිනිස් ඝාතනය යන්න සාමාන්‍ය සිද්ධියක් යයි සිතෙන තරමට ඝාතන සංස්කෘතියක් පැවතුණි. දකින දකින සෑම දෙයකටම සුළු කාරණයකටම ඝාතනය කිරීම සාමාන්‍ය සිරිතක්ව පැවතුණි. වත්මන් සමාජය ද ඊට දෙවැනි නැති බව මා අමුතුවෙන් කිවයුතු නොවේ. ලොව ප්‍රබලයන් රටේ ලොව තුල සාමය ඇති කරන බව පවසමින් රට රටවල්වල යුද්ධයන් දියත් කොට දහස් ගණනින් මිනිස් ඝාතන සිදුකරයි. විවිධ ජාතීන් තම ජාතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව පවසමින් තවත් ජාතියක් ඝාතනය කරයි. එක් ආගමක් තම ආගම බේරාගැනීමට යැයි පවසමින් තවත් ආගමික පිරිසක් ඝාතනය කරයි. මායිම් මතභේද පදනම් කරගෙන අසල් වැසියන් ඝාතනය කරයි. එකම පවුලේ සහෝදරයන් මොකක් හෝ සුළු සිද්ධියක් මුල්කරනෙන ඝාතනය වේ. පියා පුතා මරයි. පුතා පියාව මරයි. ස්වාමියා බිරිදව මරයි. බිරිද ස්වාමියා මරායි… මේ ආකාරයට වත්මන් සමාජය තුල ද ජාහිලියා සමාජය තුල මෙන්ම මිනිස් ඝාතනය සාමාන්‍ය කාරණයක් යැයි සිතෙන තරමට සරල වී ඇත.

ඉහත නිදසුන් 03 බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, වත්මන් සමාජය තුල ‘ජාහිලියා’ සිරිත් කොතරම් දුරකට ඔඩුදුවා ඇත්දැයි අවබෝධ කරගැනීම අපහසු නොවේ. ඉහත කරුණු 03ට අමතරව ඉහලින් පෙලගසා ඇති ජාහිලියා පුරුදු ද එකින් එක විමසා බලන්නේ නම්, ඒ සියල්ල එකින් එක මෙලෙසම වත්මන් සමාජ සිරිත් විරිත් සමඟ ඉතා හොදින් ගැලපෙන ආකාරය ඔබට ම තේරුම්ගත හැක. ඒ අනුව වත්මන් සමාජය ‘ජාහිලියා’ සමාජයේම තවත් දිගුවක ඉන්ක්නා බව නම් හොදින් පැහැදිලි වේ.

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site