මුනාෆික් (කුහකයින්) පිලිබදව ඉස්ලාමීය විමසුමක්

1

ඉස්ලාම් දහම, මිනිස් සමාජයේ අධ්‍යාත්මික බැදීම පදනම් කරගෙන ඔවුන් ප්‍රධාන කොටස් කිහිපයකට ගොනු කරයි. ඔවුන්ගේ ආගමික බැදීම, ඒ කෙරෙහි ඔවුන් තුල පවතින විශ්වාසය හා ඒ සම්බන්ධ ඔවුන් දරණ මතවාදය යන කරුණු මත ඔවුන් මෙලෙස ගොනු කිරීම සිදුවේ. එලෙස ඉස්ලාම් දහම ගොනු කරන ප්‍රධාන ගොනු කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්, මූමීන්, මුස්ලීම්, ෆාසික්, කාෆිර්,  මුෂ්රික්, මුනාෆික්, ජාහිලියත්… යනාදීය සදහන් කලහැක. මෙලෙස බෙදෙන එම කොටස් පිලිබදව කෙටියෙන් විමසුමක් කරන්නේ නම්,

  • මූමීන් – මුමින් (Mumen) යනු අල්කුර්ආනයේ සහ අල්හදීසයේ නිතර නිතර සදහන් වන අරාබි වචනයකි. එහි අර්ථය ‘ඇදහිලිවන්තයා’ යන්නයි. අල්ලාහ් (දෙවි)ට පූර්ණ ලෙස අවනත වී ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් ජීවත් වන තැනැත්තා ‘මූමීන්’ ලෙස එසේත් නැත්නම් ‘පරිපූර්ණ මුස්ලිම්වරයෙක්’ ලෙස හැදින්වේ.
  • මුස්ලීම් – මුස්ලිම් (Muslim) යනු ඒකදේව සංකල්පය හා මුහම්මද් (සල්) තුමාණන් ගෙන ආ දහම පිලිගෙන එයට අනුව ජීවත් වන පිරිස මෙලෙස හැදින්වේ. මොවුන් අල්කුර්ආනය දෙවියන්ගේ වචනය ලෙසත්, අල්හදීසය මුහම්මද් (සල්)තුමාගේ ඉගැන්වීම ලෙසත් පිලිගනිති. මෙම ‘මුස්ලිම්’ යන අරාබි වචනයෙන් ‘ඉදිරිපත් කරන්නා’ යන තේරුම ලබාදෙයි.
  • ෆාසික් – ෆාසික් (Fasik) යනු ඉස්ලාමීය නීති උල්ලංගනය කරන අයෙකු හඳුන්වන අරාබි වචනයකි. ‘ෆාසික්’ යන්න විශ්වාස කළ නොහැකි යැයි සලකන බැවින් ඔහු විසින් ඉදිරිපත් කරන සාක්ෂිය ඉස්ලාමීය අධිකරණවල පිළිගනු නොලැබේ. ෆාසික් යන වචනයට ‘අශිෂ්ඨ’ යන අරුථ ද ලබාදී ඇත.
  • කාෆිර් – කෆීර් (Kafir) යන වචනයේ අර්ථය ‘අවිශ්වාසවන්තයා’, ‘ප්‍රතික්ෂේප කරන්නා’, ‘නොඇදහිලිවන්තයා’… යනාදීය වේ. මෙම යෙදුමෙන් අදහස් කරන්නේ ඉස්ලාමය හෝ ඉස්ලාමයේ මූලධර්ම අනුව අල්ලාහ් (දෙවි)ව ප්‍රතික්ෂේප කරන හෝ අවිශ්වාස කරන, දෙවියන්ගේ ආධිපත්‍යය අධිකාරී බලය ප්‍රතික්ෂේප කරන පිරිස මෙලෙස හැදින්වේ.
  • මුෂ්රික් – මුෂ්රික් (Mushrik) යනු ඉහත කාෆිර්වරුන්ගේම එක් කොටසකි. එනම් අල්ලාහ් (දෙවි)ට වෙන කිසිවක් හෝ කිසිවෙක් සමාන කොට ඇදහීම හෝ පිලිගැනීම ‘ශිර්ක්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර එම ක්‍රියාවේ නියලෙන පිරිස ‘මුෂ්රික්’ ලෙස හැදින්වේ.
  • ජාහිලියා – ජාහිලියා (Jahiliya) යනු ඉස්ලාම් දහම පිලිබදව හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කිසිදු අවබෝධයක් නොමැතිව ජීවත් වන ජන සමාජය මෙලෙස හැදින්වේ. මේ ගොනුව යටතේ ගතහැකි කෙනෙකු අද මිහිතල මත සිටිනවාද? යන්න සැක සහිතය. සමහර විට වනවාසී ගෝත්‍රයන් මෙම ඝනයට අයත් විය හැක.

ඉහත කණ්ඩායම් අතුරින් තවත් කණ්ඩායමක් වන්නේ ‘මුනාෆික් ((منافق)Munafiq)’ නම් කණ්ඩායමයි. අද මෙම ලිපිය තුලින් ඉදිරියට විමසා බලන්නේ එම කණ්ඩායම පිලිබදවයි.

ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත් එරෙහිව විවිධ කුමණ්ත්‍රණයන් ක්‍රියාත්මක වන අවස්ථාවල එම කුමණ්ත්‍රනකරුවන් හා කරට කර හිඳ ඉස්ලාමයට හා මුස්ලීම්වරුන්ට එරෙහිව කුමණ්ත්‍රන කරන මුස්ලීම් නම්දරයන් නොහොත් ‘කුහකයින්’ (අරාබි බසින් ‘මුනාෆික්වරුන්’ යන්න සිංහල බසින් ‘කුහකයින්’) ලෙස හැදින්විය හැකි ඔවුන් මෙම ඝනයට අයත් වේ. ‘ජනයා ඉදිරියේ ප්‍රසිද්ධියේ තමන් මුස්ලිම්වරයකු ලෙස පෙනීසිටින නමුත් ඉස්ලාමය හඳවතින් ප්‍රතික්ෂේප කරමින් හෝ ඉස්ලාමයට එරෙහි වෙමින් ඉස්ලාමයට හෝ මුස්ලීම්වරුන්ට එරෙහි සතුරන් සමඟ එක් වී කුමණ්ත්‍රනය කරන පිරිස’ ඉස්ලාම් ‘මුනාෆික්වරුන්’ ලෙස හදුන්වයි.

මෙම මුනාෆික්වරුන්ට ඉස්ලාම් දහම තුල දීර්ඝ ඉතිහාසයක් ඇත. මුහම්මද් (සල්)තුමාණන්ගේ කාලයෙත් මුනාෆික්වරුන් සැලකිය යුතු පිරිසක් එම සමාජයේ ම සිටී බවට සදහන් වේ. ඔවුන් නබිතුමාණන් සමඟ නැමදුම් ඉටු කරමින් (නබිතුමාණන්ගේ සමකාලීනයන් වන) සහාභාවරුන් සමඟ එකතු වී හිඳිමින් ඉස්ලාමයට හා නබිතුමාණන්ට එරෙහිව කුමණ්ත්‍රනයන් කිරීම හා ඉස්ලාම් විරෝධි සතුරන්ට මුස්ලීම්වරුන් පාවාදීම සිදුකරන ලද බවට ඉස්ලාමීය මුලාශ්‍රයන් හි සදහන් වේ.

ඉස්ලාමීය ඉතිහාසය හොදින් අධ්‍යනය කරන විට මේ ‘කුහකයින්’ මඟින් මුස්ලීම් සමාජයටත් ඉස්ලාම් දහමටත් සිදුව ඇති හානිය සුළුපටු නොවන බව පෙනේ. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් මුස්ලීම් සමාජයට කොතරම් බලපෑවාද යන්න පවසනවා නම්, ඔවුන්ගේ ක්‍රියා කලාපයන් හේතු කොටගෙන අල්කුර්ආනයේ පරිච්චේදයන් පවා පහල වී ඇත. අල්කුර්ආනයේ පරිච්චේද 114ක් ඇත. එයින් එක් පරිච්චේදයක් වන ‘මුනාෆිකූන්’ නම් (63 වන පරිච්චේදය) මෙම කුහකයින් සම්බන්ධයෙන් ම පහල වී ඇත. එපමණක් නොව එම පරිච්චේදයට අමතරව වෙනත් පරිච්චේදවල ද මෙම ‘කුහකයන් නොහොත් මුනාෆික්වරුන්’ පිලිබදව අල්කුර්ආනය විටින් විට කරුණු කථා කොට ඇත. එවැනි වාක්‍යයන් 02ක් ඔබේ දැනගැනීම පිණිස පහතින් සදහන් කරන්නේ නම්,

ඔවුන් විශ්වාස කොට (අල්ලාහ්ගේ) දේව ධර්ම දූතයා සැබෑ බවට තමන්ම සාක‍ෂි දරා, තවද ඔවුන් වෙත පැහැදිලි සංඥාවන් පහළ වූ පසු අවිශ්වාස කරන ජනයාට අල්ලාහ් මඟපෙන්වන්නේ කෙසේද? අපරාධකාරී ජනයාට අල්ලාහ් යහමඟ නොපෙන්වයි.

(අල්කුර්ආන් 3-86)

නබිවරයාට අපහාස කරමින් ඔහු (හැම කෙනකුටම සවන් දෙන) කන් ඇත්තකු කියන, සමහරෙක් ඔවුනතර සිටිති. ඔවුනට මෙසේ කියනු. ඔහු එසේ සවන් දෙන්නේ නුඹලාගේ යහපත් දෙයටයි. ඔහු අල්ලාහ් විශ්වාස කරන අතර මුඃමීන්වරුන්ටද ඔහු විශ්වාසය. මේනිසා නුඹලා අතරෙහි සිටින මුඃමීන්වරුන්ට ඔහු ආශිර්වාදයකි. අල්ලාහ්ගේ රසූල් (ධර්ම දූත)වරයාට අපහාස කරන අයට (ගැන සලකන විට) ඔවුනට වේදනා සහගත දඬුවමක් තිබේ.

(අල්කුර්ආන් 9-61)

මෙලෙස මුස්ලීම් වෙස්ගෙන ඉස්ලාමයටත් මුස්ලීම්වරුන්ටත් හතුරුකම් කරන මෙම කුහකයින් පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණ ගණනාවක් පිලිබදව කරුණු සදහන් වේ. එයින් ප්‍රධාන ලක්ෂණ 04ක් පිලිබදව නබිතුමාණන් පවසන හදීසය ඔබේ අවදානයට මෙහි ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්)තුමාණන් වරක් මෙසේ පවසන ලදී.

කිසිවකු ලඟ පහත ලක්ෂණ හතර පවතීද, ඔහු පැහැදිලි මුනාෆික් කෙනෙකු වේ. එනම්,

1/ ඔහු තම විශ්වාසය පාවා දෙයි

2/ ඔහු කතා කරන සෑම විටම මුසාවන් පවසයි.

3/ ඔහු ගිවිසුමක් ඇති කර ගත් විට එය කඩ කරයි.

4/ ඔහු වාද කරන විට මුසාවන් පවසමින් සත්‍යයෙන් බැහැරව එය කරයි.

(මෙසේ පැවසූ නබිතුමාණන්, තවදුරටත්) ඉහත එකක් හෝ යමෙකු ලඟ තිබේ නම්, ඔහු එය අත්හරින තුරු මුනාෆික්කමේ අංගයක් ඔහු තුල වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි හා මුස්ලිම්

ඉහත හදීසයට අනුව ‘මුනාෆික් නොහොත් කුහකයින්ගේ’ ප්‍රධාන ලක්ෂණ හතර ඔබට දැන් පැහැදිලි වනු ඇත. ඉස්ලාමීය මූලාශ්‍රයන් අධ්‍යනය කරන විට ඉහත ලක්ෂණ 04ට අමතරව එම කුහකයින්ගේ තවත් ලක්ෂණ ගණනාවක් පිලිබදව අල්කුර්ආනයේ සහ අල්හදීසයේ සදහන් වන ආකාරයක් දැකගත හැක. මෙම කුහකයින් මුස්ලීම් සමාජය නිවැරදිව හා පහසුවෙන් හඳුනා ගැනීමට නම්, ඔවුන් පිලිබදව සදහන් අනිකුත් ලක්ෂණයන් පිලිබදව ද කිසියම් අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. ඒ අනුව එම ලක්ෂණයන් කිහිපයක් මෙහි පහතින් පෙලගසන්නේ නම්,

  1. ඔවුහු තම විශ්වාසය ඉස්ලාම් විරෝධින් හමුවේ පාවා දෙන්නේය.
  2. ඔවුහු කතා කරන සෑම විටම මුසාවන් පවසන්නේය.
  3. ඔවුහු ගිවිසුමක් ඇති කර ගත් විට එය කඩ කරන්නේය.
  4. ඔවුහු වාද කරන විට මුසාවන් පවසමින් සත්‍යයෙන් බැහැරව එය කරන්නේය.
  5. ඔවුහු සැබෑ මුස්ලීම්වරුන්ව අපහාස කිරීම ප්‍රිය කරන්නේය.
  6. ඔවුහු මුස්ලීම්වරුන් අතර ‘ෆිත්නා’ (ගැටුම්) ආරම්භ කරන්න කටයුතු කරන්නේය.
  7. ඔවුහු යුද අවස්ථාවලදී බියගුලුවන් ලෙස සැඟවෙන්නේය
  8. ඔවුනට කුසල ක්‍රියාවන් හි නියලීම ඉමහත් කම්මැලි ක්‍රියාවක් වන්නේය.
  9. ඔවුහු මනුෂ්‍යයන් හට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න ඇසීමට ප්‍රිය කරන්නේය.
  10. ඔවුහු ඉස්ලාමයේ සෘණාත්මක අරමුණු ඉස්මතු කිරීමට ක්‍රියා කරන්නේය.
  11. ඔවුහු අල්කුර්ආනයට සහ සුන්නාව (හදීසය)ට එරෙහිව කැරලි ගසන්නේය.
  12. ඔවුහු තැනට සුදුසු ලෙස මුහුණ හා භාෂාව වෙනස් කරන්නේය.
  13. ඔවුහු ‘අල් වලා වල් බාරා’ නීතිය අනුගමනය නොකරන්නේය.
  14. ඔවුහු අල්ලාහ් (දෙවි) මිනිසුන්ට ව්‍යාජ පොරොන්දු ලබා දෙන බව පවසන්නේය.
  15. ඔවුහු තමන් විද්වතුන් යයි පෙන්වීම පිණිස දහම හදාරා එහි විවාද කරන්නේය.
  16. ඔවුහු සෑම විටම දැඩි තාර්කික හැකියාවක් පෙන්වන්නේය.
  17. ඔවුහු ඉස්ලාම් දැනුම භාවිතා කරමින් ප්‍රසිද්ධිය හා ඉදිරිය ගමන සකසාගන්නේය.
  18. ඔවුහු ‘මස්ජිදය’ නොහොත් දේවස්ථානය සමඟ සමීප සම්බන්ධයක් නොපවත්වන්නේය.
  19. ඔවුනට අල්ලාහ් (දෙවි)ව සිහි කරමින් ‘දික්ර්’ කිරීම ඉතා දුෂ්කර ක්‍රියාවක් වන්නේය.
  20. ඔවුහු උඩඟුකමින් ක්‍රියා කරන්නේය.

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාමය පවසන කුහකයින්ගේ තවත් ලක්ෂණයන්ය. මේ තුලින් කුහකයින් නොහොත් මුනාෆික් යනු කවරුන්ද? යන්න පිලිබදව ඔබට පහසුවෙන් වටහාගත හැකිවනු ඇතැයි සිතමි. එසේනම්, මෙම කුහකයින් සම්බන්ධයෙන් මුස්ලීම්වරුන් වන අපේ ස්ථාවරය හා වගකීම කුමක් වියයුතුද? යන්නත් අප දැන සිටිය යුතුය. ඒ අනුව මෙතැන් සිට ඒ පිලිබදව දැන් විමසා බලමු.

එදා මුහම්මද් (සල්) තුමාණන් විසූ සමාජයේ සමකාලීන ‘සහාභාවරුන්’ සමඟ ‘මුනාෆික්වරුන්’ ද සිටී බව ඉස්ලාමීය ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වේ. මුස්ලීම්වරුන් ලෙස පෙනීසිට ඉස්ලාමයටත් මුස්ලීම්වරුන්ටත් වින කරමින් කටයුතු කල එම කුහකයින් අතුරින් ඉතා සීමිත පිරිසක් පමණයි නබිතුමාණන් මුස්ලීම් සමාජයට අනාවර්ණය කලේ. එයද බොහෝ විට අල්ලාහ් (දෙවි) ඔවුන් සම්බන්ධයෙන් අල්කුර්ආන් වාක්‍යයන් පහල කිරීමෙන් පසුය. එලෙස නබිතුමාණන් අනාවර්ණය කල කුහකයින් කිහිපදෙනෙකුගේ නම් සදහන් කරන්නේ නම්,

1. අබ්දුල්ලාහ් ඉබ්නු අබෛ ඉබ්නු සලූල්

2. ජුලාස් ඉබ්නු සුවෛද් ඉබ්නුස් සාමිත්

3. හාරිස් ඉබ්නු සුවෛද්

4. නබ්තල් ඉබ්නු හාරිස්

5. අබූ හබීබා ඉබ්නු අස්අර්

6. අවුස් ඉබ්නු කයිලීයු

7. බෂීර් ඉබ්නු උබෛරික්

8. අල් ජිද් ඉබ්නු කයිස්

9. අල් අහ්නස් ඉබ්නු ෂරීකුස් සකෆී

ඉහතින් පෙලගස්වා ඇත්තේ මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී සමයේ එතුමාණන්ගේ සමාජය තුල විසූ මුනාෆික්වරුන් කිහිපදෙනෙකුගේ නමයි. මොවුන්ගේ ක්‍රියකලාපයන් හේතුවෙන් අල්කුර්ආන් වාක්‍යයන් පවා පහල වී තිබීම මෙහි විශේෂයෙන් සදහන් කලයුතුම කාරණයකි. මෙතැනදී තවත් වැදගත් කාරණයක් පිලිබදව බුද්ධිමත්ව සිතා බැලිය යුතුව ඇත. එනම්, සමස්ථ මුනාෆික්වරුන් අතුරින් සීමිත පිරිසක් පමණක් මුස්ලීම් සමාජයට අණාවර්නය කොට බහුතරය නබිතුමාණන් අණාවර්නය නොකොට සමාජයෙන් වසන් කලේ එම මුනාෆික්වරුන් ගැන නබිතුමාණන් නොදැන සිටී නිසාද?.

ඉහතින් මතු කරන පැනය වර්ථමාන හා අනාගත මුස්ලීම් සමාජය සදහා ද ඉතා වැදගත් පැනයකි. එමනිසා ඒ පිලිබදව මෙතැන් සිට අවදානය යොමු කරන්නේ නම්,

ඉහත මතු කරන ප්‍රශ්නයට කෙටි පිලිතුරක් ලබාදෙන්නේ නම්, ඔවුන් එනම්, එවකට විසූ කුහකයින් පිලිබදව නබිතුමාණන් දැන සිටියාද? යන පැනයට පිලිතුර ‘ඔව්, දැන සිටියා’ යන්නයි. එය කොහොමද ස්ථීරව ම පවසන්නේ යන පැනය දැන් ඔබ තුල මතුවීමට පුළුවන. එයට පහත හදීසය මෙහි සදහන් කලහැක.

හුදෙයිෆා (රලි) තුමා මෙසේ පවසයි.

තමන් නබිතුමාණන් සමඟ ගමන් කරමින් සිටින අවස්ථාවක නබිතුමාණන් එම සමාජයේ සිටී මුනාෆික්වරුන්ගේ නම් සියල්ල මට පවසා ‘එය සමාජයට අනාවර්ණය නොකරන්න’ යයි  පවසන ලදී.’

ඉහත හදීසයට අනුව නබිතුමාණන් එවකට සමාජයේ සිටී මුනාෆික්වරුන් හඳුනාගෙන සිටී බව පැහැදිලි වේ. දැන් මතුවන ඊලඟ ප්‍රශ්නය, වර්තමානයේ අප අවට සමාජයේ සිටින මුනාෆික්වරුන් අපි හඳුනාගන්නේ කොහොමද? යන්නයි. ඒ පිලිබදව දැන් අවදානය යොමු කරමු.  

සමාජයක ජීවත් වන ෆාසික්, කාෆිර්,  මුෂ්රික් සහ ජාහිලියත් යන කණ්ඩායම් ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් මත ඕනෑම කෙනෙකුට පහසුවෙන් හා පැහැදිලිව හඳුනාගැනීම කලහැක. නමුත් මූමීන්, මුස්ලීම් සහ මුනාෆික් යන කණ්ඩායම් එලෙස බාහිර ක්‍රියාකාරකම් මත පදනම්ව හඳුනා ගැනීම කිසිසේත් කල නොහැක. එයට හේතුව එම ගුණාංගය ඔවුන්ගේ හිතත් සමඟ බැඳී තිබෙන කාරණයක් වන බැවිණි. ඒ අනුව නබිතුමාණන්ගේ කාලයේ ජීවත් වූ මුනාෆික්වරුන් ‘වහී’ (දේව පණිවුඩ) මඟින් හඳුනාගත්තත් අද ‘වහී’ පහලවීමක් සිදු නොවන නිසා නබිතුමාණන් හඳුනාගත් ආකාරයට වත්මන් සමාජයට හඳුනාගත නොහැක. එසේනම්,  ඉහත මූමීන්, මුස්ලීම් සහ මුනාෆික් යන කණ්ඩායම් තුන සම්බන්ධයෙන් අපට කිවහැකි තීන්දුව වන්නේ ‘ඔවුන් මුස්ලීම්’ යන්න පමණි. ඔහු සැබෑවටම මූමීන්ද? මුනාෆික්ද? යන්න දන්නේ ඔහු සහා අල්ලාහ් (දෙවි) පමණි.

වත්මන් සමාජයේ සිටින මුනාෆික්වරුන් නම්-ගම් පැවසීමේ හැකියාව කිසිවකුටත් නැතත්, ඔවුන්ගේ ක්‍රියාවන් මත පදනම්ව එනම්, පුද්ගලයෙකු මුනාෆික් ලක්ෂණ පෙන්නුම් කරන ආකාරයට ක්‍රියා කරන විට එම පුද්ගලයාට නොව එම ක්‍රියාවට ‘ඔය මුනාෆික් වැඩක්’ යයි පැවසීමට දහම තුල බාධාවක් නැත. නමුත් කිසිදු අවස්ථාවක කිසිදු පුද්ගලයෙකුට ‘මුනාෆික්’ යැයි විනිශ්චය දිමට ඉස්ලාම් දහම තුල අවසර නැති බව පැහැදිලිව තේරුම් ගතයුතුය. එයට හේතුව මූමීන්, මුස්ලීම්, මුනාෆික් යන ඝනයන් තුන හිත සම්බන්ධ කාරණයක් වීමත් හිත කියවිය හැක්කේ අල්ලාහ් (දෙවි)ට පමණක් වීමත්ය.   

නුඹලාගේ හදවත තුළ කවරක් තිබුණද, එය සැඟවුවත් හෙළි කළත් අල්ලාහ් එය දනී.

අල්කුර්ආන් 3-29 

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site