ශ්‍රී ලංකා මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට ෆේස්බුක් දායක වූ බව පිලිගනී.

0

මෙහි පහතින් ඉදිරිපත් කොට ඇත්තේ ‘වෛරී ප්‍රකාශ සහ කටකතා ව්‍යාප්තිය ‘ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට දායක වුණා’ – ෆේස්බුක් යන මාතෘකාව යටතේ 2020/05/13 දින BBC සිංහල භාෂා වෙබ් අඩවියේ පලවූ ලිපියයි. මෙම ලිපිය තුලින් ශ්‍රී ලාංකීය සමාජයට ‘මේ රටේ සමාජ ජාල ජාතිවාදය’ පිලිබදව බොහෝ කරුණු අණාවර්නය කෙරෙන නිසාත්, මේ රටේ ජාතිවාදීන් කොතරම් සූක්ෂමව ක්‍රියාත්මක වෙනවාද? යන්න පැහැදිලි කෙරෙන නිසාත් මෙම ලිපිය ‘යහමග’ අඩවිය තුල පහතින් කිසිදු සංශෝධනයකින් තොරව පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට මෙලෙස ඉදිරිපත් කරමි.

එම ලිපිය මෙසේය…

වෛරී ප්‍රකාශ සහ කටකතා ව්‍යාප්තිය ‘ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට දායක වුණා’ – ෆේස්බුක්

මහසෙන් බලකාය

ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවලට ෆේස්බුක් සමාජ ජාලය බලපෑ බව එම සමාගම සිය ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

ෆේස්බුක් සමාගම නිකුත් කර ඇති එම වාර්තාවේ සාරාංශයක දැක්වෙන්නේ, “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින අවදානමේ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස මුස්ලිම් සුළුජාතිකයින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සඳහා ප්‍රකෝප කරවීමට ෆේස්බුක් ඔස්සේ කටකතා සහ වෛරී ප්‍රකාශ ව්‍යාප්ත කිරීම” හඳුනාගෙන ඇති බවය.

එවැනි සිද්ධි අතර 2018 වසරේදී මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර වඩාත් ප්‍රචලිත වූ අතර එක ම සිද්ධිය එය නොවන බව ද එහි සඳහන් වේ.

අදාළ අධ්‍යයනය මගින් නිගමනය කර ඇත්තේ, වක්‍ර ආකාරයෙන් ප්‍රචණත්වයක් ඇති කිරීම සඳහා බලපෑ කටකතා සහ වෛරී ප්‍රකාශ ව්‍යාප්ත කරමින් ෆේස්බුක් සමාගම දායකත්වය සපයා ඇති බවය.

අදාළ විශ්ලේෂණය මගින් හඳුනාගෙන ඇති පරිදි වෛරී ප්‍රකාශ (උදා: සියලු මුස්ලිම් වැසියන් මරා දමමු, දරුවන්වත් ඉතිරි නොකරමු, ඔවුන් සුනඛයින් යනුවෙන් පළ කළ ප්‍රකාශ) සහ ව්‍යාජ තොරතුරු (උදා: මුස්ලිම් ආපන ශාලා හිමිකරුවෙකු ආහාරවලට වඳ පෙති මිශ්‍ර කළ බවට පළ කළ ප්‍රකාශ) අදාළ නොසන්සුන් තත්ත්වයන් නිර්මාණය කිරීමට දායක වී තිබේ.

අධ්‍යයනය මගින් ලැබුණු නිර්දේශ

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල ෆේස්බුක් සමාගමේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කළ අධ්‍යයනය පිළිබදව ලිපියක් සපයමින් ෆේස්බුක් සමාගමේ මානව හිමිකම් අධ්‍යක්ෂිකා මිරැන්ඩා සිසන්ස් සහ මානව හිමිකම් ප්‍රතිපත්ති කළමනාකරු ඇලෙක්ස් වැරෝෆ්කා පවසා ඇත්තේ, තවදුරටත් මානව හිමිකම් ආරක්ෂා සදහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් වී ඇති බවය.

මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින හිඩැස් පිරවීම සදහා එම නිර්දේශ පිළිගන්නා බව ද ඔවුහු පවසති.

අධ්‍යයන වාර්තාව

අදාළ නිර්දේශ මෙසේය.

  • මානව හිමිකම් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ආයතනික වගවීම වැඩි දියුණු කිරීම.
  • ප්‍රජා ප්‍රමිති (Community Standards) යාවත්කාලීන කිරීම සහ බලාත්මක කිරීම වැඩි දියුණු කිරීම.
  • බලයලත් තොරතුරු ප්‍රවර්ධනය කිරීම සහ අපයෝජන අන්තර්ගතයන් පැතිරීම අවම කිරීමේ වෙනස්කම් සඳහා ආයෝජනය කිරීම.
  • වාර්තා කිරීමේ (reporting mechanisms) යාන්ත්‍රණ සහ ප්‍රතිචාර දැක්වීමේ අවස්ථා වැඩි දියුණු කිරීම.
  • සිවිල් සමාජ සංවිධාන සමඟ වඩාත් නිතිපතා හා සැලකිය යුතු ලෙස සම්බන්ධ වීම.
  • අන්තර්ගතය, වැරදි තොරතුරු සහ ප්‍රවෘත්ති ශ්‍රේණිගත කිරීම පිළිබඳ ප්‍රවේශය ජනතාවට වඩා හොඳින් තේරුම් ගැනීම සදහා විනිවිදභාවය වැඩි කිරීම.
  • නිසි පරිදි මානව හිමිකම් පවත්වාගෙන යාම.

2018 මාර්තු මාසයේ සිදුවූයේ කුමක් ද?

තෙල්දෙණිය

මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙකු මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය.

ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඒ සමග ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර ගිය ඇතැම් ප්‍රකාශ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පොළඹවනසුලු බව කියා සිටි එවකට පැවති ආණ්ඩුව වහා ක්‍රියාත්මක වෙමින් එම සමාජ මාධ්‍ය ජාල මෙන් ම වයිබර් හා වට්ස්ඇප් වැනි ක්ෂණික පණිවිඩ සේවා අවහිර කිරීමට පියවර ගත්තේය.

මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළවීම වැළැක්වීම සඳහා එය ද ඇතුළුව සමාජ මාධ්‍යජාල අවහිර කළ බව ආණ්ඩුව පැවසීය.

මෙම අවහිර කිරීම් මාර්තු මස 7 වන දා සිට 16 වන දා දක්වා ක්‍රියාත්මක විය.

වෛරී ප්‍රකාශන සහ කටකතා පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව එවකට විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු සඳහන් කර තිබිණි.

“ෆේස්බුක් වැනි දේ නවත්වා තිබෙනවා. මොකද ඒ හරහා තමයි අන්තවාදීන් තමන්ගේ පණිවිඩ යවන්නේ. තමන්ගේ මතවාද ඉදිරියට ගෙන යන්නේ,” යනුවෙන් එවකට පැවති ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න පැවසීය.

අලුත් සිදුවීම්

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු සහ වෛරී ප්‍රකාශ පළ කළ බවට චෝදනා 2018 වසරෙන් පසුව ද අවස්ථා රැසකදී මතු විය.

ඒ අතරින්, 2019 අප්‍රේල් 21 වන දා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන් ම කොරෝනාවෛරසය ව්‍යාප්ත වීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ කටකතා සහ ව්‍යාජ පුවත් විශේෂය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් දින කිහිපයක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවහිර කරන ලදි.

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් මෙන් ම ඉන් මිදීමේ ඖෂධ සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය මෙන් ම සෞඛ්‍ය බලධාරීන් ද අවස්ථා රැසකදී අවවාද කෙරිණි. එහිදී ව්‍යාජ තොරතුරු පළ කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම ද සිදුවිය.

මීට අමතරව, විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ විය.

‘share කිරීමට පෙර දෙවරක් සිතා බලන්න’

සමාජ ජාල ඔස්සේ පළ වන ඉහත කී ආකාරයේ සාවද්‍ය පුවත් ‘share’ කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බව සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි.

“මේ සාවද්‍ය පුවත් පළ කරන්නේ සීමිත පිරිසක්. නමුත් එවැනි පුවත් විශාල වශයෙන් හුවමාරු වෙන්නේ (Viral) බොහෝ දෙනෙක් හරියට හිතන්නේ නැතිව ‘share’ කිරීම නිසයි” යනුවෙන් ඔහු සඳහන් කළේ මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි.

එසේ ම දේශපාලන අරමුණකින් ඔබ්බට ගොස් සිය සමාජ ජාල පිටු වෙත ‘හිට්ස් වැඩි කර ගැනීමටත්’ ඒ ඔස්සේ ලාභය වැඩි කර ගැනීමටත් උත්සහ දරන පිරිස් පිළිබඳව ද අවධානයෙන් පසුවිය යුතු බව ඔහු පැවසීය.

කියවන්න:

උපුටා ගැනීම – BBC සිංහල භාෂා වෙබ්අඩවිය

ඉදිරිපත් කිරීම – ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Nervali (Tamil) Site

Sri-Quran Site