නව සඳ දැකීම හා නව මාසය ඇරඹීම from Ibnu Saheer's blog

‘නව මාසය උදාව ඉස්ලාමීය ක්‍රමයට නිර්ණය කරන්නේ කෙසේද?‘ යන කාරණය මුස්ලීම් සමාජය තුල ගැඹුරින් සාකච්චා වන කාලයක් ලෙස උපවාස මාසය හැදින්විය හැක. මෙහිදී උපවාසය අරඹන්නේ කවදාද?. එය අවසන් කොට අවුරුදු සමරන්නේ කවදාද?. යන ගැටළුව එයට ප්‍රධාන හේතුවයි. මෙය මුස්ලීම් සමාජය නිවැරදිව අවබෝධ කර නොගැනීම තුල පිරිසක් උපවාසය අරඹන විට තවත් පිරිසක් උපවාසය ආරම්භ නොකිරීමත්, පිරිසක් අවුරුදු සමරන විට තවත් පිරිසක් උපවාසයේ නිරතවීමත් වැනි අවාසනාවන්ත තත්වයන් සෑම වර්ෂයකම පාහේ  ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල දක්නට ලැබේ. ඒ අනුව මෙම කාරණය පැහැදිලි කරගැනීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල කිසියම් මතභේදයක් පවතින බව ප්‍රථමයෙන් පිලිගතයුතු වේ. නමුත් ඒ මතභේදය පවතින්නේ රමලාන් මාසය ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෝ මාසය ආරම්භ කලයුත්තේ හඳ පදනම් කරගෙනද? යන කාරණයසම්බන්ධයෙන් නොවේ. සමස්ථ මුස්ලීම් සමාජයම චන්ද්‍ර මාස ක්‍රමය ඒකමතිකව අනුමත කරයි. ඒ අනුව ඉස්ලාමීය ක්‍රමයට 9 වන මාසය වන ‘රමලාන්‘ (උපවාසය රකින) මාසයත් චන්ද්‍ර මාසය අනුවම නිර්ණය වියයුතු යන්නෙහි විරුද්ධ මතයක් මුස්ලීම් සමාජයේ නැත. මතභේදය ඇත්තේ මෙම චන්ද්‍ර මාසය නිර්ණය කරන්නේ කෙසේද? යන කාරණයේදී පමණි. එනම්,

 

 1.මාසයේ මුල (චන්ද්‍රයාගේ පිහිටීම) ගණනය කිරීම මඟින් නිර්ණය කලයුතුයි, 

 2.ලොව කුමන රටක මුල් හඳ දුටුව ද එය පදනම් කරගෙන මුළු ලොවටම රම මාසය ඇරඹිය යුතුයි, 

 3.කිසියම් රටක දකින මුල් හඳ එම රටට පමණක් සීමා වියයුතුයි, 

 4.(එකම රට තුල පවා) කිසියම් ප්‍රදේශයක දකින හඳ එම ප‍්‍රදේශයට පමණක් වලංගු වියයුතුයි,  


ඉහත ප‍්‍රධාන මතවාද 04 ට අමතරව තවත් වාදයන් ද මුස්ලීම් සමාජය තුල සුළු වශයෙන් දක්නට ඇත. කෙසේ වෙතත් නිවරැදි ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න පැහැදිලිව හදුනාගැනීම තුල ඉහත මතවාදයන් හා දුර්මතයන් මෙන්ම මෙහි සදහන් නොවූ අනිකුත් මතවාදයන් සියල්ල අවලංගු වී යනු ඇත. ඒ අනුව මෙම විෂය ඉස්ලාමීය මූලාශ්‍රයන් හෙවත් දිව්‍යමය මඟපෙන්වීමට යටතේ විමසා බැලීම අත්‍ය අවශ්‍යය. මෙහිදී ‘ඉස්ලාම්‘ යයි පැවසෙන සියළු කරුණු කාරණයන් දිව්‍යමය වදන් වන ශුද්ධ වූ කුර්ආනයේ (හෝ/හා) හදීසයේ සදහන් වී තිබීම මූලික අවශ්‍යතාවයකි. එසේ විමසා බැලීමේ දී ඉස්ලාමීය ඉගෙන්වීමන් තුල ප්‍රධාන ඉගෙන්වීමන් 02ක් හමුවේ. රමලාන් මාසය (උපවාසය) ආරම්භ කිරීම හා අවසන් කීරීම සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගය පහත හදීසයන් තුලින් නබිතුමාණන් ඉතා පැහැදිලි ලෙස මෙසේ පවසයි. එනම්,  


 “රමලාන් නව හඳ දකිනා තුරු නුඔලා උපවාසය ආරම්භ නොකරන්න. (යලිත්) නව හඳ දකිනා තුරු උපවාසය අත්නොහරින්න නුඔලාට, වලාකුළු හේතුවෙන් (එදින) හඳ නොපෙනුනේ නම් (මාසය දින 30 ලෙස) පූර්ණ කරන්න.”

 මූලාශ්‍ර ග්‍රන්ථය : බුහාරී  


 “රමලාන් නව හඳ දකිනා තුරු නුඔලා උපවාසය ආරම්භ නොකරන්න. නව හද දකිනා තුරු උපවාසය අත්නොහරින්න. නුඔලාට වලාකුළු හේතුවෙන් එදින නව හඳ නොපෙනුනේ නම්, එම මාසය දින 30 ලෙස සලකන්න. එසේත් නැත්නම් (හඳ දුටු බවට) සාක්‍ෂි 02 ලැබුනේ නම් ඒ අනුව ක‍්‍රියා කරන්න.” 

 මූලාශ්‍ර ග‍්‍රන්ථය – නසායි


   ඉහත හදීසයන් 02 දෙස බැලීමේදී නව හඳ බැලීම සෑම මුස්ලීම්වරයෙකුට අනිවාර්‍ය  වූ වගකීමක් බව පැහැදිලිය. එසේම හඳ දැකීමෙන් හෝ (හඳ නොදුටු නිසා) ගෙවීයන මාසය දින 30ක් ලෙස පුර්ණ කොට අනතුරුව නව මාසය ආරම්භ කලයුතු යන්නත් පැහැදිලිය. එසේම සමස්ථ මුස්ලීම් සමාජයටම නව හඳ බැලීම අනිවාර්‍ය වුවත් තමන් නොදුටු හඳ වෙනත් කවුරුන් හෝ දැක එම සාක්ෂි ලැබුණේ නම් එය පිලිගෙන ඒ අනුව ක්‍රියා කලයුතු යන්නත් ඉහත ඉගෙන්වීම අනුව පැහැදිලිය. එසේ නම් සියළු දෙනාටම හද බැලීම අනිවාර්‍ය වුවත් දෙදෙනෙකු එම හඳ දුටුවේ නම් උපවාසය ආරම්භ කිරීමට එය ප‍්‍රමාණවත් බව ද මින් තහවුරුවේ. ඉහත එම හදිසය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉස්ලාමීය විද්වතෙකු වන ඉබුනුතයිමියා (රහ්) තුමා “හඳ බැලීම සෑම කෙනෙකුටම කල නියෝගයක් නොවේ. එය ‘ෆර්ලු කිෆායා’ වේ” යනුවෙන් පවසයි. මේ අනුව ඉස්ලාමීය ක්‍රමයට නව මාසයක් ඇරඹීමට නව හඳ දැකීම යන්න සෑම කෙනෙකුටම අනිවාර්‍ය අවශ්‍යතාවයක් නොවන බවත්, සාක්ෂිමත පදනම්ව නව මාසය ඇරඹිය හැකි බවත් පැහැදිලි වේ. මෙහි මතුවන නූතන ගැටළුව වන්නේ එක් රටක දකින හඳ පදනම් කරගෙන තවත් රටකට ක්‍රියා කලහැකිද?. යන්නයි. මෙවැනි ගැටළුවක් ඇති කරගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. එයට හේතුව රටවල් යන්න දේශපාලන හා පරිපාලන අවශ්‍යතාවයන් මත ගොඩනැගුණු ඒවා මිස ඉර, හඳ හෝ වෙනත් භූලකෂණ පදනම් කරගත් කාරණයක් නොවේ. එමනිසා ඉහත ඉස්ලාමීය ඉගෙන්වීම දේශපාලන හා පරිපාලන අවශ්‍යතාවයන්ගෙන් සීමා කිරීමට ඉස්ලාමීය ඉගෙන්වීම තුල කිසිදු ඉඩක් නැත.  

ඒ අනුව හඳ දැකීම, සාක්ෂි පදනම් කරගැනීම හෝ මාසය 30 ක් ලෙස පූර්ණ කොට ඊළඟ දිනය නව මාසයේ උදාව ලෙස ගැනීම ඉස්ලාමීය පැහැදිලි ඉගෙන්වීමයි.     



ඉබුනු සහීර්


Share:
Previous post     
     Next post
     Blog home

Post

By Ibnu Saheer
Added Jun 12

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර