අල්කුර්ආනයේ ඉතිහාසය 06 – මුල් භාෂාව හා එම භාෂාවෙන් පැවතීම

1

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.)

මීට ඉහත ලිපියෙන් දහම මූලාශ්‍රයක් ලිඛිතව තිබීමේ අවශ්‍යතාවය පිලිබදව කථා කල අතර ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම, මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම, ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම, දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම යන අවශ්‍යතාවයන් ද සපුරා තිබීම අත්‍ය අවශ්‍ය බව සදහන් කලෙමු. ඒ අනුව ලිඛිත ග්‍රන්ථයක් එහි මුල් භාෂාවෙන් පැවතීමේ අවශ්‍යතාවය යන්න දැන් විමසා බලමු.

ආගමක් දර්ශනයක් සම්බන්ධයෙන් පමණක් නොව වෙන ඕනෑම අවස්ථාවක ලිඛිත ලේඛනයක් එහි මුල් භාෂාවෙන් පැවතීම අනිවාර්‍ය වේ. එයට හේතුව පරිවර්ථනයක දී මූල ලේඛනයේ අදහස පිලිඹිබු නොවී වෙනත් අදහසක් මතුවීමට ද හැකි බැවිණි. පරිවර්ථනයක දී එහි පරිවර්ථන දෝෂ ඇතිවීමට තිබෙන සම්භාවිතාවය ඉහලය. කිසියම් පරිවර්ථනයක් සිදු කිරීමේ දී එය සිදු කරන තැනැත්තාගේ…

  • මානසික තත්වය,
  • ඔහු ජීවත්වන පරිසරය,
  • ඔහුගේ භාෂා නිපුනතාවය,
  • ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව,
  • එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම,

…යන සාධකයන් මත එහි අඩුපාඩුකම් ඇතිවිය හැක. මෙය තවදුරටත් සරල පරීක්ණයක් මඟින් ඔප්පු කරන්නේ නම්,

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් ලියවුනු ග්‍රන්ථයක් ගෙන එය බෞද්ධයකු, කිතුණුවෙකු සහ ඉස්ලාම් භක්තිකයෙකු යන තිදෙනෙකුට ලබාදී එය සිංහල භාෂාවට පරිවර්ථනය කරන ලෙස පැවසුවා යයි සිතමු. නියත වශයෙන්ම පරිවර්ථන තුනම එක සමාන නොවනවා යන්න ඔබට පෙනෙනු ඇත. එයට බලපෑ හේතුව මා ඉහතින් සදහන් කල කරුණු 05යි. මෙම තත්වය තවදුරටත් හොදින් තේරුම් ගැනීම පිණිස ඉහතින් සදහන් සිංහල පරිවර්ථන තුන නැවත එහි මුල්භාෂාව වන ඉංග්‍රීසි භාෂාවට වෙනත් තිදෙනෙකු මඟින් පරිවර්ථනය කිරීමට සැලැස්වුයේ නම් නියත වශයෙන්ම එය මුල්කෘතිය හා 100% ක් නොගැ‍ලපෙන බව ඔබට පෙනෙනු ඇත. මේ තුලින් පැහැදිලි වෙන්නේ ලිඛිත ලේඛනයක් පරිවර්ථනයක් තුලින් නිවරැදි අදහස ලබාගත හැක යන්න ප්‍රායෝගිකව සිදු නොවනවා යන්න සහා මුල් භාෂාවෙන් එය ආරක්ෂා වී තිබීම අත්‍ය අවශ්‍ය යන්නයි.

එසේනම්, සියවස් ගණනාවක් මුඛ පම්පරාගතව පැවත ඇවිත් පසුකාලීනව ලේඛනගත වූ ආගමික මූලාශ්‍රයන් හි තත්වය මොහොතක් විමසා බලන්න. වසර ගනනාවක් මුඛ පරම්පරාගතව පැවතවිත් පසුකාලීනව එය ලේඛනගත වනවිට මීටත් වඩා බොහෝ විකෘතිතාවයන් එහි ඇතිවීම නොවැලැක්විය හැකි තත්වයකි. වි‍ශේෂයෙන් ඉහත දුර්වලතාවයන් 05 සෘජුවම එයට බලපාන බව ඔබට පැහැදිලි වියයුතුය. මීට අමතරව එහි ලේඛනය කටයුතු කරන ලේඛකයා එම උපදේශයන්ගෙන් වැඩි කැමැත්තක්, උනන්දුවක් දක්වන කාරණයට වැඩි අවධානයක් ඇතුව හා අනිකුත් කාරණයන් වෙත අවම අවධානයක් ඇතුව ක්‍රියා කිරීමක් සිදුවිය හැක. මේ නිසාද එහි නියම ඉගෙන්වීම ඔහු තුලින් මතුවී නොඑන්නට පුළුවන. මෙයට සරල උදාහර්ණයක් ගෙනහැර දක්වනවා නම්,

පසුගිය දිනක මහාවංශය ගැන ‘මහාවංසයට හිමි විය යුතු තැන සහ එයට දී තිබෙන තැන’ යන මැයෙන් ලියවුණු දීර්ඝ ලිපියක් මාහට හමුවිය. එහි එක්තරා ස්ථානයක මෙසේ සදහන් වේ.

‘…මේ සියල්ල තිබුණා නම් අපට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගන්න තිබුණා. ඒත් ඒ තොරතුරු මතත් අපිට වඩා දියුණු ඉතිහාසයක් ලියන්න අමාරුවෙයි. හේතුව මේව ලිව්වේ භික්ෂූන්. ඔවුන්ගේ උවමනාවන් වෙනස්. සාමාන්‍ය ජන ජීවිත ගැන ලියන එක ඔවුන්ට උවමනා කළේ නෑ. ඒකට ඒ අයට දොස් කියලත් වැඩක් නෑ. ඒ අය ක්‍රියා කළේ එදාට වැදගත් ය කියල පෙණුනු දේවල් වෙනුවෙන් මිස අද අපට වැදගත්ය කියල පෙනෙන දෙවල් වෙනුවෙන් නෙවෙයි…’

මෙයින් ද පැහැදිලි වන්නේ යම් තොරතුරක්, පණිවුඩයක් ලියන පුද්ගලයා ද එහි නිරවද්‍යතාවයට බලපාන බවයි. මේ නිසා යම් කෘතියක එසේත් නැත්නම් ලිපියක පවසන කරුණු නිවරුදිවම අවබෝධ කරගැනීම සදහා එය මුල් භාෂාවෙන් ම පැවතීම ඉතාමත්ම වැදගත් අවශ්‍යතාවයක් වේ. මන්ද පරිවර්ථනයකින් යම්තාක් දුරට අවබෝධයක් ගතහැකි වුවත් ඉන් 100% ක නිවරුදි අවබෝධයක් ලබාගත නොහැකි වන බැවිණි.

නමුත් මෙහි සටහන් කලයුතු අවාසනාවන්ත තත්වය වන්නේ මෙම ඛේදනීය ඉරණමට ඉස්ලාම් දහම පවසන අල්කුර්ආනය හැර ලොව සෑම දහමක් දර්ශනයක්ම ගොදුරු වුවා යන්නයි. කොතරම් එය අවාසනාවන්ත තත්වයකට පත්වුවා ද යයි පවසනවා නම්, සමහරක් ආගමික මූලාශ්‍රයන් ප්‍රථම වරට ලියවෙන්නේ එය ප්‍රකාශ වූ මුල්භාෂාවෙන් නොව වෙනත් භාෂාවකිනි. පසු කාලීනවයි එය මුල්භාෂාවට පරිවර්ථනය වීම සිදු වන්නේ උදාහර්ණයට ‘බයිබලය’ සදහන් කල හැක. යේසූස් වහන්සේ මිනිස් සමාජයට අනුශාසනා කරන්නේ ‘සුර්යානි’ නම් භාෂාවකිනි. නමුත් ප්‍රථම බයිබලය ලියවෙන්නේ ග්‍රීක භාෂාවෙනි. ක්‍රි. ව. 200 දීය එය සුර්යානි භාෂාවට පරිවර්ථනය සිදු වන්නේ. බයිබලය එවැනි ඉරණමකට හසුවෙද් දී සමහරක් ආගමික මූලාශ්‍රයන් හි මුල් භාෂාව කුමක්ද? යන්න පිලිබදව පවා වාද විවාද කරන අවාසනාවන්ත තත්වයට පත් වූ ආගම් ද ලොව දක්නට තිබේ. එසේනම් මෙවැනි දුර්වලතාවයන් තුල එම ආගම් හෝ දර්ශනයන්ට කොතරම් නම් විකෘතියක් සිදුව ඇත්ද? යන්න බුද්ධිමත් සමජය විමසා බැලිය යුතුමය.

මේ අනුව ආගමක දර්ශනයක ඉගෙන්වීමන් එහි මුල් භාෂාවෙන් පැවතීමේ අවශ්‍යතාවයත්, එහි පරිවර්ථනය තුලින් නිවැරදි ඉගෙන්වීම අවබෝධ කරගැනීම 100%ක් සාර්ථක නොවන බවත් ඔබට පැහැදිලි වියයුතුය. එසේම කිසියම් කෘතියක් එසේත් නැත්නම් ලිඛිත ලේඛනයක් අධ්‍යනය කිරීමේ දී එය ලිඛිත භාෂාව අදටත් ආරක්ෂා වී තිබීමත් ප්‍රධාන අවශ්‍යතාවයකි.

ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව කථා කරන මෙම ලිපි පෙලෙහි මෙම ලිපිය තුලින් ‘ඕනෑම දහමක ඉගෙන්වීමක් එහි මුල්භාෂාවෙන් පැවතීමේ වැදගත්කම’ සාකච්චා කලෙමු. එය මුල් භාෂාවෙන් ආරක්ෂාවීම සේම වැදගත් තවත් කාරණයක් වන්නේ එහි මූල් භාෂාව අදටත් ආරක්ෂා වී පැවතීමයි. කිසියම් ඉගෙන්වීමක් එහි මුල් භාෂාවෙන් පැවතුනත්, එම භාෂාව ආරක්ෂා වී නැත්නම් එහි ඉගෙන්වීමන් වටහා ගැනීම අපහසු වේ. භාෂාව ආරක්ෂා වී පැවතුනත් එය සමාජයේ භාවිතයේ නැත්නම් එයින් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම ද දුෂ්කර කාර්යයක් වේ. යම්කිසි ඉගෙන්වීමක් හොදින් අවබෝධ කරගැනීමට නම් එහි භාෂාව සමාජ ව්‍යවහාරයේ පැවතීම අත්‍ය අවශ්‍යය. නමුත් ඉහතින් සදහන් කලාසේ අවාසනාවන්ත තත්වය වන්නේ ඉස්ලාම් දහම ප්‍රකාශ වූ අරාබි භාෂාව හැර වෙන කිසිදු ආගමික මුල් භාෂාවක් ආරක්ෂා වී නැත යන්නයි. මෙහි අවසානාවන්තම තත්වය වන්නේ සමහරක් ආගමික මුල් භාෂාව කුමක්ද? යන්න පවා සොයැගත නොහැකි තරමට ඒ පිලිබදව සාධක නොතිබීමයි. නමුත් ඉස්ලාම් දහම හෙවත් දෙවියන්ගේ පණිවුඩය දේවදූතයාණන් වන ‘ජිබ්රීල්’ (අලෛ) විසින් මුහම්මද් (සල්) තුමාණන් හට ප්‍රකාශ කල අරාබි භාෂාව අදටත් එය එලෙස ම ආරක්ෂා වී පවතින අතර අදටත් මැදපෙරදිග බොහෝ රටවල ප්‍රධාන භාෂාව මෙම අරාබි භාෂාවයි.

ඒ අනුව අල්කුර්ආනය ‘මුල් භාෂාවෙන් නොපැවතීම හා මුල් භාෂාව අදට නොපැවතීම’ යන දුර්වලතාවයෙනුත් මිදී එම චෝදනාවලින් සුවිශුද්ධ වී පවතී. මීලඟට විමසා බැලිය යුතු කාරණය නම්  ‘අල්කුර්ආනය ආරම්භයේ පටන් සංශෝධනයන් නොවී ආරක්ෂා වී තිබෙනවාද?’ යන කාරණයයි. ඒ පිලිබදව ද ‘යහමග’ තුලින් ඉදිරියේදී කථා කිරීමේ පොරොන්දු මත මෙම ලිපියට විරාමය තබමි.

(මෙම ලිපියේ තවත් කොටසක් ඉදිරියට බලාපොරොත්තු වන්න…)

මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ ඉදිරියට කථා කිරීමට අදහස් කරමි. එනම්,

 ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site