හිජාබය සහ මම - අන්තර්ජාල උපුටාගැනීම from Ibnu Saheer's blog

හිජාබය නොහොත් මුස්ලිම් කාන්තාවන් පලඳින හිස් ආවරනය පිලිබඳ බොහෝ පිරිස් කතා කරන්නෝය. විවිද වූ පැහඇදිලි කිරීම් කරන්නෝය. විද්‍යානුකූල තර්ක ඉදිරිපත් කරන්නෝය. මේ සියල්ල හිජාබය ජීවිතයේ වැඩිහරියක් භාවිතා කරන මුස්ලිම් කාන්තාවන් වන අපි කතාකරනවා අඩුය. ඉතින් පුන්චි සටහනක් ඒ ගැන තැබිය යුතුයි කියලා හිතුනා.

කාලෙන් කාලෙට එන නන් මාදිලියේ වයිවර්ණ විලාසිතාවන්ට අනුරූපව ඇදුම් පැලදුම් ඇදි මම කාන්තා විලාසිතා පිලිබන්ද හොදාකාරවම දනිමි. කුඩා දා පටන් කලිසම් කොට ඇදි මා පසුව කොට ගවොමටත්, සායටත් හුරුවිමි. වැඩිවියට පත් වූ පසු සාම්ප්‍රදායක ශී ලාන්කීය මුස්ලිම් ගැහැණු දරුවෙකු සේ ඇදුම් අදින්න පුරුදුවිමි. ඒ දෙපා වැහෙන ඕනෑම ඇදමක් හැද දුහුල් සලුවක් කර ඔතාගැනීමය. 90 දශකයේ අද වාගේ වයිවර්ණ විලාසිතාවන්වලට ඔබින ඇදුම් සුලබව කඩසාප්පුවල නොවූ බැවින් හින්දි චිත්‍රපට වල දිස්වෙන සිත්ගන්නා සුළු කාන්තා ඇදුම් අම්මා ලවා මසා ඇදගත් තාරුණ්‍යයක් මට හිමිය. ඉතින් හිජාබය පලදින්න කියා මට තාත්තාවත්, සහොදරයන්වත්, මාමාලාවත් බල කළේ නැත. විවාහයෙන් පසුවත් මගේ ජීවන රටාව වෙනස් වූයේද නැත. තාත්තා තරමටම මා කැමති දේ සිහිබුද්දියෙන් තෝරා ජීවත් වන්නට මගේ සැමියා අදටත් මට ඉඩදී ඇත.

ඔයාකාරයෙන් නවීන විලාසිතා අනුකරණය කළ මම 2008දී හිජාබය වැලදගත්තේ ඒ පිලිබද සරල අවබෝදයක් ලද තැනය. මුස්ලිම් පාසලක උගත්තත්, පාසැල් නිල ඇදුමට සීමා වුනු මගේ හිජාබය පිලිබද මට දැනුමක් වූයේ නැත. උසස් පෙල හදාරද්දී පාසැලට අමතරව අනෙක් තැන්වලටත් මම හිජාබය පලදින්නට වූයෙමි. එහෙත් පාසල් කාලය නිම වෙනවාත් එක්කම ආයෙත් පුරුදු තාලයට වැටුනේ නිරතුරුවම හිජාබය පලදින්න තරම් හික්මීමක් නැති නිසාය. එන එන විලාසිතාවට සිත නැමෙන තාරුණ්‍ය එදත් හිජාබයේ වටිනාකම දැන උන්නේ නැත. ගතානු ගතික ලෙසින් මාද සිතුවේ හිජාබය මගේ ඉදිරි ගමන අඩාලකරනු ඇතැයි කියාය.

කොලුගැටයන්ගේ උසුළු විසුළු වලට මා ලක්වූයේ එතෙක් මෙතෙක් නොව. කොල්ලො ගණන් නොගන්නා මා ඔය දොඩවන වැඩපාලුවන්ගේ විහිළුවකට සිත රිදවාගත් කෙනෙකුද නොවිමි. බිය වූ තරුණියකද නොවිමි. ඔවුන් දෙස රවා බලා එලවාගත් කෙල්ලක් වූ නිසා මට ඇදුමකින් ආරක්ෂාවක් ලැබීම අවශය වූ දෙයක් නොවූ තරම්‍ ය. 
අන්තර්ජාල පහසුකම් ලැබීමත් සමගම නමට පමණක් මුස්ලිම් වූ මා මගේ ආගම පිලිබද කරුනු සොයා දැනගැනීමට පෙලෙබිමි. හිජාබය පිලිබද මා කරුනු සොයන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. එතෙක් මා සිතුවේ හිජාබය පැලදීම අනිවාර්‍යය කොට ඇත්තේ කාන්තාවකගේ සුන්දරත්වය වසා ගැන්මට කියාය. ලෝක සුරූපිනියන්ම ඔවුන්ගේ සුන්දරත්වය වසා නොගෙන උන් තැන මාවන් සරල තරුණියක මගේ රූපය වසාගන්නේ කිමදැයි නොහික්මුනු මනස තර්ක කරන්නට විය. එහෙත් කුරාණය පිලිබද යම් අවබෝදයක් ලද තැන මා විශ්වාස කරන අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත පරිදි ජීවිතය සකස් කරගන්නට වෙර දැරීමේ පළමු පියවර ලෙසින් මම හිජාබය වැලද ගතිමි.

ඛිමර්(ස්කාෆ්) හෙවත් හිස් පලදනාව පමණක් පැලදි මට ඉන් සෑහීමකට පත් වන්නට බැරිවිය. දෙවියන් නමදිද්දී දිගු ලෝගුවක් පැලදි මම නිවසින් පිට යන විට විලාසිතානුකූලව හිජාබය පැලදිමි. ඩෙනිමක් උඩින් ඇගලාගත් කුර්තාවකට සලුවක් හිස ආවරණය කරමින් අන්‍ය පිරිමින් ගැවසෙන තැන උන්නෙමි. එහෙත් මෙය දෙබිඩි පිලිවතක් යැයි සිත කියන්නට විනි.

ඒ අනුව කළු ලෝගුවට අනුවර්තනය වූයෙමි. කළු වර්ණය අනිවාර්‍ය නොවූවත් මා කළු වර්ණය තෝරාගන්නේ එය ලෝගුවකට කදිම වූ වර්ණයක් නිසාය. නිරතුරුවම හැද සිටින් වස්ත්‍රයට උඩින් මෙම ලෝගුව අදින්නට සිදුවන නිසා තද පැහැයන් අප තෝරා ගන්නේ අපේ පහසුව තකාය. හරියට පිරිමීන් තද වර්ණ සහිත කලිසම්, ලෝගු තෝරා ගන්නාක් සේය.

ඕනතරම් අය මා තෝරාගත් ඇදුම ඇදීමට තුඩුදෙන විද්‍යාත්මක හේතු පැහැදිලි කරාවි. එහෙත් මා මේ ඇදුම අදින්නේ ඒ විද්‍යාත්මක හේතු නිසා නොව. මා දන්නවා බොහෝ අය මුස්ලිම් කාන්තා ඇදුම පිලිබද විවේචනය කරනවා. ඒ විවේචනයන්ට එරෙහිව මුස්ලිම්වරු හේතු පැහැදිලි කරනවා. පිරිමියෙකුගේ ආශාවන් අවුස්සන්නට ගැහැණියකගේ හැඩරුවට හැකි වග අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත් පිරිමින්ගේ සිතුම් පැතුම් ආරක්ශා කිරීම වස් මා මගේ වස්ත්‍රය තෝරා නොගතිමි. ඒ තරම් දුර්වල මානසිකත්වයක් ඔවුනට තිබේ නම් විසදුම මගේ නිදහස සීමා කිරීම නොව. මා දන්නා පරිදි ඉස්ලාමය මගේ නිදහස අහුරන්නේ නැත. හිජාබය මුලින්ම අනිවාර්‍ය් වන්නේ පිරිමීන්ටය. සන්වරකම කියා දෙන කුරාණය පිරිමීන්හට මුලින්ම තහන්චි දමන්නේ අයාලයේ යන බැල්ම පහත හෙලන්න කියාය. සමස්ත පිරිමීන්ටත්, කාන්තාවන්ටත් බැල්ම පාලනය කරන්නට කුරාණය අණ කර ඇත. අපේ හිජාබයේ පලමු පියවර එයය. එසේ වූ කල පිරිමීන් පාපයේ නියැලීම වලකාලන්නට ගැහැනිය කූඩු කරන්නට ඉස්ලාමය ඉදිරිපත් වන්නෙ නැත. මගේ ඇවතුම් පැවතුම්වලට මා වග කිව යුතු අතර ඔවුන්ගේ ඇවතුම් පැවතුම් වලට ඔවුන් වගකිව යුතුය.

මා හිජාබය පලදින්නේ දෙවියන්ගේ අණක් පිලිපැදීම මිස විද්‍යාත්මක හේතු පදනම් කරගෙන නොව. මුස්ලීම් අප පස්වේලේ සලාතය ඉටු කිරීම අනිවාර්‍යය. අප එය ඉටුකරන්නේ විද්‍යාත්මක හේතු මත නොව. විද්‍යාත්මකව ගත් කල සලාතය, උපවාසය මිනිස් ගතට හා සිතට උචිත වග ඔප්පු කරන්නට විද්‍යාව අද සමත්ය. එහෙත් මුස්ලිම් අප පස් වේල නමදින්නේත්, මසක් පුරා උපවාසයේ යෙදෙන්නේත් ඒ හේතු මත නොව. ඉස්ලාමයේ පළමු වගකීම 'අල්ලාහ් දෙවියන් විශාස කිරීම්' සපුරාලීමටයි. ඉතින් මගේ හිජාබයත් ඒ විශ්වාසයට සාක්ෂි දරනවාක මිස වෙනයෙකුගේ චන්චල සිතුවිලි පාලනය කරන්න නොව. 
මගේ පින් මල්ලලට පිනක් එකතු කරගත යුත්තේ මාය. ඉතින් මගේ වස්ත්‍රය නිසා එකමෙක පිරිමියෙකුට හෝ වැරදි යමක් නොසිතී සිත පාලනය කරගත හැකි වූවානම්, ඒ අමතර පිනක් මිස ඔහුගේ නොමනා සිතුවිලි වලට මා පලි නැත. වරදේ බැදෙන්නා හට ලෝගුවක් නොව මහා පවුරක් තිබුනද වැඩක් නැත. ඒ සාවූ නොසන්ඩාලයෙකුගේ ගණයට සමස්ත පිරිමි ජාතියම දැමීමද පවකි. එවන් අය රැකීම වස් මුස්ලිම් කාන්තාව හිජාබය පලදින වග කියා හේතු දැක්වීමද වැරදිය. එය හිජාබය අල්ලාහ් වෙනුවෙන්, අල්ලාහ්ගේ අණට කීකරු වූ සකල කාන්තාවන්ටම කරන අසාදාරණයක්ය.

තවත් කරුණක්ද මතක් නොකරම බැරිය. ඒ හිජාබය පිලිබද විවේචනයන් කර අරින්නට යොදාගන්නා ලොලිපොප්, ලැප්ටොප් සහ මුතු බෙලි කතාවන්ය. කාන්තාව ඔය කියන ලෞකික වස්තූන්ට සමකිරීම කොතරම් බොලදද? මා දවටනයකින් එතූ ලොසින්ජරයක් නොව. හිජාබය නොමැතිව ඉන්නා තැන මගේ සැමියා මැස්සෙක් සේ කෙල පෙරාගෙන ඉන්නේ නැත. අප යොදාගන්නා උදාහරණයන් විචාර බුද්දියෙන් බැලූ තැන අවබෝද වන්නේ මෙලෙසිනි. හිජාබය පිලිබද දනාත්මක චින්තනයන් පතුරනවා කියා අප කරන්නේ සත පහක වටිනාකමක් නැති අදහස් සමාජගත කිරීමය. 
ඉස්ලාමයේ මට දී ඇති ස්ථානය අති උතුම්‍ ය. මා ජීවත්වූ ආකාරය මත මගේ පියාගේ, සහෝදරයන්ගේ, සැමියාගේ සහ පුතුගේ ස්වර්ගයේ දොරටු විවර වෙන්නට අවස්තාව ඇතැයි ඉස්ලාමය කියන්නේ කාන්තාව ඒ තරම් ඉහල පෙලේ තබාය. ඒසා වූ මගේ තත්වය ලොසින්ජරයකට සීමා කරන්නේ කුමකටද?

ඉස්ලාමය ජීවන මාර්ගයකි. එය සරලය. සන්කීර්ණ කරන්නේ සුරන්ගනා කතා සේ එහිවන හැම කරුණක්ම පැහැදිලි කරන්නට උත්සාහ කරන්නට යෑමෙනි. කාන්තාවගේ වටිනාකම, ඇගේ ගෞරවය පිලිබද කතිකාවතක් ගොඩනගන්න මුතු බෙල්ලෝවත්, ලොලිපොප්වත් උපමා ලෙසින් ගත යුතු නැත.

කොටින්ම මා වන් බොහෝ කාන්තාවන් හිජාබය පලදින්නේ සිය කැමැත්තෙන්මය. මගේ කැමැත්ත පිලිබද බටහිර මාද්‍යයෙන් විචාරා හරියන්නේ නැත. මට හිතෙන දේ කුරුටු ගාන්න නිදහස දුන් මා ජීවිතයට අදාල පිරිමීන් රෙද්දක් ඔළුවේ ඔතාගන්නට බලකරන්නේ නැත. එසේ කරන්නට ඉස්ලාමයෙන් ඔවුනට අයිතියක්ද දී නැත. නිර්වස්ත්‍රව කාන්තාවකට පාරේ යන්න අයිතියක් ඇත්නම්, හිසේ සිට පාදාන්තය දක්වා ඇදුමකින් වසාගෙන යන්නත් කාන්තාවකට අයිතියක් ඇත. ආරක්ෂාව සහ අනන්‍යතාවය පිලිබද ප්‍රශ්නයක් වූයේනම් නිසි බලදාරීන් හට අනන්‍ය්තාවය ඔප්පු කිරීමට ඉස්ලාමය පූර්ණ නිදහස දී තිබේ. එසේ නොකර හිතුවක්කාර ලෙසින් අනෙක් ජනයාගේ ආරක්ෂාවට තර්ජනයක්, අපහසුවක් වීමද පවකි. කාටත් ප්‍රශ්නයක් නැති තැන, නීතියට පටහැනි නොවී, අවශ්‍ය තැන නීතිමය කටයුතු වලට බාදාවක් නොවන ලෙස මා මගේ හිජාබය පැලැන්දානම් කාටවත් ඒකෙන් ඇතිවන ප්‍රශ්නයක් ද නැත.

හිජාබය කියන්නේ මොකක්ද? මෙය කාන්තාවන්ට පිරිමීන් විසින් පැනවූ නීතියක්ද?

හිජාබය කියන්නේ කිටි කිටියේ ඇඟටම හිරවූ ඇඳුමක් හැඳ ඔළුව වසා ගැනීමද නොව. සැහැල්ලු ඇඳුමකට මතුපිටින් ලෝගුවක් සමගම හිස, ගෙල සහ පපු ප්‍රදේශය ආවරණය විය යුතුය. කුරාණය වහී මගින් පහල වීමට පෙර සිටම අරාබි කාන්තාවන් කොටු, එසේත් නැතිනම් ඝෘජුකෝණාස්‍ර හැඩයෙන් යුතු සළුවක් ගෙන එය හිස දවටා එහි සමාන්තරව පිහිටන කොන් දෙකකින් හිස පිටුපස ගැට ගසා ගැනීම පුරුද්දක්ව පැවතියා. එහෙත් ඔවුන් හිර ඇඳුම් සේම පපු ප්‍රදේශය නිරාවරණය වන ඇඳුම් ඇඳා. ඒ නිසාම කුරාණයේ හිජාබය පිලිබඳ වගන්තියේ සදහන් වන්නේ 
"විශ්වාස කරන කාන්තාවන්ට පවසන්න: පෙනෙන දේට අමතරව යමක් උලුප්පා පෙන්වීමෙන් වලකින ලෙසත් ඔවුන්ගේ ඛිමර්(ස්කාෆ්) එකින් පපු ප්‍රදේශය ආවරණය කරගන්නා ලෙසත්ය. (මේ මගේ පරිවර්තනය මිස පිලිගත් සින්හල පරිවර්තනයක් නොවන වග කරුණාවෙන් සලකන්න. වැඩි විස්තර උදෙසා කුරාණයේ 24:30,31 වගන්ති සහ 33:59 අද්‍යනය කරන්න)

මා තාරුණ්යයේ හැඳි සාම්ප්‍රදායක මුස්ලිම් ඇඳුම පැවත එන්නේ මේ වගන්තිය වරදුන තැනය. එනම් සමහරුන් පවසන්නේ කුරාණය අණ කරන්නේ සංවර ඇඳුමක් සමග පපු ප්‍රදේශය සළුවකින් වසා ගන්නා ලෙස කියනා වගය. එහෙත් යමෙක් යම් දෙයක් මුල ඉඳන් කරනවා නම් ඒ ගැන ආයෙත් සඳහනක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අනික කුරාණයේ සඳහන්වන ඛුමර් වචනය ඛිමර්(ස්කාෆ්/හිස් පලඳනාවා) යන්නෙහි බහු වචනයි. එනම් ඛිමරය යනු හිස් ආවරණයට යොදා ගත් වචනයයි. හිස් ආවරණයේ අග කොටසින් පපු ප්‍රදේශයද වසා ගන්නට තමා මේ වගන්තියෙන් කියන්නේ. හැට්ටයක් සායක් ලෙසින් කවුරුත් භාවිතා නොකරන නිසා හැට්ටය කිවූ සැනින් අපට පැහැදිලි වෙනවා ශරීරයේ කිනම් ප්‍රදේශයක් වැසෙන්නට එය අඳිනවාද කියා. ඒ නිසයි කුරාණය ඛිමර් කියා පමණක් සඳහන් කොට ඉන් පපු ප්‍රදේශයත් වසා ගන්න කියා අණකරන්නේ. එය පටලවාගත් අපේ මුතුන් මිත්තන් හිස් ආවරණය පසෙක ලා ඉන් පපු ප්‍රදෙශය විතරක් වසාගන්නවා.

මේ අවබෝධය මා ලද තැන සළු පොටකින් පමණක් මුස්ලිම් අනන්‍යතාවය පෙන්නුම් කරනවා යැයි කියා සෑහීමකට පත්වෙන්න බැරි උණා. 
හිජාබය පිලිබඳ පූර්ණ අවබෝධයක් ඇතුව හැමෝම එය පලඳිනවා කියා කියන්න අමාරුයි. හරියට ඉස්සර ශල්වර් කමිසය ඇඳි මා ගෙල වටා සළුවක් ඔතා ගත්තා වගේ පාරම්පරිකව අතිනත මාරුවන පුරුද්දක් ලෙසිනුත් බොහෝ දෙනා හිජාබය පලඳිනවා. සමහරු විලාසිතාවක් හැටියටත් දැන් කළු ලෝගුව හා ඛිමරය පලඳිනවා. සමාජයේ තත්වයක් ලැබෙනවා කියා හෝ, අනෙක් අය කරන නිසා නොකර බැරිකමට හිජාබය පලඳින අයත් අප අතර ඉන්නවා.

හිජාබය පිලිබඳ මේ මා හැදින්වූයේ සරලවයි. ඊට වඩා පුලුල් මතෘකාවක් තමා හිජාබය කියන්නේ. බුර්කාව හෙවත් නිකාබය හිජාබයේ කොටසක්ද, නැද්ද යන්න වගේ හුගක් පුළුල් වූත් සංකූල වූත් මාතෘකාවන් රැසක් ඇති විශය පරාසයක් තමයි හිජාබය කියන්නෙ.
සාමාන්‍ය කාන්තාවක් වෙන මට ඒ හැම දේම හරි දැනුමක් නැතිව විස්තර කරන්න අමාරුයි. ඒත් මේ සරල අවබෝදය ලැබීමත් සමගම තමයි මම මගේ හිජාබය වැලඳ ගත්තෙ. ඒ පිටුපස පිරිමි පුළුටකගේ බලපෑමක් තිබුණේ නෑ. කොටින්ම කියනවානම් 2010 මම ලොගුව(අබායා) එක අඳින්න තීරණය කළ දා මට අද වගේ මතකයි. ඒ මගේ උප්න් දින දායි. අළුත ඉපදුනු පුතු හා සවස්වරුව ගත කරන්න ගමනක් යන්න මගේ සැමියා කතා කළ තැන මම ලෝගුවක් නැතුව(එතකොටත් මම ඛිමරය පලඳිනවා) එළියට යන්න බෑ කියල හිතුවක්කාර කමින් ගෙදරට වෙලා හිටියා. පසුව ඔහුට රෙදිපිලි කඩයකට ගොස් මට ලෝගුවක් අරං එන්න සිද්ධ උනා. කොටින්ම කියනවනම් මගේ නීතියටයි මගේ සැමියා එදා යටත් උනේ. ඉතිං හිජාබය පලඳින අප වන් කාන්තාවන් පිරිමි අණසකට යටත්ව දුක් විඳිනවා යැයි කවුරුත් සිතිය යුතු නැත. අනුකම්පා කළ යුතුද නැත. මේ ඇඳුම තෝරා ගත්තේ අපමය. දේවභක්තියෙන්, දෙවියන්ගේ අණ පිලිපැදීම වස් තෝරාගත් මගේ ඇඳුම පිලිබඳ වැඩියෙන්ම කතා කළ යුත්තේ මාය. මාවන් කාන්තාවන්ය. මෙයත් එක්තරා වූ ඇඳුමක් මිස අප අපව කොටු කරගත්තා නොව.
සැබෑය. එදා වෛවර්ණ විලාසිතාවන්ට ලොල් වූ මම මගේ ඉදිරි ගමනට හිජාබය බාධා වෙතැයි සිතුවෙමි. ගතානුගතික හණමිටි අදහස් ඇත්තියක වනු ඇතැයි කලහකාරී මසිත අනතුරු ඇඟ වූ වග ඇත්තය. එහෙත් මා වැරදි වග මේ දස වසර පුරා මම වටහා ගතිමි. මගේ සාර්තකත්වයට මගේ ඇඳුම බලපාන්නේ නැත. මගේ ස්ව උත්සාහය සහ දක්ෂතාවයන් ප්‍රමාණවත්ය. අද මට යම් සාර්ථකත්වයක් හිමි වූවා නම් ඒ මගේ අඟ පසඟ බලා ලැබුණක් නොව. මගේ මිතුරියන් මා ආශ්‍රය කරන්නේ මගේකමට මිස මගේ ඇඳුමට නොව.
මට මතකයි මුලින්ම මම හිජාබය පැලඳි දා මගේ මිතුරියක වූ සශිනි මගෙන් ඇසු මේවගේ ප්‍රශ්නයක්. "දැං අර ලස්සන කොන්ඩෙ භූ ගාලද?" ඈ සැබවින්ම උන්නේ මහත් වූ ප්‍රෙහෙලිකාවක් විසඳමිනි. හිජාබය කියන්නෙ හිස් පලඳනාවක් වගේ. තොප්පියක් දාන්න කොන්ඩෙ භූ ගාන්නේ නෑ නෙ. ඒ වගේ තමයි. හිජාබය පැලඳි අප අද්භූත ජීවී කොට්ඨාශයක් නොවන්නෙමු. වසර විසි පහක් පුරා මම නන් මාදිලියේ ඇඳුම් ඇන්දෙමි. ඒත් මේ තරම් සැහැල්ලු බවක් මට දැනුනේ නැත. එදා ඉදං අද දක්වා කොල්ලෙක් මට විහිළුවක් කළේ නැත. 'ගෝනි බිල්ලා' කියා කියූ අය නැතුවා නොව. එහෙත් අස්භ්‍ය විහිලුවක් කළේ නැත. ඉතිං පවසමි හිජාබයට වඩා තවත් කදිම ඇඳුමක් මටනම් තවත් නැත. වෙනස් අදහස් ඇති අය සුලබයි. ඔවුනට මා කියන්නකට එකඟ වන්නට බැරි බව මම දන්නෙමි. එහෙත් මේ ලොව පුරා ඇත්තේ විවිදත්වයය. රූපයෙන් විවිද වන අප, සිතුවිලිවලින්, ඇවතුම් පැවතුම් වලින් විවිද වූවාට වරදක් නැත. මට තවකෙකුට ඕනෑ පරිදි ජීවත් වන්නත්, තවෙකෙකුට මට ඕනෑ පරිදි ජීවත් වන්නත් බල කිරීම අසාධාරණය.


සෙනීෆා සනීර්

උපුටා ගැනීම - https://www.facebook.com/permalink.php?id=224046357699022&story_fbid=1019049278198722


Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added May 13

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර