දේවවාදය විඥානයට ගෝචරද? from Ibnu Saheer's blog

මුළු විශ්වයම මවා පරිපාලනය කරන්න දෙවියෙකු නොඑසේනම් සුවිශේෂි බලයක් ක්‍රියාත්මක බව පවසන විට අදේවවාදීන් හා දෙවියන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති පිරිස් මෙම විශ්වාසය අභියෝගයට ලක්කිරීම නිරන්තරයෙන් දකින්නට ලැබේ. එහිදී ඔවුන් ඉදිරිපත් කරන වාදය හුදෙක්ම තර්කයන් මිස සාක්ෂි මත පදනම් කරුණූ නොවේ.  කෙසේ වෙතත් විඥානය මත පදනම්ව ඔවුන් ඉදිරිපත් කරණ වාදයන් කොතරම් දුරට සාධාර්ණ හා නිවැරදි වාදයන්ද? යන්න මෙතැන් සිට විමසා බලමු. 


(මෙතැනදී ඊට ප්‍රථම පැහැදිලි කරගතයුතු කාරණයක් ඇත. එනම්, මෙම ලිපියේ ඉදිරියට භාවිතා කරන ‘විඥානය‘ නම් වදනින් අදහස් කරන්නේ කුමක්ද? යන්නයි. මෙම වදන විවිධ අදහසින් හා විවිධ ආගම් ගැඹූරු විග්‍රාහයන් සදහා භාවිතා කරන බව මෙම ලිපිය යහමග පැරණි අඩවියේ ඉදිරිපත් කල අවස්ථාවේ දැනගත්තෙමි. එහිදී ලිපියේ අන්තර්ගත කරුණු පසෙකලා මෙම වදනගෙන විවේචනයන් ඉදිරිපත් කිරීමන්ද දක්නට ලැබුණි.  එමනිසා ප්‍රථමයෙන් මෙම ලිපිය තුල මා ‘විඥානය‘ යනුවෙන් අදහස් කරන්නේ  ‘පංචේනද්‍ර  මගින් ලබාගන්නා දත්ත පදනම් කරගනිමින් නොදකින යමක් බුද්ධි මගින් තීරණය කිරීම‘ යන්නයි.  (මේ පිලිබදව තවදුරටත් පහතින් නිදසුන් සහිතව සාකච්චා කෙරේ)).


දැන් නැවතත් මාතෘකාවට යොමු වන්නේ නම්, දේවවාදය ප්‍රතික්ෂේප කරන්නන් පොදුවේ ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ  ‘මේ දක්වා කිසිවකු නොදුටු දෙවියෙක් පිලිබදව කෙසේද විශ්වාස කරන්නේද?‘ යන්නයි. මෙය බැලූ බැලූමට ඉතා හොද තර්කයක් ලෙස බොහෝ දෙනෙකු සිතනු ඇත. නමුත් යමක් දැකීමෙන් පසුවයි විශ්වාස කල හැක්කේ යයි පවසන තර්කය බුද්ධිමත් තර්කයක් හෝ වාදයක්  නොවන බව මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත. මන්ද දැකීම යන්න මිනිසාට පමණක් සුවිශේෂ වු බුද්ධිමත් ගුණාංගයක් නොවේ. සියළු සතුන්ට පොදු වු ලක්‍ෂණයකි. සියලූම සතුන් බොහෝ දෑ තීරණය කරන්නේ දැකීමෙනි. උදාහරණයක් ලෙස මුවෙකු තම සතුරා දුරදීම හදුනාගෙන තම ආරක්‍ෂාව සදහා සුදුසු පියවර ගන්නේ දැකීම නම් ගුණාංගය පදනම් කරගෙනය. මේ ආකාරයට අප දැකීමෙන් අනතුරුවයි කිසිවක් විශ්වාස කරන්නේ යයි පවසන්නේ නම් එම සතුන් හා මිනිසුන් වන අප අතර පවතින්නේ සමාන බුද්ධියක් යන තැනට අප පත්වෙනු ඇත. මිනිසා සතුන්ට වඩා උසස් වූ නිර්මාණයකි.  සතුන් සදහා පංචඉන්ද්‍ර බුද්ධිය පමණක් ලබාදුන් දෙවියන් මිනිසා සදහා ඉන් ඔබ්බට ගිය ශ්‍රේෂ්ඨ වූ හයවන බුද්ධිය වන විඥානය ද ලබා දී ඇත.


මිනිසා ඇතුළු සියළුම සතුන් බොහෝ දෑ තීරණය කරන්නේ


> රසය

> පෙනීම

> ඇසීම

> ගඳ සුවඳ

> සමේ සංවේදීතාවය


යනාදී පංචඉන්ද්‍ර බුද්ධීන් පදනම් කරගෙනය. නමුත් මිනිසාට ඉහත ඉන්ද්‍රයන් මගින් ලබාගන්නා දත්ත පදනම් කරගෙන නොපෙනෙන, නොදකින දෑ පිලිබදව ලබාගන්නා ඥානය, අවබෝධය ‘විඥානය‘ ලෙස හදුන්වන්නෙමු. මනුෂ්‍යා බොහෝ දෑ ඇසින් බලා තීරණය කරයි. නමුත් මෙසේ දැකීමෙන් පමණක් සියල්ල අවබෝධ කරගත නොහැක. දැකීමට ඇස උපයෝගි කරගන්නා සේම රසය අවබෝධ කරගැනීමට දිව උපයෝගි කරගනී. ඇසින් රසය හදුනාගත නොහැක. මේ නිසා රසය ඇසට නොපෙනෙන නිසා ‘එය පිලිගත නොහැක‘ යයි කිසිසේත් වාදකල නොහැක. එසේම සංගීතයක් අවබෝධ කරගත යුත්තේ කනෙන් හෙවත් සවන්දීම මගිනි. එය දැකිය නොහැක. මේ නිසා ‘එය මිත්‍යාවක් පිලිගත නොහැක‘ යයි කිසිසේත් වාදකල නොහැක. මේ ආකාරයට ගද, සුවද සැලකුවද, සංවේදීතාවය සැලකුවද මේවා ඒ ඒ ඉන්ද්‍රයන් මගින් පමණක්ම අවබෝධකර ගතයුතු ඒවා මිස මේවා සියල්ල දැකීම තුලින් අවබෝධ කරගත්තක් නොවේ.


ඇසින් දකින සමහරක් දෑ පවා නිවරුදිව වටහා ගැනීමට නොහැකි වන අවස්ථාවන් එදින් එදා අප ජීවිතයේ කොතෙකුත්  දැක ඇත. මෙයට හොදම උදාහර්ණය ලෙස මිරිඟුව ගෙනහැර දැක්විය හැක. මේ අනුව ද පැහැදිලි වන්නේ ඇසින් දකින දෑ පවා සමහරක් අවස්ථාවල දී නිරවද්‍ය නොවන බවයි. එම නිසයි දුටු පමණින්ම සියල්ල තීරණය නොකොට එය කෙරෙහි බුද්ධිය යොදවා එනම් විඥානය උපයෝගි කරගෙන තීරණය කලයුතු බව පවසන්නේ. එසේ ක්‍රියා කිරීමයි සැබෑම බුද්ධිමත් ක්‍රියාව වන්නේ. එය ඉස්ලාම් දහම ඉහලින්ම අවධාරණය කරන කාරණයක් ද වේ. ඉස්ලාම් දහම පමණක් නොව බුදුදහම ද එය දැඩිව අවදාරණය කරයි. ශ‍්‍රි ලාංකික බහුතරය වන බෞද්ධයින් පිලිපදින බුදුදහම මෙය අවධාරණය කරන ආකාරය ඔබට පහතින් දැකගත හැක. එනම්,


පංච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීතී – ප‍්‍රත්‍යක්‍ෂ කර ගැනීම තුළින්ම අවබෝධ කර ගැනීම තුළින් යමක් තේරුම් ගතයුතුයි.


එසේ නම් ඉහත පදනමේ සිට අපගේ මාතෘකාවට නැවත හැරෙමු. අප දුර ප‍්‍රදේශයක අහසට නැගෙන දුම දෙස බලා එම ප‍්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බව තීරණය කරන්නෙමු. මේ ආකාරයට පංචේද්‍රියන් මගින් ලබාගන්නා තොරතුරු හරිද? වැරදිද? සත්‍යද? අසත්‍යද? යන්න තීරණය කිරීමේ බුද්ධිය විඥානය ලෙස හදුන්වමු. මේ මුලධර්මයට අනුව දෙවියෙකු සිටිනවාද? යන්න ප‍්‍රශ්නයට පිලිතුරු සෙවීමට දැන් උත්සාහ කරමු. 


දෙවියෙකු සිටී ද? 


මෙහිදී මෙම මාතෘකාව සුවිශේෂි වන්නේ මිනිසා නොදැකපු පංචේද්‍රියන්ට ගෝචර නොවු දෙවියන් අවබෝධ කරගන්නේ කෙසේද? යන්නයි. ඒ සදහා එකම විකල්පය වන්නේ දෙවියන්ගේ මැවීම් පිලිබදව අධ්‍යනය කිරීමයි. උදාහර්ණයකට  පරිඝනකය දෙස අවධානය යොමු කරමු. වර්ථමානයේ ඇති සුපිරි නිර්මාණයක් වන මෙය අපි දකින්නෙමු. ඒ මගින් අපට අවශ්‍ය කාර්‍යයන් කරගන්නෙමු. එහි ක‍්‍රියාකාරිත්වය දැක මවිතයට පත්වන්නෙමු. මෙය යම් පුද්ගලයකු විසින් නිර්මාණය කරන ලද්දක් යයි කිසිවකු පවසයි නම් එය එකහෙලා පිලිගන්නෙමු. මෙය නිර්මාණය කල පුද්ගලයාගේ බුද්ධිය පිලිබදව පුදුම සහගතව කථා කරන්නෙමු. නමුත් මේ පර්ගණකය නිර්මාණය කල නිර්මාණකරුවා හා අප අතර පංචේද්‍රියන් මගින් කිසිදු සම්බන්ධයක් නැත. නමුත් මේ පරිඝනකය බලා එහි නිර්මාණකරුගේ හැකියාව නිර්නය කරන්නෙමු. මෙසේ තීරණය කිරීම විඥානයට පරස්පර වු ක‍්‍රියාවක් යයි හෝ මිත්‍යාවක් යයි කිසිවකු නොපවසනු ඇත. තවදුරටත් පවසන්නේ නම්, මේ ආකාරයට අවබෝධ කරගැනීමයි විඥානය වන්නේ.


ඒ අනුව ඉහත පදනමේ හිද දේව විශ්වාසය වෙත අවධානය යොමු කලේනම්, මේ විශ්වයේ බොහෝ වස්තුන් පිලිබදව  හා එහි ක්‍රියාකාරීත්වයන් පිලිබදව අප අන්තවාදී නොවී නිරීක්ෂණය කරන්නේ නම්, එහි බොහෝ දෑ  අප දකින්නෙමු. බුද්ධිමත් අවධානය යොමු කොට විශ්වය දෙස බැලීමේදී එහි සාර්ථක සැලසුම් කරණයක් හා සුක්‍ෂම ආකාරයට කල සංකීර්ණ නිර්මාණයක් අප දකින්නේමු. නමුත් මේවා නිර්මාණය වුයේ කෙසේද? මේවා ක‍්‍රියා කරන්නේ කෙසේද? මේවායේ මැවුම්කරුවා කවුරුන්ද? යන්න පිලිබදව අප සිත් යොමු නොකරන්නෙමු. අප පරිඝනකයේ ක‍්‍රියාකාරීත්වය දැකීමෙන් එහි නිර්මාණකරුවා අවබෝධ කරගත්තාසේ විශ්වයේ ක‍්‍රියාකාරිත්වය තුලින් එහි නිර්මාණකරුවා, එම නිර්මාණකරුවාගේ ශක්තිය හා බුද්ධිය අවබෝධ කරගන්න මැලිවන්නෙමු. එනම්, අපගේ විඥානය මෙහිදී යෙදවීමට අප මැලිවන්නෙමු. මෙහිදී සියල්ල අන්ධ භක්තිකව විශ්වාස කලයුතු යයි මා නොපවසමි. නමුත් කුහකව, අරමුණූවල හිඳ අන්ධයින් හෝ මන්දබුද්ධිකයන් ලෙස අප කිසිවක් ප්‍රතික්ෂේප නොකලයුතුය. 


ඉතිහාසය පුරාවටම අදේවවාදීන් දේවවාදය ප්‍රතික්ෂේප කිරීම දක්නට ඇත. ඒ සදහා විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමන් ද දක්නට ඇත. දේව වක්තෘ මුහම්මද් (සල්) තුමා‍ණන්ගේ කාලයේදීත් මොවුන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කල බවට අල්-කුර්ආනය සාක්ෂි දරයි. එවන් පිරිසට ශුද්ධ වූ කුර්ආනයේ (51-20,21) වාක්‍ය මගින් අලංකාර ආරාධනයක් කරයි. එනම්,


නුඹලාගෙන් විශ්වාස කරන්නන් හට පොලොවේ හා නුඹලා තුල බොහෝ සාක්‍ෂින් ඇත. සිත් යොමු නොකරන්නේද?.


සර්වබලධාරී දෙවියෙක් සිටිනවා යන්නට මේ පොළෝතලය පුරාවටත්, මනුෂ්‍යයන් වන අප තුලත් බොහෝ සාක්‍ෂි ඇති බව ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් අවධාරනය කරයි. තවත් තැනක එනම්, ‘හදීස් කුදිසි‘ හි දෙවියන් මෙසේ පවසයි.


නුඹලා මාගේ මැවීමන් වෙත සිත් යොමා බලන්න ඒ තුලින් නුඹලා මාව දකිනු ඇත.


දෙවියන්ගේ මැවීමන් මිනිසා බුද්ධිමත් ආකාරයට අධ්‍යනය කරන විට එම මැවීමන් තුලින් දෙවියන්ගේ ශක්තිය අවබෝධ කරගැනීම අපහසු නොවේ. එනම්, එම මැවීමන් පිලිබදව ගැඹුරින් අවධානය යොමු කිරීමේදී ඒ පිටුපස සුපිරි බලයක්, ශක්තියක් හා නිර්මාපකයෙක් සිටිනවා යන්න පහසුවෙන් අවබෝධ කරගත හැකි වේ. කිසිවකු විසින් කෘතිම වස්තුන් ස්වභාවිකව බිහිවුවා යයි පවසයි නම් එය පිලිනොගනිමු. නිර්මාපකයෙක් නොමැතිව ඇලිපෙනිත්තක් වුවද නිර්මාණය විය නොහැකි බව අප හොදින් අවබෝධ කොට සිටින්නෙමු. එසේ තිබිය දී මෙතරම් සංකීර්ණ විශ්වයක් කෙසේ නිර්මාපකයෙක් නොමැතිව නිරමාණය වුයේද?.


මෙම ප‍්‍රශ්නයට විද්‍යාව ‘මහා පිපුරුම් වාදය‘ මගින් විශ්වයේ බිහිවීම පැහැදිලි කරන්න උත්සාහ දරයි. එසේම පෘථිවි ජීවී සම්භවය ‘ආදී සුපයකින්‘ ස්වයංව ඇතිවු බවත් පවසයි. මෙම වාදයන් හරියට ‘කෙනෙකුගෙන් ඔය ඇඳන් සිටින ඇදුම කෙසේ ඇති වුයේද යනුවෙන් ඇසූ පැනයට :- හිටීහැටියේ පුලූන්ගොඩක් මා ළගට පැමින ස්වයංවම එය නුල් බවට පත්වී, ස්වයංවම එය රෙදි බවටත් පත්වී, පසුව එය කෑලි කෑලිවලට ඉරී තමා ඇද සිටින මෙම ඇදුම බවට පත්වුවා‘ යයි පවසනවා සේය. කිසිවකු මෙසේ පවසයි නම්, අප ඔහුව කුමක් කියා ආමන්ත්‍රණය කරන්නෙමුද?. මොහුව විඥානය ඇත්තෙකු ලෙස දකිනවාද? එසේත් නැත්නම් මන්ද බුද්ධිකයෙකු ලෙස දකිනවාද? මෙය තීරණය කිරීම විඥානය ඇති ඔබට ම භාරය. සාමාන්‍ය ඇදුමක් සම්බන්ධයෙන්ම තත්වය මෙය නම් සංකීර්ණ වු විශ්ව නිර්මාණයකටත් එය තුල සුපුරි නිර්මාණයක් වන මිනිස් මැවීමටත් කොතරම් බුද්ධියක් හා හැකියාවක් අවශ්‍ය වේද?. මේ සියල්ල පිලිබදව කිසිදු සැලකිල්ලක් නොගෙන සියල්ල ස්වයං නිර්මාණ යයි පවසන තරම් අද මිනිසා නීචයෙකු වී සිටීම මිනිසා තමාට තමාම කරගන්නා නිගාවක් නොවේද?.


මේ අනුව පංචේන්ද්‍රයන් හා බුද්ධීය උපයෝගි කරගනිමින් ශුද්ධ වූ කුර්ආනයේ (51-20,21) වාක්‍යය පවසන ආකාරයට තීරණය කිරීමයි සැබෑ බුද්ධිමත් ක්‍රියාව වන්නේ. එම බුද්ධියට දේව විශ්වාසය යන්න ගෝචර නොවන්නක් නොවේ. විඥානයට ගෝචර එම විශ්වාසයයි දේව විශ්වාසය ලෙස හඳුන්වන්නේ. 


මේ සම්බන්ධ අනිකුත් ලිපි කියවන්න - දේව විශ්වාසය



ඉබුනු සහීර්


Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jul 11

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර