විද්‍යාව ‘දෙවියන්‘ ප්‍රතික්ෂේප කරන්නේද? from Ibnu Saheer's blog

'සයන්රී' යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවේ. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්නට දෙන සරලම විග්‍රහය මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි. ඒ අනුව විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එනම්,


> ඔප්පු කරන ලද විද්‍යාව,

> උපකල්පන විද්‍යාව,



විද්‍යාත්මක උපකරන උපයෝගි කරගෙන පරියේෂණ මගින් ඔප්පුකරගත් දෑ පලමු වර්ගයට අයත් වේ. නමුත් උපකල්පන විද්‍යාව යන්න ඔප්පු කරන ලද දෑ නොවේ. ඒවා උපකල්පනයන් පමණි. මේවා කාලයත් සමග සත්‍ය වීමටද හැක, අසත්‍ය වීමටද හැක. උදාහරණයක් මෙම පෘථිවිය ගෝලාකාරයි යන්න ඔප්පු කරන ලද සත්‍යයකි. මෙය පලමු වර්ගයට අයත්වේ. 


මෙම විශ්වය බිහිවුයේ කෙසේද? එහි වයස කීයද? යන්න පැවසීම මෙතෙක් නිශ්චිතව ඔප්පු කල කාරණයක් නොවේ. විශ්වයේ බිහිවීම පිලිබදව විද්‍යාව පැවසීමේදී එක් අවස්ථාවක එය ආරම්භයේ නෙබියුලා ‘Nebulae‘ යැයි පවසන ආකාරයේ පැවතී වස්තුව පිපිරීම නිසා තරු බිහිවු බවත්, එම තරු පිපිරීමෙන් ග්‍රහ වස්තු බිහිවු බවත්, එම ග්‍රහයේ උපග්‍රහයන් වන චන්ද්‍රයන් බිහිවු බවත්, පවසන ලදී. ඉන්පසු පසු එම මතය සම්පුර්ණයෙන් වැරදි බවත් ග්‍රහයින් සුර්‍යාගෙන් ඇති නොවු බවත් සුර්‍යාත්, ග්‍රහයිනුත්, චන්ද්‍රයාත් සහා අනිකුත් ග්‍රහ වස්තුන් සියල්ල එකවිට ඇතිවු බව පවසන ලදී.  ඊට පෙර පැවසුවේ ‘විශ්වය සදාකල් පැවතුනු බවත් ඉදිරියටත් එසේම සදාකල් පවතින බවත්ය‘ මෙය නොසැලෙන අවස්ථාවාදය “Steady state theory” නම් විය. පසුව මේ සියල්ල ප්‍රතික්‍ෂේප කොට මහා පිපිරුම් වාදය “Big bang theory” නම් තවත් වාදයක් අද ඉදිරිපත් කරයි. මේ ඉදිරිපත් කල සියල්ල වාදයන් මිස කිසිවක් ඔප්පුකොට නැත. ඒ අනුව මේවා සියල්ල උපකල්පනයන් පමණි. මෙය දෙවනි වර්ගය වන උපකල්පන විද්‍යාවට අයත් වේ. නුතන යුගයේ විශ්වයේ සම්භවය පිලිබද මහා පිපිරුම් වාදය “Big bang theory” නමින් වාදයක් ඉදිරිපත් කරයි. මෙහි පවසන්නේ මීට අවුරුදු මිලියන 14000 කට පෙර විශ්වය ඇරඹෙන මොහොතේ විශ්වය ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩාව පැවතී බවත්, අධික ඝනත්වයක් සහිතවු එම වස්තුව පිපිරීයෑමෙන් මෙම විශ්වය හා සියලූ ග්‍රහ වස්තුන් ඇති වු බවත්ය. එම වස්තුව යම් සංකෝචන හේතුවක් නිසා පුපුරා දුවිලි වලාවක් බවට පත්වු බවත් පසුව එකින් එක අතර ඇතිවු ආකර්ශණය නිසා එය සංකෝචනය වීමෙන් මෙම අදට පවතින විශ්වය බිහිවු බවත්ය. මෙම මහා පිපිරුම් න්‍යාය හෙට දවසේ අසත්‍ය වීමටද හැක. එසේත් නැත්නම් එහි සංශෝධන ඇතිවීමටද හැක. මෙයයි උපකල්පන විද්‍යාවේ ස්ථාවරය.


විද්‍යාඥයින් විද්‍යාව නමින් ඉතා වේගයෙන් මතයන්, උපකල්පනයන් ඉදිරිපත් කරයි. කාලයත් සමග ඒවා සත්‍ය යයි පැවසුවාට වඩා වේගයෙන් ප්‍රතික්ෂේප කරයි. විද්‍යාඥයින්ගේ මත ඉදිරිපත් වෙන වේගයත් එය ප්‍රතික්ෂේප වෙන වේගයත් දකින විට විද්‍යාඥයින් වන මොවුන්ගේ උපකල්පන පිලිගන්නවාද? නැද්ද? යන්න ගැටළුවක් ද මතු වේ.


උපකල්පන විද්‍යාවේ ඇති දුර්වලතාවය පෙන්වාදීම සදහා කෙටි නිදසුන්  කිහිපයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි. එනම්,


විශ්වයේ බිහිවීම පිලිබදව විද්‍යාව විවිද මත 4ක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව හරියාමේ සම්භාවිතාවය 1/4 කි.

පෘථිවියේ හැඩය පිලිබදව විද්‍යාව විවිධ මත 30ක් ඉදිරිපත් කරනලදී. ඒ අනුව හරියාමේ සම්භාවිතාවය 1/30 කි.

චන්ද්‍රයාගේන් නිකුත්වන දීප්තිය සම්බන්දයෙන් මත දෙකක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව හරියාමේ සම්භාවිතාවය 1/2 කි.

ජීවින්ගේ සම්භවයට හේතුකාරක වු ද්‍රව්‍ය පිලිවදව විද්‍යාව විවිධ මත 10000 කට අධිකව ඉදිරිපත් කරන ලදී. ඒ අනුව සම්භාවිතාවය 1/10000 කි.


මේ ආකාරයට බොහෝ නිදසුන්  ඉදිරිපත් කල හැකි වුවත් ලිපිය දීර්ඝවීම සැලකිල්ලට ගෙන මෙහි පවසන කාරනය වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් යයි හැගෙන නිසාත්. ඉහත සදහන් කරුණු 4 හි පමණක් හරියාමේ පොදු සම්භාවිතාවය ගණනය කර බලමු.  එනම්,

 1/4 x 1⁄30 x 1⁄2 x 1/10000 ═ 1/2400000 කි.

 ප්‍රතිශතයක් ලෙස ගත්විට 0.00004% කි.


 ඒ අනුව මනුෂ්‍යාගේ උපකල්පනයන්ගෙන් ඉහත 4 පමණක් සැලකීමේ දී එය හරියාමේ ප්‍රතිශතය 0.00004% වේ. ඒ අනුව වැරදීමේ සම්භාවිතාවය 99.99996% ක් වේ. එසේ නම් යම් කාර්‍යයක් සදහා උපකල්පනයන් පදනම් කරගැනීම කොතරම් දුරට සාධාරණද?. මෙය තීරණය කිරීම තවදුරටත් ඔබට අපහසු නොවනු ඇත. 


මෙහිදී බොහෝ දෙනෙකු නොසිතන නමුත් වටහා ගතයුතු සත්‍යයක් ඇත. එනම්, විද්‍යාත්මකව ඔප්පු කල දෙයත්, විද්‍යාත්මක උපකල්පනයත් පොදුවේ විද්‍යාව යනුවෙන් සමාජයේ භාවිතා කෙරේ. නමුත් මෙහි උපකල්පන විද්‍යාව ඔප්පු කල එකක් නොවන බව දැන් ඔබට පැහැදිලිය. එවැනි විද්‍යාත්මක උපකල්පනයන් යම් මතයක් තහවුරු කිරීම සදහා සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එසේම එය මුලධර්මයක් වශයෙන් ගෙන තර්ක කිරීම ද බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එසේ නම් එම පදනමේ හිඳ දැන් අපගේ මාතෘකාවට අවදානය යොමුකරමු.


විද්‍යාවට අනුව දෙවියෙකු සිටීද ?


මෙම ප්‍රශ්නයට ආකාර තුනකින් පිලිතුරු දියහැක. එනම්,


> දෙවියෙකු සිටිනවාද? නැද්ද? යන්න ස්ථීරව කිව නොහැක.

> දෙවියෙක් නැත.

> දෙවියෙක් ඇත.


මෙහි පලමුවැන්නෙන් දෙවියන් පිලිබදව දැනුමෙහි දුර්වලකම ගෙනහැර දක්වයි. එනම් දෙවියෙක් සිටිනවා යන්න හෝ දෙවියෙක් නැත යන්න ඔප්පුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නැති අවස්ථාවයි.


දෙවැන්න දෙවියෙක් නැත යන්නත්, ඒ අනුව විශ්වයේ සියල්ල ස්වයංව ක්‍රියා කරනවා යන්න ඔප්පු කිරීමට හැකි සාක්‍ෂි ඇති අවස්ථාවයි.


මෙම අවස්ථා දෙක අතර පැහැදිලි වෙනස්කම් ඇත. ‘දෙවියෙක් සිටීද යන්න වටහාගත නොහැක‘ යන්න මතය ගෙන දෙවියෙක් නැත යන තර්කය ඉදිරිපත් කල නොහැක. මන්ද පලමුවැන්න සාක්‍ෂි නැති අවස්ථාවයි දෙවැන්න දෙවියෙක් නැත යන්න සාක්‍ෂි ඇතුව ඔප්පුකල හැකි අවස්ථාවයි.


උදාහරණයක් ලෙස බ්‍රහස්පති ග්‍රහය මත ජීවින් සිටීද?


අදටත් මෙම ප්‍රශ්නයට ‘ඇත‘ යනුවෙන් හෝ ‘නැත‘ යනුවෙන්  විද්‍යාඥයින් හට ස්ථීරව කිව නොහැක. මන්ද ඒ සදහා අවශ්‍ය පැහැදිලි සාක්‍ෂි සාධක ඔවුනට තවම ලැබී නැත. එමනිසා එළඹිය හැක්කේ පහත නිගමනයන්ටය. එනම්,


> බ්‍රහස්පතිමත ජීවින් සිටීද යන්න ස්ථීරවම කිව නොහැක,

> බ්‍රහස්පතිමත ජිවින් සිටී,


මෙම නිගමන දෙකෙන් එකක් වීමට හැක. මෙහි පලමුවෙන්න පිලිගන්නේ නම් දෙවැන්නද දෙවැන්න පිලිගන්නේනම් පලමුවැන්නද ප්‍රතික්‍ෂෙප කිරීමට සිදුවේ. එසේම පලමු නිගමනයේ සිටින කෙනෙකුට ‘අනිකුත් ග්‍රහයන්වල ජීවින සිටී‘ යන වාදය ප්‍රතික්‍ෂෙප කිරීමට ද නොහැක. කලයුත්තේ එම වාදය පිලිගෙන සත්‍යයෙන්ම එහි ජිවින් සිටීද? යන්න සෙවීමට අවශ්‍ය පරියේෂණ ආරම්භ කිරීමයි. මෙයයි  ඕනෑම අවස්ථාවක විද්‍යාවේ ස්ථාවරය. එසේනම්, දෙවියන් සම්බන්ධයෙන්ද විද්‍යාවේ ස්ථාවරය විය යුත්තේ එයයි. මේ දක්වා දෙවියන්ව පරියේෂණ කුටියක පරික්ෂා කිරීමට විද්‍යාවට හැකි වී නොමැත. විද්‍යාව යමක් නිගමනය කිරීමට නම් එයට මුලධර්මයන් හා සාක්‍ෂි අවශ්‍ය වේ. එවැනි මුලධර්මයන් හා සාක්‍ෂිගෙන දෙවියන් පිලිවද පරියේෂණ කිරීමට විද්‍යාවට තවම හැකිවී නැත. එසේ පරියේෂණයට ලක් නොකොට යමක්  ‘නැත‘ යනුවෙන් පැවසීමට විද්‍යාව තුල ඉඩක් නැත.


විශ්වයේ හැඩය, එහි ස්වභාවය පිලිබදව විවිධ උපකල්පනයන් විද්‍යාව ඉදිරිපත් කලත් ඒවා සියල්ල ‘දෙවියෙක් නැත‘ යනුවෙන් පැවසීමට හැකි සාක්‍ෂි නොවේ. මෙම විශ්වය සම්භවය පිලිබදවම තවම ස්ථීර නිගමනයකට පැමිණිය නොහැකි තත්වයේ පවතින විද්‍යාව මේ සියල්ල මැවු දෙවියන් පිලිබදව ස්ථීර නිගමනයකට පැමිණ. ‘දෙවියෙක් නැත‘ යනුවෙන් පවසන්න මෙම විද්‍යාව උපයෝගි කරගන්නේ කෙසේද?.


යමක් පිලිබදව නොදන්න විට, එය නැතැයි පැවසීමට සාධාර්ණද?


යමක් නොදන්නවා යන්න එය නැත යන නිගමනයට හේතුවක් නොවේ. මෙම විශ්වයේ ඉතා ස්වල්පයක් පමණයි විද්‍යාව තවම දන්නේ. එසේ තිබියදී විද්‍යාව නොදන්නා සියල්ල ‘නැත‘ යන නිගමනයට පැමිණීම සාධාර්ණ නොවේ. එළඹිය හැකි එකම නිගමනය වන්නේ ‘තිබෙන්නටත් පුලූවනි එසේ නොවන්නටත් පුලූවන්‘ යන්න පමණි. හේතුව යමක් නැත යන තීරණය සැකයෙන් තොරව ස්ථීර වනතුරු එය ප්‍රතික්‍ෂෙප නොකල යුතුයි යන්න විද්‍යාවේ ස්ථාවර බැවිණි. අතීතයේ පටන් විද්‍යඥයින් මෙම ස්ථාවරයේ සිටී නිසයි. අද ඇසට නොපෙනෙන බොහෝ වස්තුන් සොයාගැනීමට විද්‍යාවට හැකි වී තිබෙන්නේ.


මෙතරම් විශාල අහස්තලයේ දිලෙමින් තිබෙන තරු දෙස බලන්න. එය දකින මිනිසාව එම වස්තුන් සිතන්න පොලඹ වන ලදී. ‘මා මේ දකින අහස මෙපමණද? මා මේ දකින තරු මෙපමණද? මීටත් එහා තවත් තරු තිබෙනවාද? මේ අහස කොතරම් විශාලද?‘ ඔය වැනි ගැටඑ බොහෝමයක් මිනිසාට ඇතිවිය. මෙම ප්‍රශ්න සදහා එදා විද්‍යාවටත් කිසිවක් පැවසීමට නොහැකිවිය. එසේ එදා කිසිවක් පැවසීමට නොහැකිවු නිසා ‘නැත‘ යන නිගමනයට විද්‍යාඥයින් පැමිණියා නම් අද වනවිට මෙතරම් විශාල තරු හා ග්‍රහ වස්තුන් සොයා ගැනීම සිදුනොවන්නට තිබුණි.


එමනිසා සොයාගැනීමට නොහැකිවු සියල්ල ‘නැත‘ යන නිගමනයේ විද්‍යාඥයින් පැහැදිලිවම නැත. අළුත් තරු සොයාගැනීමට විද්‍යාඥයින් වෙහෙසන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් දුරේක්‍ෂය සොයාගන්නා ලදී. එම දුරේක්‍ෂයෙන් විශ්වය දෙස බැලූ මිනිසා තමන් දකින සීමාවටත් එහා තවත් බොහෝ දෑ තිබෙන බව වටහා ගන්නා ලදී. එමනිසා තවදුරටත් මෙම දුරෙක්‍ෂයන් වැඩිදියුණු කිරීමට සිදුවිය. ආරම්භයේ පෘථිවිය අවට බැලූ මිනිසා පසුව සෞරග්‍රහ මණ්ඩලයත් පසුව ක්‍ෂීරපථයත් ඊටත් එහා අනිකුත් ක්‍ෂීරපථයනුත් දකින්න තරම් විද්‍යාව දියුණුවිය. මෙයින් ද පෙනීයන්නේ නොදන්නා දෑ ‘නැත‘ යනුවෙන් තීරණය කිරීම කොතරම් අනුවනකාරී ක්‍රියාවක්ද? යන්නයි. එවැනි පටු නිගමනයන් නොකල නිසයි දිනෙන් දින විද්‍යාව දියුණුව කරා යන්නේ. මේ සම්බන්ධ අවදානය යොමු නොකොට නොදන්නා සියල්ල ‘නැත‘ යන්න තීරණයේ සිටියා නම් එදා මනුෂ්‍යා වනයෙන් අද නගරයට නොඑන්නට ද තිබුණි.


එසේනම් විද්‍යාවට අනුව යමක් ප්‍රතික්ෂේප කිරීමට පැවතිය යුතු අවශ්‍යතාවයන් ඔබට දැන් පැහැදිලි වියයුතුය. දෙවියන් ප්‍රතික්ෂේප කරමින් කිසිදු පදනමකින් තොරව මහා විද්‍යාඥයින් ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කරන අප රටේ බෞද්ධ ඔස්තාර්ලාට ඉහත කරුණූ සාරාංශ කොට බෞද්ධ ඉගෙන්වීමකින් මෙහි ගෙන එන්නට කැමැත්තෙමි.  


බුදුරජාණන් වහන්සේ චුල්ල හත්ථිපදෝපම සුත‍්‍රයෙන් දේශනා කල බවට බුදුදහමේ මෙසේ සදහන්වේ


″අනුමානය මතහිද යමක් තීරණය කරන්න කලබල නොවෙන්න හොදින් එය ප්‍රත්‍යක්ෂ කරගන්න″


තවත් අවස්ථාවක,


″ප්‍රත්‍යක්ෂ කර ගැනීම තුළින්ම අවබෝධ කර ගැනීම තුළින්ම යමක් තේරුම් ගත යුතුය″.


ඉහත බෞද්ධ ඉගෙන්වීමමයි  විද්‍යාවේද ස්ථාවරය වන්නේ. එයයි විද්‍යාව ‘පරීක්‍ෂණ නිරීක්‍ෂණ තුළින් නිගමනයන්ට එළඹීම‘ යනුවෙන් පවසන්නේ. 


නොදන්නා දෑ විශ්වාස කිරීම බුද්ධිමත් තීරණයක්ද? 


එසේ නම් නොදන්නා දෑ විශ්වාස කිරීම බුද්ධිමත් තීරණයක්ද?  එසේත් නැත්නම් විද්‍යාවද? යන ගැටලූව දැන් ඔබට මතුවීමට පුළුවන. නොදන්නා දෑ විශ්වාස කිරීම අනිවාර්‍ය නොවේ. කෙනෙකු විශ්වාස කිරීම වරදක් යයි කිව නොහැක. නමුත් නොදන්නා යමක් ‘නැත‘ යන නිගමනයේ හිද තම ජීවිතය ඒ අනුව සකසා ගැනීම බුද්ධිමත් තීරණයක් නොවේ. දේව විශ්වාසය වැනි විශ්වාසය මත පමණක් පදනම් වු දහමක් විශ්වාස කිරීමේදී එම දහමේ මුලධර්මයන්ට අනුව ගවේෂණය කොට තීරණයන්ට එළඹීම බුද්ධිමත් තීරණයකි. සෑම කටයුත්තකම විද්‍යාව ක්‍රියා කරන්නේ මේ ආකාරයටය. මෙය තවදුරටත් පැහැදිලි කරගැනීම පිණිස නිදසුක් මෙහි තබන්නෙමි. 


ඔබ හම්බන්තොට ට ගමන් කිරීම පිණිස බස් නැවතුම් පොලකට යනවා යයි සිතන්න. එහි විවිධ නගරයන්ට යෑම සදහා බස් නවතා ඇති ආකාරයක් පෙනේ යයි සිතන්න. එහිදී ඔබ ගාල්ලට යන බස් රථය කුමක්ද? යන්න නොදන්නේ නම්. පලමුව විමසීමක් කලයුතුය. අනතුරුවයි නිවැරදි බස් රථය තෝරාගත යුතුය. ඒ සදහා කොපමණ කාලයක් වුවද යොදවා වෙහෙසි නිවරුදි බස් රථය තෝරා ගන්නවා මිස. කුමක් හෝ බසයක නැග ගමන් නොකරන්නේය. මන්ද එසේ ගමන් කලානම් මහන්සියත්, පාඩුවත් මිස. තමාගේ අරමුණ කරා ලගාවීමට නොහැකි වන නිසාය. මෙය සාමාන්‍ය පැය කිහිපයක ගමනක් සදහා ඔබ ගන්නා වෙහෙසය. එසේනම් මුළු ජීවිතයේම ජය, පරාජය තීරණය වන විමුක්තියේ මාර්ගය හා ගමන සදහා තීරණය කිරීම කොතරම් බුද්ධිමත්ව කලයුතුද? එසේ කිරීම අප ජීවිතයට කොතරම් වැදගත් වන්නේද?.


මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව ‘දෙවියන්‘ යන්න විද්‍යාව කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප නොකරන බව පැහැදිලිය.  ගැටළුව ඇත්තේ ‘දෙවියන්‘ පිලිගැනීමට තරම් පැහැදිලි සාධක විද්‍යාවට නොමැතිවීමයි. මෙවන් පසුබිමක අප කලයුතු වන්නේ වහසිබස් දෙඩවීම පසෙක තබා විශ්වය හා මනුෂ්‍යා මැවු මැවුම්කරු අවබෝධ කරගැනීමට උත්සාහ කිරීම හා ඔහු ලබාදුන් මාර්ගය අනුගමනය කිරීමයි.


මේ විෂය පිලිබදව ලියවූ සියළු ලිපි කියවන්න - දේව විශ්වාසය  




ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jul 9

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives