පියවරු දිනය – ඉස්ලාමීය විමසුමක්

0

ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාව පිතෘත්වය මූලික කරගෙන ගොඩනැඟී ඇති බවක් අතීතයේ පටන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. බොහෝ විට පවුල් ඒකකයක් තුල සිදුවන තීන්දු, තීරණ ගැනීම් පීතෘත්වය මත පැවරෙන වගකීමක් ව එදා පැවතුණි. මුළු පවුලේම ආරක්ෂාව හා ආරථික බර තම කර මතට ගෙන කටයුතු කල ඒ උත්තරීතර පීතෘත්වය අද වනවිට දකින්නට ඇත්තේ ගීතවල සහ පොත්පත්වල පමණක්දෝ! යයි සිතන්නට හැඟේ. මනුෂ්‍යයෙකු තම දිවිය තුල ලබන උත්තරීතරම පදවිය වන පීතෘ පදවිය තවදුරටත් ආරක්ෂා කරගැනිමට නූතන පියවරුන් සමත් වී නැත. පියවරුන් පමණක් නොව දියුණු යැයි පුරසාරම් දොඩන නූතන තරුණ සමාජය ද පිය සෙනෙහස නොහඳනන තරමට නවීන වී ඇත. ඔවුන්ගේ නවීන ලොව තුල පියවරුන් යනු ‘චමින්දලා, මැන්ටල්ලා සහ අංකල්ලා…’ ලෙස යල්පැනගිය මත දරණ අවලංගු චරිතයන් බවට පත්වී ඇත. ඒ බුද්ධියේ ඉණිපෙත්තෙහි සිටින නූතන සමාජය තම පියවරුන්ගේ වටිනාකම අවබෝධ කරගන්න තරම් තවම බුද්ධිමත් නොවූ බැවිණි.  

මේ අවාසනාවන්ත නූතන දියුණුවේ ප්‍රතිපලය ලෙස අද අසන්නට හා දකින්නට ලැබෙන්නේ මොනවාද?

…දියණිය තම පියා ඝාතනය කරයි…
…පුතු තම පියාව ඝාතනය කොට වැසිකිලි වලෙහි වළලයි…
…මන්නයකින් කපා තම පියාව ඝාතනය කොට…
…කැලෑවක තම පියා ඝාතනය කොට සිරුර පුළුස්සයි…
…මා පිය දඹරෙට මැදිහත් වූ දරුවා තම පියාව ඝාතනය කරයි…

මෙහි මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ මාගේ මනසේ ඇති වූ කල්පිතයන් නොවේ. ඒ සියල්ල පසුගිය කාලවල ප්‍රධාන පුවත්පත්වල පලවූ ප්‍රධාන සිරස්තලයන්ය. මෙවැනි සිරස්තල විශාල සංඛ්‍යාවක් මේ ආකාරයට පෙලගැසිය හැක. මේ සියල්ල තුලින්ම පෙනෙන්නේ ඉහල සංස්කෘතියක උරුමකරුවන් බව ආඩම්භරයෙන් පවසා ගන්නා අපගේ සැබෑ පැතිකඩ පමණි. ඉහතින් නිදසුන් මගින් ඝාතන වූ පියවරුන් පිලිබදව පමණක් සදහන් කල ද මීට අමතරව මංමාවත්වල, මහළු නිවාසවල, කිසිදු හව්හරනක් නොමැතිව දුක්විදින පියවරුන්ගේ කථා සිද්ධීන් ගත්විට එහි ප්‍රමාණය ඊටත් විශාලය. එය අප රටේ ඇති මහළු නිවාස ප්‍රමාණය මනාව කියාපායි. දියුණුවෙන් දියුණුවට ම ගමන් කරනා බව පවසන මිනිසා ඊට සාපේක්ෂව මහළු නිවාස ද ඉදිකිරීම තුල නූතන සමාජයේ දියුණුවේ ස්වභාවය හා එහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරයි. මෙම අවාසනාවන්ත තත්වයේ උච්චතම අවස්ථාව ලෙස පියවරුන් සදහා දිනයක් ‘ලෝක පියවරුන්ගේ දිනය’ ලෙස නම් කිරීම ද සදහන් කල හැක.

කාන්තාවට දිනයක්, ළමුන්ට දිනයක්, වැඩිහිටියන්ට දිනයක්… දුන් ලෝකය පියවරුන්ටත් දිනයක් ලබාදී ඇත. සෑම වසරක ම ජූනි 20 ‘ලෝක පියවරුන්ගේ දිනය’ ලෙස එම දිනය සමරයි. මෙලෙස දිනයන් වෙන් කොට සැමරීමේ ක්‍රමවේදය ම වැරදි යන තීරණයේ ‘යහමග’ සිටියත් මුළු ලෝකයම දිනකට සමරණ මේ ‘උත්තරීතර පිය පදවිය’ නොහොත් ‘පීතෘත්වය’ පිලිබදව ඉස්ලාමය කුමක් පවසනවාද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

ඉස්ලාම් දහම මේ විෂය පිලිබදව කථා කරන කරුනු කාරණා දැනගැනීමට නම්, එහි මූලාශ්‍රයන් අධ්‍යනය කලයුතු වේ. එසේ අධ්‍යනය කිරීමේ දී ‘පීතෘ මහිමය’ ඉහලින්ම ප්‍රකාශ වන ඉගෙන්වීමක් එහි දක්නට ලැබේ. එය මෙසේය,

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී,

අල්ලාහ් (දෙවි)ගේ පිලිගැනීම, පියාගේ පිලිගැනීමෙහි ඇත්තේය. පියාගේ කෝපයෙහි අල්ලාහ් (දෙවි)ගේ කෝපය ඇත්තේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි 1821

ඉහත හදීසයට නොහොත් නබිතුමාගේ වදනට අනුව පිය පදවිය කොතරම් උත්තරීතර ද යන්න මනාව පැහැදිලි වියයුතුය. පියාගේ නොසතුට, කෝපය අල්ලාහ් (දෙවි)ගේ කෝපයට සමාන වන තරමට එය බරපතලය. මේ තුලින් මිනිස් සමාජයට අල්ලාහ් (දෙවි) දෙන පණිවුඩය කුමක්ද? යන්න සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. මුස්ලීම්වරයෙකු හට මේ මිහිමත හිමිවිය හැකි ලොකුම අභාග්‍යයක් වේ නම්, ඒ අල්ලාහ් (දෙවි)ගේ කෝපයට භාජනය වීමයි. එය තම පියා තුලින් කෙනෙකුට හිමිවන්නේ නම් දරුවන් වශයෙන් එවන් තත්වයන් පිලිබදව කොතරම් සැලකිලීමත් වියයුතුද?.

මේ පිලිබදව තවදුරටත් සැලකිලීමත් වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන තවත් හදීසයක් වෙත ඔබේ අවදානය යොමු කලේනම්, එය මෙසේය,

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී,

මිනිසුන් තිදෙනෙකුගේ ප්‍රාර්ථනාවන් කිසිදු බාධාවකින් තොරව දෙවියන් පිලිගනී. එනම්,

පියෙකු තම දරුවන් වෙනුවෙන් කරන ප්‍රාර්ථනාව

මඟියකු (ගමනෙහි නිරතව සිටියදී) කරන ප්‍රාර්ථනාව

අසාධාරණයකට ලක්වූ කෙනෙකු කරන ප්‍රාර්ථනාව

ග්‍රන්ථය – අබූදාවූද් 1313

ඉහත හදීසයන් දෙක පිලිබදව ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරන්න. තම දරුවන්ගේ ක්‍රියාකලාපය නිසා අසරණභාවයට, අපහසුතාවයට, හිංසනයට, නොසතුටට හා අසාධාරණයට ලක්වූ පියවරුන් අප සමාජයේ කොතරම් නම් සිටිනවාද?, දරු සෙනෙහස අහිමිව ඒ වෙනුවෙන් හඬා වැලපෙන පියවරුන් කොතරම් නම් සිටිනවාද?, ඉහත පලමු හදීසයට අනුව සිදුවන්නේ ඒ දරුවන් හට දෙවියන්ගේ කැමැත්ත හා ආදරය අහිමි වී ඒ වෙනුවට දෙවියන්ගේ කෝපයට භාජනය වීම නොවේද? එපමණක් නොවේ ආදරය අහිමිව සරණක් නොමැති සිටින පියවරුන් දෙවියන්ගෙන් කරනු ලබන ප්‍රාර්ථනාවන්ද ‘කිසිදු බාධාවකින් තොරව දෙවියන් පිලිගන්නා’ බව දෙවන හදීසය මගින් අවදාරණය කිරීම තුල ඉස්ලාම් පවසන්නට උත්සාහ කරන්නේ දරුවෙක් තම පියාට ආදරය දැක්වීමේ අවශ්‍යතාවය හා පිය පදවියට ඉස්ලාම් ලබාදී තිබෙන උත්තරීතර ස්ථානය හා එහි ඇති වැදගත්කම යන්න මනාව අවබෝධ වේ.  

මේ සම්බන්ධයෙන් වූ තවත් ඉස්ලාමීය ඉගෙන්වීමක් වෙත අවදානය යොමු කලේනම්,

නබිතුමාණන් කරුණු 03ක් තහනම් (හරාම්) කොට තවත් කරුණු තුනක් වලක්වන ලදී. එනම්,

1. පියාට වේදනාවන්දීම

2. ගැහැණුදරුවන් පණපිටින් වළලෑම

3. පරිත්‍යාගයන් සිදුකිරීම වැලැක්වීම

යන කරුණු 03 තහනම් කරන ලදී. එසේම

1. ‘ඔහු පැවසුවා’, ‘මොහු පැවසුවා’ යනාදී වශයෙන් පැහැදිලි සාක්ෂි නැතුව කිසිවක් පැවසීම,

2. අනවශ්‍ය ලෙස ප්‍රශ්න ඇසීම,

3. ධනය අනවශ්‍ය ලෙස වැය (නාස්ති) කිරීම

යන කරුනු මුස්ලීම් සමාජයට වලක්වන ලදී.

ග්‍රන්ථය – මුස්ලීම් 3239

ඉහත හදීසය අනුව පැහැදිලි වන්නේ ඉස්ලාමයේ ඌරු මාංශ අනුභව කිරීම කෙසේ හරාම්ද?, මනුෂ්‍ය ඝාතනයන් සිදුකිරීම කෙසේ හරාම්ද? ඒ ආකාරයටම තම පියාට වේදනාවන් ඇති කිරීම ද හරාම් (‘හරාම්’ – යනු මුස්ලීම්වරයෙකු විසින් අනිවාර්‍යෙයන්ම වැලකී සිටිය යුතු කරුණුය) යන්නයි. මෙතැනදී සදහන් කලයුතු විශේෂ කාරණයක් ද ඇත. එනම්, මෙහි ‘වේදනාව’ යන්නෙන් අදහස් කරන්නේ ශාරීරිකව ලබාදෙන වේදනාව පමණක් නොව මානසිකව ලබාදෙන වේදනාවද මීට අන්තර්ගතය. බොහෝ අවස්ථාවල දෙමාපියන් දරුවන්ගෙන් ඇති වන ශාරීරික වේදනාවන් විඳදරාගනී. නමුත් ඔවුනට මානසිකව ඇති කරනු ලබන වේදනාවන් දරාගැනීමට තරම් ශක්තියක් නැත. ආදරයක් පිරුණු තැනක ඒ ආදරය නිසා ඇතිවන කායික වේදනාව එතරම් ලොකු බලපෑමක් ඇති නොකරනවා යන්න ලෝක නියමයක්. නමුත් මානසිකව ඇති කරවන වේදනාවන් එසේ නොවේ. එය දරාගැනීම ඉතා අසීරුය.

දෙමාපියන් තුල තිබෙන අසීමිත දරු සෙනෙහෙස නිසා දරුවන්ගේ ක්‍රියාකලාපයන් හමුවේ ඔවුන් දරුවන් ඉදිරියේ අසරණ වීමත්, දුර්වලයන් බවට පත්වීමත් නිතර දකින ඛේදනීය තත්වයකි. මේ හේතුව නිසයි අල්කුර්ආනය ‘(නුඹලාගේ මාපියන් වන) ඔවුනට ‘චී’ යයි පවා නොපවසන්න’ යනුවෙන් දැඩිව අවදාරණය කරන්නේ. අද මාපියන් මහළුවියට පත්වුණාම ඔවුන් කරන කියන කිසිවක් දරුවන්ට නොරූස්සන තත්වයක් නිතර සමාජය තුල දක්නට ඇත. නමුත් අල්කුර්ආනයේ ඉගෙන්වීම ඔවුන්ට ‘චි’ යන ශබ්දයකින්වත් ඔවුන්ගේ සිත් නොරිදවන්න යන්නයි.

එපමණක් නොව අල්කුර්ආනය තවත් තැනක ‘ඔබේ දෙමාපියන් මහළු අවධිය ලබන විට ඔවුන්ගේ මනස කෙමෙන් කෙමෙන් ළමා අවධිය ලබන බව’ පවසයි. මෙම වාක්‍යය මිනිසාගේ විකාශනය කියපාන වාක්‍යයකි. මනුෂ්‍යා මනසින් ද ශරීරයෙන් ද කුඩා අවධියෙන් පටන්ගෙන නැවත මනසින් එම ළමා අවධියම ලබන බව මෙම වාක්‍යය පැහැදිලි කරයි. එසේනම්, අපගේ මාපියන් මහළුවියට පත්වනවාත් සමඟ ඔවුන් කුඩා දරුවන් සේ හැසිරීමත් කථා කිරීමත් යම් යම් කටයුතුවල නියලීමත් මේ ලෝක නියමය බවත් එය ඔවුන්ව බැණවැදීමට හෝ විවේචනය කිරීමට හෝ කාරණයක් නොවන බවත් තේරුම් ගතයුතුය. මෙය අල්කුර්ආනය කියන තවත් එක් ප්‍රායෝගික සත්‍යයකි.

එසේ නම් ඉහත ඉස්ලාමීය ඉගෙන්වීමන් ට අනුව උත්තරීතර පිය පදවිය සම්බන්ධයෙන් සමාජය මීට වඩා සැලකිලීමත්ව හා අවධියෙන් ක්‍රියා කලයුතු නොවේද?. අපේ දෙමාපියන් අපෙන් බලාපොරොත්තු වන්නේ සුවපහසු නිවසක්, සුවපහසු වාහන, සියළු අවශ්‍යතාවයන් සපයාදෙන අතටපයට සේවකයෝ නොවේ. සතයක්වත් වැය නොවන අප උපන් මොහොතේ පටන් ඔවුන් අපට නොඅඩුව සැපයූ ලොව මිල කල නොහැකි ආදරය පමණි. අපට අවශ්‍ය මොහොතේ නොඅඩුව දුන් ඒ ආදරයෙන් ටිකක් හෝ ඔවුන් අපෙන් අපේක්ෂා කිරීම වරදක්ද? එය එසේ අපේක්ෂා කිරීමට මාපියන් වන ඔවුනට වඩා සුදුස්සෙකු මේ මිහිමත සිටීද?.

අපගේ ජීවිතය ගොඩනඟන්න වෙරදරණ සෑම උත්සාහයක් තුලම, ඒ සදහා වැය කරන සෑම තත්පරයක් තුලම මාපිය මඟපෙන්වීම් හා ආදර්ශයන් පිරී ඇත. අප ශරීර කූඩුව මෙතරම් හොදින් නිර්මාණය වුයේ ඔවුන් හෙළු දහඩියෙන් හා කඳුලින් යන්නෙහි මේ මිහිමත කිසිවකුටත් වාදයක් නැත. අපගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් කල කැපවීම් සුළුපටු නොවේ. විශේෂයෙන් එහි අපමණ පරිත්‍යාගයන් කරමින් අපව සමාජයේ යහපත් පුරවැසියෙකු කරන්නට වෙහෙසුනු පියාගේ භූමිකාව ද සුවිශේෂිය. එමනිසයි මවගේ දෙපාමුල ස්වර්ගය ඇතැයි පවසන ඉස්ලාම් පියා සම්බන්ධයෙන් ඉහත ආකාරයට අවවාද අනුශාසනා කරන්නේ.

එම යථාර්තය හොදින් අවබෝධ කොටගෙන ලෝක නියමය වන එදා ඔවුනට දරුවන් වූ අප අද හෝ හෙට පියවරුන් යන්නත්, එවිට අප අද අපේ දෙමාපියන්ට උරුමකල ඒ ඉරණම හෙට අපට නොවන්නට නම් අපේ දරුවන්ට අප ආදර්ශමත් වියයුතු යන්නත්. එමනිසා අපේ දෙමාපියන් ආදරයෙන් පිලිගනිමු. ඒ තුලින් අල්ලාහ් (දෙවියන්)ගේ ආදරය හා කැමැත්ත දිනාගනිමු. යන්නත් අවදාරණය කරමින් මේ ලිපිය අවසන් කරමි.

යා අල්ලාහ්! අප සියල්ල යහමඟ යොමු කරත්වා!

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Nervali (Tamil) Site

Sri-Quran Site