ඉස්ලාම් යනු කුමක්ද? (කොටස - 01) from ibnujameel's blog

ඉස්ලාම්යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්,

1.    අවනත වීම

2.    සාමය

සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම ඉස්ලාම් නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.

අප ජීවත් වන මෙම විශ්වය ගැන මදක් විමසා බලමු. විශ්වයේ ඇති සියළු දෑ නිසි පිළිවලකට අනුව ක‍්‍රියාත්මක වීම දැකිය හැකිය. ඉර සඳ ඇතුළු ග‍්‍රහවස්තු සියල්ල යම් කිසි දිව්‍යම න්‍යායකට අනුව ක‍්‍රියාත්මක වේ. මේවා සියල්ල නොවෙනස් කළ හැකි න්‍යාය ධර්මයකට අනුව ක‍්‍රියාත්මක වේ. ඉස්ලාමීය පරිභාෂිතයෙන් කියනවා නම් ඒවා සියල්ල ඒකක දෙවියන් වහන්සේගේ අණ අල්පමාත‍්‍රයකින් හෝ කඩ නොකර සහමුලින්ම උන් වහන්සේට අවනත වී ක‍්‍රියාත්මක වෙයි.


මේ ආකාරයටම විශ්වයේ ඇති කුඩාම වස්තුව වන පරමාණුවක් ගැන සලකා බලන කළ එහි නෂ්ටිය වටා කුඩා අංශුවක් වන ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. මේ කරුණු අධ්‍යනය කිරීමේදී අපට වටහාගත හැකි කරුණ නම් විශ්වයේ විශාලම අංශය වන ග‍්‍රහ වස්තුන්ගේ සිට කුඩාම අංශුව වන පරමාණුවෙනුත් කොටසක් වූ ඉලෙක්ට්‍රොනය දක්වාම ඒවායේ මැවුම් කරුවානන් වන සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙන් ඒවාට ලැබී ඇති අණට කීකරු වී ඒවා අල්පමාත‍්‍රයකින් හෝ කඩ නොකර ක‍්‍රියාත්මක වන බවයි.

මේ මිහිතලය මත ඇති ගස් කොලන් සත්වයින් පක්‍ෂීන් ඇතුළු ජීවී හා අජීවී සියල්ල මේ ආකාරයටම ස්වභාව ධර්මය නම් දිව්‍යම න්‍යායට (ඉස්ලාමයට) අනුව, නියතියනකට අනුව ජීවත් වේ. එනම් මේවා සියල්ල ඒවායේ මැවුම්කරුවානන් මෙන්ම පාලකයානන් ද වන සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට මුළුමනින්ම අවනත වී ජීවත් වෙති.

මනුෂ්‍යයාගේ ජෛව විද්‍යාත්මක පැත්ත ගැන සලකා බලන විටත් අපට වටහගත හැක්කේ කුඩා ‍සෛලයේ සිට හෘද වස්තුව මොලය ඇතුළු සියලූ කායික ඉන්ද්‍රීයයන් ද දෙවියන් වහන්සේගේ නියමයට යටත් වී අවනත වී ක‍්‍රියාත්මක වන අතර සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නියමය අල්පමාත‍්‍රයකින් හෝ කඩ නොකරන බවයි.

ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ මේ මිහිතලය මත ඇති ඉතාම කුඩා අංශුව වන පරමාණුවේ සිට ඈත අහසේ දිළිසෙන මන්දාකිණි ඉර සඳ ග‍්‍රහ වස්තූන් අහස පොළොව ඇතුළු සියළු අභ්‍යවකාශ වස්තුන් සර්වලධාරියා ද සියල්ල දන්නාද වන ඒකක දෙවියන් වහන්සේගේ නියමයට සහමුලින්ම අවනත වී සිටින නිසා ඒවා සියල්ල ඉස්ලාම් වන බවයි. මේ අයුරින්ම මෙලොව ඇති ජලය තාපය කදු ගස් වැල් සිවුපාවුන් අතුළු (මිනිසුන් හැර) ජීවී හා අජීවී සියල්ල ඒකක දෙවියන් වහන්සේගේ නියමයට අල්පමාත‍්‍රයකින් හෝ පිටුපා නොයමින් මුළුමනින්ම අවනත වන නිසා ඒවා සියල්ල ඉස්ලාම් වේ.

මෙසේ මිනිසා හැර මේ පෘතුවිය මත ඇති ජීව අජීව සියල්ල තම බල මහිමයෙන්ම ඉස්ලාම් බවට (දෙවියන් වහන්සේට යටත් වන තත්වයට) පත් කළ සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේ මිනිසාට පමනක් විචාර බුද්ධියත් ඥානයත් දායාද කර, යහමග හෝ අයහමග තොරා ගැනීමේ නිදහසද ලබාදී තම විචාර බුද්ධිය භාවිතා කර අයහමගෙන් ඈත් වී යහමග තොරාගෙන සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට මුළුමනින්ම අවනත වන ඉස්ලාමය නම් යහමගෙහි ජීවත් වන මෙන් අණ කළ සේක.

මො‍ලොව ප්‍රථම මිනිස් යුවල වන ආදම්හා ඒවව මවා මෙලොවට යැවූ දා සිට ඒ දෙදෙනාට හා ඔවුන්ගෙන් ව්‍යාප්ත වූ මෙම මුළු මහත් මිනිස් සංහතියටම විශ්වයාධිපති ඒකක දෙවියන් වහන්සේ ලබාදුන් පණිවිඩය වන්නේ ඒකක දෙවියන් වහන්සේ වන ඔහුට පමනක් නැමදුම් කර ඔහු විසින් ලබාදුන් දිව්‍යම නීතියට පමනක් අවනත වන ලෙයසි. මෙම දිව්‍යම නීතිය මිනිසාට දැනුම් දීම සඳහා මිනිසුන් අතරින්ම යහපත් පුද්ගලයින්ව දෙවියන් වහන්සේ විසින් අනාගත වක්තෘවරුන් (නබිවරුන්) වශයෙන් තොරා පත්කර එතුමන්ලාට දේව පුස්තකය ද පිරිනමන ලදි. මෙම අනාගත වක්තෘවරුන්ගේ මඟ පෙන්වීමට අනුව දෙවියන් වහන්සේට සහමුලින්ම අවනත වී දේව පුස්තකය මගින් අණ කරනු ලබූ දිව්‍යම නීතිය පිළිපදිමින් ජීවත් වීමට ඉස්ලාම්යැයි කියනු ලැබේ. මෙසේ ජීවත් වන්නා මුස්ලිම්” (ඉස්ලාම් නැමැති කාර්ය ඉටුකරන්නා) යැයි හඳුන්වනු ලැබේ. මෙසේ දිව්‍යම නීතියට අවනත වීම තුලින් සාමය උදාකර ගැනීම ඉස්ලාම් වේ.

ලොව ඇති අනිකුත් ආගම් හා දර්ශන ගැන මදක් විමසා බැලූ විට අපට වටහාගත හැකි කරණක් නම් ඒවා සියල්ල යම්කිසි පුද්ගලයෙක් හෝ ප‍්‍රදේශයක සමාජයක නාමයෙන් ව්‍යවහාරය වීමයි. නිදසුනක් ලෙස ක්‍රිරස්තියාණි ආගම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද, බෞද්ධාගම ගෞතම බුදුන් වහන්සේගේ නාමයෙන් ද ව්‍යවහාරය වේ. හින්දු ආගම ඉන්දියාවේ හින්දු සමාජයෙන් බිහි වූ නිසා හින්දු යන නමින් ද යුදෙව් ආගම යූදියා නැමැති රටේ යූදා නම් ගෝත‍්‍රයෙන් බිහි වූ නිසා ඒ නමින් ද හඳුන් වනු ලැබේ. නමුත් ඉස්ලාම් දහම කිසිඳු පුද්ගලයෙකුගේ හෝ රටක, සමාජයක නමින් ව්‍යවහාරය නොවේ. දේව නීතියට සහමුලින්ම යටත් වී ජීවත් වන මෙන් අණ කරන මෙම දිව්‍යම දහමට ඉස්ලාම් යන අර්ථවත් නම තබන ලද්දේ සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ් විසින්ම යි. මේ ගැන අවසාන දේව පුස්තකය ද කිසිඳු විකෘති කිරීම් වලට ලක් නොවූ එකම දේව පුස්තකය ද වන අල්-කුර්ආනයේ සර්වබලධාරී දෙවියන් වහන්සේ මෙසේ පවසයි. අද දින ඔබලා වෙනුවෙන් ඔබලාගේ ආගම මම සම්පූර්ණ කළෙමි, ඔබලා වෙත මාගේ අනුග‍්‍රහයන් ද සම්පූර්ණ කළෙමි, තවද ඉස්ලාමය ඔබලා සඳහා ආගම වශයෙන් තෝරාගෙන ඇත්තෙමි.” (අල් කුර්ආන්5-3)

මෝසෙස් තුමා හෝ ඊශ‍්‍රායීල්වරුන් වෙත පැමිණි කිසිඳු අනාගත වක්තෘවරයෙක් තම වක්තෘ මෙහෙය ඉටුකරන විට යුදෙවි ආගම යන නම භාවිතා කළ බව යුදෙව් ආගමික ග්‍රන්ථයන් වන තෝරා(කිතුනු බයිබල‍ය පැරණි ‍‍‍තෙස්ත‍‍මෙන්තුවයි), ටැල්මුඩ් හෝ මික්නාෂ් වල කොතැනකවත් සඳහන් නොවන අතර යුදෙව් ආගම නැමැති පදය බයිබල් ශබ්ද කෝෂයේද නොමැත. එසේම යේසුස් වහන්සේ ද තම ආගම ක‍්‍රිස්තියාණී කියා හෝ තම අනුගාමිකයින්ව ක‍්‍රිස්තියාණියින් කියා හැඳින් වූ බව ද බයිබලයේ කිසිම තැනක සඳහන් නොවේ. ක‍්‍රිස්තියානීන්යන වචනය ප‍්‍රථමයෙන්ම භාවිතා කළේ අන්තියෝක් නම් ස්ථානයේ බවයි පහත බයිබල් වාක්‍යයෙන් පැහැදිලි වන්නේ.

ගෝලයන්ව කි‍්‍රස්තියානීන් ලෙස පළමු වරට හැඳින් වූයේ අන්තියෝකියේදී ය.

(අළුත් ගිවිසුම ක‍්‍රියා 11-26)

ඉහත බයිබල් වාක්‍යයට අනුව ක‍්‍රිස්තියාණි නැමති පදය යේසුස් වහන්සේට බොහෝ කලකට පසු ව්‍යවහාරයට ආ වචනයක් බව පැහැදිලිය. මෙම තත්වය කිතුනු දහම පදනම් කරගෙන හුවා දැක්වූවද ඉස්ලාම් හැර අනිකුත් සියලූ දහම්වලට අත් වූ ඉරණම මෙයයි. ඒ අනුව පැහැදිලි වන කරුණ නම් අනාගත වක්තෘවරු දේශනා කර අත්තේ දෙවියන් වහන්සේට අවනත වී උන්වහන්සේට පමණක් නැමදුම් කර උන්වහන්සේගේ අණ පණත් හා නීති නියෝග අනුව ජීවත් වන ලෙයසි. එනම් ඉස්ලාමයට අනුව ජීවත් වන ලෙයසි. මෙහිදී ඉතාමත් වැදගත් කරුණක් දෙස අපි අවධානය යොමුකළ යුතුයි.

එනම් මුස්ලිම් නොවන බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සත් වන ශත වර්ෂයේ සෞදි අරාබියේ මක්කා නගරයේ ජීවත් වූ මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා වන බවයි. නමුත් සත්‍ය නම් මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයාණන් නොව එම පිවිතුරු දහම ලොවට දේශනා කළ අනාගත වක්තෘ දම්වැලේ අවසන් පුරුකය යන්නයි. ඇත්ත වශයෙන්ම විශ්වයේ අධිපති ඒකක දෙවියන් වහන්සේ වන සර්වබලධාරී අල්ලාහ් විසින් ඉස්ලාම් දහම මුලින්ම දෙනු ලැබුවේ මෙලොවේ ප‍්‍රථම මිනිසා ද ප‍්‍රථම අනාගත වක්තෘවරයාද වූ ආදම් (අ‍ලෛ) තුමාට යි. එතුමාගෙන් පටන් ගෙන මෙලොවට ආ නෝවා(නූහ්) එබ‍්‍රහාම් (ඉබ්රාහීම්) දාවිත් (දාවූද්) මෝසෙස් (මූසා) යේසුස් (ඊසා) ඇතුළු සියළු අනාගත වක්තෘවරුන්ගේ ආගම වූයේ ද ඉස්ලාම යයි. මේ ආකාරයට මේ මිහිතලය මත ඉස්ලාම් නැමැති විශ්වයාධිපති ඒකක දෙවියන් වහන්සේට අවනත වීමේ පිවිතුරු දහම ස්ථාපිත කිරීම සඳහා උන්වහන්සේ විසින් ලක්‍ෂයකටත් අධික අනාගත වක්තෘවරුන්ව තෝරා පත්කර ඔවුන්ට පුස්තකය ද ලබා දෙන ලදී. නමුත් එක් අනාගත වක්තෘවරයෙක් ඉස්ලාමය නිවැරදිව ස්ථාපිත කර පුස්තකය ද ජනතාව අතරට පත් කොට මිය ගිය පසු එම අනාගත වක්තෘවරයාව දෙවියන් වහන්සේගේ තත්වයට සමාන කර එතුමාට වැඳුම් පිඳුම් කිරීමත් එතුමා විසින් දෙවියන් වහන්සේගෙන් ලබාදුන් දේව පුස්තකයට මිනිසාගේ අදහස් ඇතුළු කොට එහි දිව්‍යම භාවය කෙලසීමටත් එම සමාජය ඉදිරිපත් වූහ. ඉන්පසු නැවතත් තවත් අනාගත වක්තෘවරයෙකුගේ අවශ්‍යතාවය පැන නැගුණි. යළිත් තවත් අනාගත වක්තෘවරයෙක් පැමිණ නිවරදි ඉස්ලාමය ස්ථාපිත කළ පසු එතුමාටද කලින් අනාගත වක්තෘවරයාගේ ඉරණම අත් විය. මෙසේ දේව පුස්තකයට මිනිස් අදහස් ඇතුළු කිරීමත් එහි දිව්‍යම භාවය කෙලසීමත් මිනිසා ඉතිහාසය පුරාවටම තම සිරිතක් කර ගත්තේ ය. වර්ථමාන‍යේ ලොව දකින්නට තිබෙන සියළු ආගම් (ඉස්ලාම් හැර) පෙර සමාජවලට සර්වබලධාරී දෙව්යන් වහන්සේ විසින් අනාවර්ණය කරන ලද පුස්තකයන් මිනිසුන් විසින් විකෘති කිරීම්වලට ලක්‍කර මිනිස් අදහස් ඇතුළු කළ පසු ඒවා විවිධ ශාස්තෘවරුන්‍ පදනම් කරගෙන ව්‍යවහාරයට ගැනුණු දර්ශනයන් වේ.


Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment