මනුෂ්‍ය ඝාතනය අල්කුර්ආනය මුස්ලීම්වරුන්ට උනන්දු කරනවාද?

0

ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට මුස්ලීම් නොවන සමාජයෙන් එල්ල වන චෝදනාවන් අතර ‘ ඉස්ලාමය, මුස්ලීම් නොවන පිරිස් ඝාතනය කරන්න යැයි අණ කරනවා. අල්කුර්ආනය මුස්ලීම් සමාජයට මිලෙච්ඡත්වය උනන්දු කරවනවා. මේවා ඔවුන්ගේ ශුද්ධ වූ පුස්තකයේ ම තිබෙනවා’ යන්නත් ප්‍රධාන එකකි. ඔවුන් පවසන එම කාරණය මුස්ලීම්වරුන් වන අපට පිලිගන්න සිද්ධ වෙනවා. ඒ  ‘…සමානයන් තබා අදහනවුන් දුටු තැන කපා දමන්න…’ යයි අල්කුර්ආනයේ තිබෙන බැවිණි. නමුත් එවැනි පාඨය අල්කුර්ආනයේ තිබෙනවා යයි මුස්ලීම්වරුන් වන අප පිලිගතයුතු මිස ඔවුන් පවසන ආකාරයේ කෲරත්වයක් හෝ මිලෙච්ඡත්වයක් එහි අවදාරණය කරනවා යන චෝදනාව පිලිගතයුතු නැත.

මා ඉහතින් පවසන කාරණයෙහි ඔබට තරමක අවුල් සහගත බවක් දැනෙන් පුළුවන. එනම්, එවැනි නියෝගයක් අල්කුර්ආනයේ තිබෙන බවත් පවසනවා. ඒ මඟින් කෲරත්වයක් හෝ මිලෙච්ඡත්වයක් සමාජයට අවදාරනය නොකරන බවත් පවසනවා. ඉතා සරල පැහැදිලි වාක්‍යයක් වන මෙම වාක්‍යය තුල කෲරත්වයක් හා මිලෙච්ඡත්වයක් නැතැයි කියන්නේ කොහොමද?, මොන පදනමේද? යන්න එම අවුලයි. එම කාරණ වෙත අවදානය යොමු කිරීමට ප්‍රථම ඔය මතභේදයට තුඩු දී ඇති අල්කුර්ආන් පාඨය වෙත අවදානය යොමු කරමු.

ශුද්ධ වූ මාසය ගෙවීගියේ නම් සමානයන් තබා අදහනවුන් දුටුතැන කපා දමනු…

ශුද්ධ වූ කුර්ආනය 9-5

ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව විශේෂයෙන් අල්කුර්ආනයේ වාක්‍ය රටාවන් පිලිබදව නිසි අවබෝධයකින් තොරව ඉහත වාක්‍යය කියවන මුස්ලීම් හා මුස්ලීම් නොවන ඕනෑම කෙනෙකුට මෙම වාක්‍යය තුල කෲරත්වය හා මිලෙච්ඡත්වය මුස්ලීම් සමාජයට අවදාරණය කරනවා යන්න පෙනෙනු ඇත. නමුත් මේ විෂය සම්බන්ධ ඉස්ලාමයේ සම්පූර්ණ ඉගෙන්වීම කුමක්ද?. යන්න හා අල්කුර්ආන් පාඨයක් කියවීමේදී හා තේරුම් ගැනීමේදී  අනුගමනය කලයුතු පියවරයන් පිලිබදව නිසි අවබෝධයකින් එම වාක්‍යය අධ්‍යනය කලේනම්, ඔය කියන අල්කුර්ආනයේ 9-5 පාඨය සම්බන්ධයෙන් තිබෙන දුර්මතය වෙනස් වනු ඇත. විශේෂයෙන් අල්කුර්ආන් පාඨයක් කියවීමේදී සහ තේරුම් ගැනීමට උත්සාහ කිරීමේ දී අනුගමනය කලයුතු ප්‍රධාන නීති 04ක් ඇත. (මේ පිලිබදව මීට ඉහත ද මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත.) එනම්,

  • ශුද්ධ වූ  කුර්ආනයෙන් ගවේෂණයට බඳුන් කරන වාක්‍යය පහල වූ අවස්ථාව හා එයට පසුබිම් වූ සිද්ධිය හා එවකට සමාජ පසුබිම පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.
  • කිසියම් විෂයකට අදාල වූ වාක්‍යයක් අධ්‍යනයට බදුන් කිරීමේදී එම විෂය සම්බන්ධ ශුද්ධ වූ කුර්ආනයේ පැවසෙන අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය. (ශුද්ධ වූ කුර්ආන් පාඨයකට ශුද්ධ වූ කුර්ආනයේම වෙනත් පාඨයක් හෝ පාඨයන් ගණනාවක් මඟින් විවරණය ලබාදෙන අවස්ථාවන් ඕනෑතරම් ඇත.
  • ශුද්ධ වූ කුර්ආනයේ වාක්‍යයක් කෙරෙහි අවදානය යොමු කිරීමේ දී ඊට පෙර හා පසු වාක්‍යයන් තුල පවසන කාරණය ද විමසා බැලිය යුතුය.
  • ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකට හදීසයක් (නබිතුමාණන්ගේ ආදර්ශයක්) විවරණය ලබාදෙන අවස්ථා අනන්තවත් ඇත. එම නිසා එම විෂය පිලිබදව හදීස්වල සදහන් කරුණු ද විමසා බැලිය යුතුය.

එසේනම්, 9-5 වාක්‍යය ඉහත නීති 04ට අනුකූලව දැන් විමසා බලමු.

01 – අල්කුර්ආන් වාක්‍ය පහල වූ සමාජ පසුබිම

ඉහත නීති 04න් පලමු නීතිය වන එම වාක්‍යය පහල වූ අවස්ථාව සහ එවකට සමාජය තත්වය යන කාරණය වෙත අවදානය යොමු කලේනම්,

මීට සියවස් 13 කට පෙර මක්කාවේ ජීවත් වූ මුහම්මද් තුමාණන්, ‘තමන්ව දෙවියන් වක්තෘවරයෙකු ලෙස තෝරා පත්කර ඇත’ යයි පවසමින් වක්තෘ මෙහෙවර මක්කාව තුල ආරම්භ කරන ලදී. එය ප්‍රතික්ෂේප කල මක්කාවාසීන් බහුතරයක් එතුමාණන්ට එරෙහිව විවිධ බොරු ප්‍රචාරණයන් කිරීමත්, එතුමාණන්ට වදහිංසනයන් කිරීමත් සිදුකරන ලදී. එවකට මක්කාව පුරා තිබූ බහුදේව සංකල්ප හා බහුදේව පිලිම වන්දනයන්ට පරස්පර වූ ඒකදේව සංකල්පය මුහම්මද් (සල්) තුමාණන් එම සමාජය තුල ප්‍රචාරය කිරීම එයට හේතුවක් විය. එතුමාණන්ට පමණක් නොව එතුමාණන්ගේ ප්‍රචාරය පිලිගත් පිරිසට ද එම හිංසනයන්ට ගොදුරුවීමට සිදුවිය. වදහිංසා කිරීමෙන් නතර නොවූ ඔවුන් එම සමාජයේ ඉස්ලාමය පිලිගත් පිරිස් (සහාභාවරුන්) ඝාතනය කිරීම ද කරන ලදී. එම ඝාතනයන් කොතරම් කෲර ලෙස සිදුකලා ද යයි පවසනවා නම්,

  • එක් (සහාභාවරයෙක්) මුස්ලීම්වරයෙක් ඔවුන් ඝාතනය කලේ. එම සහාභිවරයාගේ කකුල් දෙකේ ඔටුවන් දෙදෙනෙකු බැද ඒ ඔටුවන් දෙපසට දුවවා ඔහුව දෙකඩ කිරීමෙනි.
  • තවත් අවස්ථාවන් හි සමහර (සහාභාවරුන්) මුස්ලිම්වරුන් අත්දෙකෙන් බැද ඔහුව ඔටුවෙකුගේ කරේ බැද දවසපුරා සෑම වීදියක් වීදියක් පාසා හා කාන්තාරවල ඒ ඔටුවා දුවවමින් දැඩිලෙස හිංසනයන් සිදුකරන ලදී.
  • එපමණක් නොව ඉස්ලාම් දහම වෙනුවෙන් තම දිවිය පුදකල ප්‍රථම කාන්තාව වන ‘සුමයියා’ (රලි) තුමිය ඔවුන් ඝාතනය කලේ ඇය එක් තැනක බැදදමා ඇයගේ ලිංගික ප්‍රදේශයට හෙල්ල පහරවල් එල්ල කිරීමෙනි.  

මේ ආකාරයේ කෲර වදවේදනා රාශියක් මධ්‍යයේ මක්කාවේ ජීවත් වූ මුස්ලීම්වරුන්, තමන්ට එරෙහිව කටයුතු කරන වදහිංසා පමුණුවන ඉස්ලාම් විරෝධින් සමඟ සටන් වැදීමට අවසර ලබාදෙන ලෙස ඔවුන් විටින් විට මුහම්මද් (සල්) තුමාණන්ගෙන් අවසර ද ඉල්ලා සිටියේය. නමුත් එයට මුහම්මද් (සල්) තුමාණන් ‘ඒ සදහා දෙවියන් මට තවම අවසර ලබාදී නැත.’ යනුවෙන් පවසමින් සියළු වධහිංසන වේදනා ඉවසා කටයුතු කරන ලෙස ඔවුනට දේශනා කරන ලදී. නමුත් ඉස්ලාම් විරෝධීන් නොඑසේනම් සමානයන් තබන්නන්ගේ (එනම්, දෙවියන්ට සමානව පිලිමයන් තබා වන්දනය කරන්නන්ගේ) හිංසනයන් නම්, එන් එන්නම දරුණු අතට හැරමින් තිබුණි. එහි කටුක බව ඉවසාගත නොහැකිව ජීවත් වූ මුස්ලීම්වරුන් හට අවසානයේ තම මව්බිම වන මක්කාව අතහැර මදීනාවට පලායමට අල්ලාහ් (දෙවි)ගේ අවසරය ලැබුණි.

ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන් හා එතුමාණන්ගේ දහම පිලිගෙන මක්කාවේ ජීවත් වූ මුස්ලීම්වරුන් ඉතා රහසිගතව මක්කාවේ සිට මදීනාවට පලායන ලදී. තම උපන්බිමත්, ඥති සහෝදරයින් පිරිසත්, තම ව්‍යාපාර හා වතුපිටිත් අත්හැර දමා ගිය එම ගමන ඉස්ලාමයේ ‘හිජ්රත්‘ යයි හැදින්වේ. මෙය මනුෂ්‍යයකු තම ජීවිතයේ ගනු ලබන දුෂ්කරම හා බැරෑරුම් තීන්දුවක් යන්නෙහි කිසිවකුටත් විවාදයක් තිබිය නොහැක. එලෙස මක්කාවේ සිට පලා ආ මුස්ලීම්වරුන් මදීනාවේ නිදහසේ ජීවත්වීමට අපේක්ෂා කලද (සමානයන් තබන) මක්කාවාසීන් එයට ඉඩහැරියේ නැත. ඔවුන් මදීනාවට එරෙහිව විටින් විට යුධ ප්‍රකාශ කරමින් පහර දෙන්නට විය. එවිට පෙරසේම මුස්ලීම්වරුන් මුහම්මද් (සල්)තුමාණන්ගෙන් එම විරුද්ධවාදීන් සමඟ යුධ වැදීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ අනුව ඔවුනට එරෙහිව සටන් කිරීමට අල්ලාහ් (දෙවි) මුස්ලීම්වරුන්ට අවසර ලබාදෙන ලදී.

02 – අල්කුර්ආනයට අල්කුර්ආනයම විවරණයක් වේ.

මුස්ලීම්වරුන්ට එරෙහිව සමානයන් තබන ඉස්ලාම් විරෝධීන් සිදුකල හිංසනයන් ගැන බුද්ධිමත්ව හා සමභරව සලකා බැලුවේ නම් ‘මෙම අවසරය මීට පෙර හිමි වියයුත්තක් නොවේද’ යැයි ඔබට නොසිතෙනවා නොඅනුමානය. නමුත් දිව්‍යමය මඟපෙන්වීමක් යන්න මනුෂ්‍ය ආවේග හා සංවේදීත්වය යන කාරණයන්ට වඩා ඉහලින් තිබෙන එකකි.  එහි අනපනත් නියෝග පවතින්නේ කෙටි කාලීන සමාජ යහපතකට වඩා දීර්ඝ කාලීන යහපතක් අරමුණු කොටගෙනය. එයට මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ ඇතිකරගත් ‘හුදෙයිබියා’ ගිවිසුම හොදම නිදසුනකි. කෙසේ වෙතත් අවසානයේ ඉස්ලාම් විරෝධීන් සමඟ සටන් කිරීමට අවසරය ලබාදෙන ඉස්ලාමය ‘මුස්ලීම් නොවන පිරිස් කපා කොටා දමන්න’ යයි නොකියා කොන්දේසී ගණනාවකට මුස්ලීම්වරුන් යටත් කොට එම අවසරය ලබාදෙයි.

අල්කුර්ආනයේ සදහන් එවැනි කොන්දේසි කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

  • සටනට සහභාගි වන පිරිස සමඟයි සටන් කලයුත්තේ,
  • උපන් බිමෙන් නෙරපූ පිරිස සමඟයි සටන් කලයුත්තේ,
  • යුද්ධයෙන් ඉවත් වූ පිරිස සමඟ යුද්ධයක් නැත.
  • අසාධාරණයට ලක්වන දුර්වල පිරිමීන්, ගැහැණුන් හා දරුවන් (ගේ අයිතීන්) වෙනුවෙනුයි සටන් කලයුත්තේ,
  • සමාදානය ප්‍රිය කරන පිරිස හා සටනක් නැත.
  • මුලින් යුද තත්වයක් නිර්මාණය කරගැනීමට (මුස්ලීම්වරුන්ට) අවසර නැත.
  • දහම පතුරුවාලීම පිණිස යුද්ධයන් නැත.

ඉහතින් දක්වා ඇත්තේ අල්කුර්ආනය මුස්ලීම් සමාජයට අවදාරණය කරන කොන්දේසි කිහිපයක් පමණි. (මීට අමතරව මුස්ලීම්වරුන් යුද්ධයක් සදහා සූදානම් වීමේදී සපුරා තිබිය යුතු මූලික හා අනිවාර්‍ය කොන්දේසි ගණනාවක් ද ඉස්ලාම් පනවයි. එය මෙම මාතෘකාවට අදාල නොවන නිසා මෙහි සාකච්චා නොකරමි.) කොතරම් කෲර සමාජයක් සමඟ සටන් කිරීමක දී වූවත් ඉහත කොන්දේසිවලට යටත්ව පමණක් යුද කලයුතු යන්න ඉස්ලාමයේ ඉගෙන්වීමයි. එසේනම්, ඉස්ලාමයට චෝදනා නඟන පිරිස් පවසනවා සේ 9-5 වාක්‍යයෙන් ‘…දුටුතැන කපන්න…’ යයි ඉස්ලාම් පවසනවා යන්න ඉහත කොන්දේසිවලට පරස්පර නොවේද?.

03 – අල්කුර්ආනයේ කොටසක් ගෙන කොටසක් ප්‍රතික්ෂේප කිරීම

ඉස්ලාමයේ මූලාශ්‍රයන් අධ්‍යනය කරන විට, විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආනය අධ්‍යනය කරන විට අනුගමනය කලයුතු කොන්දේසි අතර තමන් ගවේෂණයට බඳුන් කරන වාක්‍යය සම්පූර්ණයෙන් සහ ඊට පෙර හා පසු වාක්‍යයන් හි සදහන් කාරණය පිලිබදව විමසා බැලීම අත්‍ය අවශ්‍යය. කිසියම් වාක්‍යයක තමන්ට අවශ්‍ය කොටස අරගෙන තමන්ගේ මතවාදයට පරස්පර වන කොටස අතහැර දැමීම හෝ වසන් කිරීම කිසිසේත් නොකලයුතුය.

නිදසුනක් ලෙස අල්කුර්ආනයේ එක්තරා ස්ථානයක ‘සලාත් (නොහොත් නැමදුම්) කරන පිරිසට විනාශයමය’ යි පවසයි. අල්කුර්ආනයේ එක්තරා වාක්‍යයක දැක්වෙන මෙම කොටස පමණක් අරගෙන ‘සලාත් (පස්වේල නැමදුම) කරන පිරිසට භයානක ඉරණමක් අත්වෙනවා’ යයි තර්ක කල නොහැක. එහි සම්පූර්ණ වාක්‍යය සලකා බලනවිට සලාතය තුල කුමන කුමන වරද සිදු කරන්නන්ට ද විනාශය අත්වන්නේ යන්න විස්තර කරයි. ඒ අනුව කිසියම් වාක්‍යයක් ගවේෂණයට හෝ අවදානයට ගැනීමේදී එම වාක්‍යය හා ඊට පෙර-පසු වාක්‍යයන් කෙරෙහිද අවදානය යොමු කලයුතු වේ.

04 – අල්කුර්ආනයට අල්හදීසය ද විග්‍රහයක් වේ,

අල්කුර්ආනයට නබිතුමාණන්ගේ විවරණයද අත්‍ය අවශ්‍ය යන්නයි. මෙය සරලව අවබෝධ කරගැනීම සදහා නිදසුනක් පවසනවා නම්, ශුද්ධ වූ කුර්ආනය ‘සකාත්’ (නම් ධනවත් මුස්ලීම්වරුන් දිළිදු ජනතාව සදහා ලබාදිය යුතු අනිවාර්‍ය බද්ධ) පිලිබදව කථා කරයි. නමුත් එය කුමන ආකාරයට බෙදාදිය යුතුද යන්න ප්‍රතිශතයක් අනුපාතයක් ලෙස සදහන් වන්නේ හදීසයන් හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශයන් තුලයි. මෙහිදී සකාතය අවදාරනය කරන අල්කුර්ආන් වාක්‍යයට නබිතුමාණන්ගේ විග්‍රහය වන හදීසය යොදා තේරුම් නොගත්තේ නම්, ඉස්ලාමයේ අනිවාර්‍ය වගකීමක් වන සකාතය කිසිදා මුස්ලීම්වරයෙතුට බෙදාදීමට නොහැකි වනු ඇත.

ඉහත පැහැදිලි කිරීමන්ට අනුව ශුද්ධ වූ කුර්ආනය අවබෝධකර ගතයුත්තේ කෙසේද? යන්න පිලිබදව ඔබට දැන් දළ අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. එසේනම් දැන් ශුද්ධ වූ කුර්ආනයේ 9-5 වාක්‍යය වෙත  අවධානය යොමු කරමු,

කිසියම් විෂයක් පිලිබදව තර්ක විතර්ක ගොඩනැඟීමේ දී හෝ නිගමනයන්ට එළඹීමේ දී එම විෂය පිලිබදව පූර්ණ අවබෝධයකින් යුතුව එය සිදුකිරීමයි බුද්ධිමත් හා නිවැරදි ක්‍රමවේදය වන්නේ. නිදසුනක් ලෙස සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ භාවිතා වන වාක්‍යයක් පදනම් කරගෙන එය පැහැදිලි කරන්නේ නම්,

“මට ගැහුවොත්, මම ඔහුට ගහනවා!“

මෙම කථාව අපේ සමාජයේ නිතර ඇසෙන්නට ලැබෙන කථාවක්. මේ මඟින් පැවසෙන්නේ කිසියම් ක්‍රියාවකට ප්‍රතිචාරයක් ලෙස තමන් ද ඊට කිසියම් ක්‍රියාවක් සිදුකරන බවයි. නමුත් මෙම වාක්‍යයේ මුල් කොටස වන ‘මට ගැහුවොත්’ යන කොටස වසන් කොට එය කියන විට ‘මම ඔහුට ගහනවා’ යනුවෙන් විකෘති අදහසක් එහි නිර්මාණය වේ. එය ඉහත ප්‍රකාශයට වඩා ප්‍රබල එසේම අසාධාරණ වූ ක්‍රියාවක් ලෙස ප්‍රකාශ වේ.

එපමණක් නොව ඉහත වාක්‍යය මඟින් පැවසෙන කාරණයේ අර්ථය සම්පූර්ණයෙන් විකෘති වන ආකාරයට ‘මම ඔහුට ගහනවා’ යන්න පමණක් ප්‍රකාශ කිරීම කිසිවිට අත්වැරුද්දක් නොවන අතර එය සැලැසුම් සහගත ලෙස හා යටිඅරමුණක් ඇතුව හිතාමතා වසන් කිරීමක් යන්න වටහාගැනීම ද අපහසු නොවේ. එම විකෘතියමයි මෙහි සාකච්චාවට බඳුන් කරන අල්කුර්ආනයේ 9-5 වාක්‍යයට ද උදාකර දී ඇත්තේ. ඒ පිලිබදව දැන් විමසා බලමු.

අල්කුර්ආනයේ  9 වන පරිච්ඡේදයේ 4, 5 හා 6 යන වාක්‍යයන් මඟින් කිසියම් නීතියක් විස්තර කරයි. නමුත් එම වාක්‍යයන් 03ම අධ්‍යනය කොට සාධාර්ණ විනිශ්චයකට නොපැමිණ එහි 4 හා 6 පෙර හා පසු වාක්‍යයන් අතහැර තව වාදයට වාසිසහගත වන 9-5 වාක්‍යය පමණක් ගෙන එම වාක්‍යය සදහා තර්කයන් හා විවේචනයන් ගොඩනැඟීම බුද්ධිමත් ක්‍රියාවක් වන්නේද? අන්තවාදී ක්‍රියාවක් වන්නේද?. (මෙතැනදී බහුතර මුස්ලීම්වරුන් පවා නොදන්නා සත්‍යයක් සදහන් කලයුතුව ඇත. එනම් අල්කුර්ආනයේ වාක්‍යයන් වෙන්කොට ඒ සදහා අංක යෙදීම යන්න මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ සිදුනොවූ ඉස්ලාම් පෙන්වා නොදුන් පසුකාලීනව අධ්‍යන පහසුව සදහා අල්කුර්ආනයට එකතු වූ අංගයකි.) මෙම පසුකාලීන වෙනස් කිරීමන් අල්කුර්ආනයේ අන්තර්ගතයට කිසිදු හානියක් නොකලත් එයින් ඉහත ආකාරයේ සංකීර්ණ තත්වයන් ඇතිවීමට මඟපාද ඇත යන්න අවදාරණය කරමින් ඉහතින් සාකච්චා කල එම මතභේදයට තුඩු දී ඇති 9-4,5 හා 6 වාක්‍යය දැන් විමසා බලමු

ඔබ ගිවිසුම් ඇති කර ගත් මෙම සමානයන් තබා අදහන්නන්ගෙන් කවුරුන් (තම ගිවිසුමෙන්) කිසිවක් අඩුවක් නොකර ද ඔබට විරුද්ධව කිසිවකුටත් උදව් නොකර සිටියෝද, ඔවුනට ඔවුනගේ ගිවිසුම එහි නියමිත කාලය අවසන් වනතුරු (කිසිම අඩුවක් නොකර) පූර්ණ කරනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවි) බියබැතියන් ප්‍රිය කරන්නේය. (4) ශුද්ධ වූ මාසය ගෙවීගියේ නම් සමානයන් තබා අදහනවුන් දුටුතැන කපා දමනු. ඔවුන්ව සිරගත කරනු. ඔවුන් සැඟවෙන සැම තැනම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිනු. ඔවුන් ඔවුන්ගේ අපරාධයෙන් පසුතැවිලි වී වැළකී. (ඉස්ලාමය පිලිගෙන) සලාතය (පස්වේල වන්දනය) ද, සකාතය (දුළිදු ජනයා සදහා ගෙවිය යුතු අනිවාර්‍ය බද්ධ) ද ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි  අත්හරිනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවි) සමාව දෙන අතර ඉතා කරුණාවන්තය.(5) සමානයන් තබා අදහනවුන්ගෙන් කවුරුන් හෝ (නබිතුමණි) ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් (වාක්‍යයන්) ඔහු සවන් දෙනතුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔවුන් සවන් දී එය විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන ස්ථානයකට යවනු මැනව!, මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය. (6)

ශුද්ධ වූ කුර්ආනය 9- 4, 5 හා 6

අල්කුර්ආනයේ ‘තව්බා’ නම් 09 වන පරිච්ඡේදයේ මුස්ලීම් ප්‍රජාව මුස්ලීම් නොවන පිරිස් සමඟ ක්‍රියා කලයුතු  ආකාරය දිගින් දිගටම විස්තර කරයි. උපන්බිම මක්කාව අතහැර පලාගොස් මදීනාවේ ජීවත් වූ මුස්ලීම්වරුන්ට එරෙහිව මක්කාවාසී මුස්ලීම් නොවන ප්‍රජාව දිගින් දිගටම යුධ මෙහෙය වන පසුබිමක ඔවුන් සමඟ ගිවිසුමකට යටත් ක්‍රියාකලයුතු ආකාරය 4,5,6 වාක්‍යයන් මඟින් මෙලෙස විස්තර කොට ඇත. මෙම වාක්‍යයන් පහල වන්නේ මා මෙම ලිපිය ආරම්භයේ පැවසුවා සේ නබිතුමාණන් ඇතුළු පිරිස් ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන තම උපන්බිම, පවුලේ ඥාතීන් හා ජීවිත කාලය පුරාවට රුස්කල සියළු ධනය හා වස්තූන් අතහැර දමා මදීනාවට පලාගොස් එහි නිදහසේ ජීවත්වීමට වෙරදරන සමයකය.

මේ වනවිටත් මදීනාවේ ජීවත් වන නබිතුමාණන් අධ්‍යාත්මික නායකයෙකු පමණක් නොව රාජ්‍ය පාලකයෙකු ද වන්නේය. රාජ්‍ය පාලකයෙකු ලෙස තම රටේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා විවිධ අවස්ථාවල ඉස්ලාම් විරෝධීන් හා ගිවිසුම්ගත වන ලදී. එවැනි එක් සුවිශේෂි ගිවිසුමක් වන්නේ ‘හුදෙයිබියා’ නම් ගිවිසුමයි. මෙසේ ගිවිසුම්වලට එළඹ නිදහසේ ජීවත්වීමට මුස්ලීම්වරුන් සිතුව ද ඉස්ලාම් විරෝධීන් එම ගිවිසුම් උල්ලංඝනය කරමින් විවිධ විරුද්ධවාදී ක්‍රියාවන් හි නිරතවීමේ අඩුවක් නොවීය. එවැනි පිරිසට එරෙහිව රාජ්‍ය පාලකයෙකු ගතයුතු පියවරයි ඉහත වාක්‍යයන් මඟින් අල්ලාහ් (දෙවියන්) පැහැදිලි කරන්නේ. මෙසේ ඉස්ලාම් විරුද්ධවාදීන් ට එරෙහිව සටන් කිරීමට අවසර ලබාදෙන ඉස්ලාම් එය ඉහතින් සදහන් කොන්දේසි රාශියකට යටත්ව ලබාදී ඇති බවද මෙහි නැවත සදහන් කලෙමි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ අල්කුර්ආනයේ  ‘…සමානයන් තබා අදහනවුන් දුටු තැන කපා දමන්න…’ යයි පවසනවා යන්න සැබෑවක් වූවත් එය එහි අදහස් විකෘති වන ලෙස උපුටාගෙන ඉදිරිපත් කිරීමක් යන්න දැන් ඔබට පැහැදිලි වියයුතුය. එසේනම්, ‘කියන්න කෙසේ වෙතත් අසන්නා සිහි බුද්ධියෙන් ම ඇසිය යුතුය’ යන කියමන නැවත නැවතත් අවදාරණය කරමින්, ඉස්ලාම් මනුෂ්‍ය බුද්ධිය ඉක්ම වූ පූර්ණ ඥානයක් ඇති දිව්‍යමය සැලසුමක් යන්නත් අවදාරණය කරමින්, ඉස්ලාම් කාලීන හා ප්‍රායෝගික දහමක් යන්න ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපිය අවසන් කරමි.

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site