දේව වාදයට එරෙහි මතවාද from Ibnu Saheer's blog

දේව විශ්වාසය ලොව සෑම දහමක ම හා සමහරක් දර්ශනයන් තුල ද දකින්නට තිබෙන පොදු කාරණයකි. එක් එක් ආගම්වල ඉගෙන්වීම අනුව දේව විශ්වාසය විවිධ ස්වරූප ගත්තද සෑම කාලයකම දේව විශ්වාසය නම් සංකල්පය ලොව පැවතුණි. නමුත් මෙම දේව සංකල්පය සෑම කලකම සෑම දහමක දර්ශනයක ම එක සමාන නොවුණි. සමහරක් ආගම් බහුදේව සංකල්පයක් පවසන විට තවත් සමහරක් ආගම් ඒක දේව සංකල්පයන් ඉගෙන්වීම ලොව දක්නට ලැබේ. මේ ආකාරයට එකින් එකට පරස්පර මතවාද ගණනාවක් සමාජය තුල පැවතීම හේතුවෙන් පොදු ජනතාව තුල මේ විෂය හා ආගම් පිලිබදව ඇත්තේ අවුල්සහගත තත්වයකි. මෙවැනි පසුබිමක ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය කුමක්ද?. යන්න සමාජයට පැහැදිලි කිරීමේ වගකීම යහමග අඩවිය ට ඇත. ඒ අනුව ලොව පවතින දේව සංකල්පයන් හා එයට එරෙහිව එල්ලවන වාදයන් මොනවාද? යන්නත්, ඉස්ලාම් පවසන දේව සංකල්පය මේ සියල්ලෙන්ම වෙනස් වන්නේ කෙසේද? යන්නත් විවිධ මාතෘකාවන් ඔස්සේ මෙතැන් සිට මෙම අඩවිය තුල පෙලගසන්න අදහස් කරමි.


දේව වාදය නොඑසේනම් සංකල්පයට එරෙහි වාදයන්


දෙවියන්, විනිශ්චය දිනය, සුවර්ගය, අපාය යනුවෙන් තමාට තමාම වැටකඩුලූ යොදා ගන්නවා මිස ඒවාට කිසිදු පදනමක් හෝ සාක්‍ෂියක් නැත.

මේක නවීන ලෝකයක් මෙහි විද්‍යාව ඉතා දියුණුයි. මෙහි දකින්නේ නැති, විදින්නේ නැති, දැනෙන්නේ නැති කිසිවක් විශ්වාස කල නොහැක. බෝහෝ සියවස් ගනනක් ගෙවී ගියත් තවම විද්‍යාව දෙවියන් සොයාගැනීම හෝ ඒ පිලිබදව සාක්‍ෂියක් පවා සොයාගැනීමට අපොහොසත්. 

මෙම විශ්වය යම් ශක්තියක් විසින් නිර්මාණය කල එකක් නොවේ. එය ඉබේම එසේත් නැත්නම් ස්වයං නිර්මාණයකි. ස්වයංව නිර්මාණය වු විශ්වය පාලනය සදහා කිසිදු ශක්තියක් අවශ්‍ය නොවේ. එමනිසා දෙවියෙක් යන්න මිත්‍යාවක් එසේ සිටියත් විශ්ව පාලනයට අවශ්‍ය නැත. දෙවියෙක් සිටිනවා යන්න විශ්වාස කිරීම පවා මිත්‍යාවක්

මිනිසාගේ දියුණුවට පලමු හතුරා ආගම් සහා එම ආගම  අනුකුල පවතින දේව විශ්වාසන් වේ. 

මෙම ලෝකය කුමක්දෝ දේව බලයක් පරිපාලනය කරමින් සිටින බව මිනිසා විශ්වාස කරයි. එම ශක්තිය මනුෂ්‍යයාගේ ක්‍රියාවන් අනුව නිරයත්, සුවර්ගයත් ලබාදෙන්නත් සමත් බව විශ්වාස කරයි. මෙවැනි විශ්වාසයන් පවතිනතාක් දුප්පත්කමත්, දුකත්, නොදැනුවත්කමත් මෙලොවින් තුරන්නොවේ. 

නැති දෙවියෙක් වෙනුවෙන් මනුෂ්‍යා තම වස්තුවත් දක්‍ෂතාවයත් විනාශ කරගනී. මෙය තවත් පිරිසක් ඉදිරිපත් කරන මතයයි.


“දෙවියෙක් නැතැයි මා නොපවසමි මන්ද එය මා නොදනිමි. නමුත් දෙවියෙක් සිටිනවා යයි මා විශ්වාස නොකරමි. මන්ද එයට අවශ්‍ය සාක්‍ෂි මා හමුවේ නැත”.


මෙය ඇමරිකාවේ අදේව වාදයේ පෙරලියක් ඇති කල ඉංගර්ෂල් නැමැත්තාගේ මතයයි. මේ ආකාරයට අතීතයේ සිට වර්ථමානය දක්වා දේව විශ්වාසය අභියෝගයට ලක් කරමින් තමන් බුද්ධිමත් යයි හදුන්වාදෙමින් විවිධ පුද්ගලයින් විවිධ මත විවිධ කාලවල දී ඉදිරිපත් කර ඇත. අනාගතයටත් එය එසේම වනවා නොඅනුමානය. නමුත් එක් යථාර්ථයක් මෙහිදී අවබෝධ කරගත යුතුව ඇත. එනම්,

මානවයාගේ පැවැත්ම ඇරඹු කල සිටම මිනිසා දේව විශ්වාසයේ පැවත ආ බව අතීතය දෙස බැලීමේදී පැහැදිලිව ම පෙනෙන කාරණයකි. දේව විශ්වාසය නොමැති වකවානුවක් අතීතයේ දක්නට නොලැබේ. ඈත අතීතයේ සිටම ගස්, ගල්, හිරු, ගින්දර… වැනි විවිද දෑ සදහා වෙන වෙනම දෙවිවරුන්ද පසුව විවිධ හැඩරුවින් විවිධ දෙවිවරුන්ද ඊටත් පසුව බහුදේව හා ඒකදේව වාද නමින් දෙවියන් පිලිබදව විවිධ වාදයන්ද සමාජය හමුවේ පැවතුනි. මනුෂ්‍යා සෑම කලකම අනුමත කල දෙයකි දේව ව්ශ්වාසය. එවැනි විශ්වාසයක් පිලිගැනීමට වඩා ප්‍රතික්ෂේප කිරීමටයි පදනමක් සාක්‍ෂියක් අවශ්‍ය වන්නේ.  ඕනෑම කාලයක ලෝකමතයට විරුද්ධව තවත් මතයන් ඉදිරිපත්වීම ලෝක ස්වභාවයකි. මෙහිදී දේව විශ්වාසයට විරුද්ධව ඇතිවු මතයයි අදේව වාදය. ආරම්භයේ අනවබෝධයෙන් පාරම්පරික ආගම් පිලිපැදීමේ අවසාන ප්‍රතිපලය වුයේ මිනිසා එම පාරම්පරිකආගම් තුල අසරණ වී අදේව වාදයට තල්ලූවීමයි. එසේ දේව විශ්වාසයෙන් බැහැරවු මනුෂ්‍යා තම මතය සාධාර්ණීකරනය කිරීම සදහාත්, වර්තමානයේ අදේව වාදය ජනයා තුල පැතිරවීම සදහා වත්මන් පිරිස උපයෝගි කරගත්තේ විද්‍යාවයි. මේ හේතුව නිසා මෙහිදී ප්‍රථමයෙන් විමසා බැලිය යුතු කාරණය වන්නේ ‘දේව සංකල්පය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද?‘ යන්නයි. එසේනම් මීලඟ ලිපිය තුලින් එම විෂය බුද්ධිමත්ව හා අන්තවාදී නොවී විමසා බලමු. 


දේව වාදය විද්‍යාව තුලින් ප්‍රතික්ෂේප වන්නේද? - දේව විශ්වාස 02



ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment