අල්ලාහ් (දෙවි) සිටින්නේ කොහිද? - දේව විශ්වාසය 06 from Ibnu Saheer's blog

ඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙක්ම අනිවාර්‍ය විශ්වාස කලයුතු කරුණූ කිහිපයක් ඇත. ඒ අතුරින් පලමුවැන්න වන්නේ දෙවියන් පිලිබදව වූ විශ්වාසයයි. මෙම විශ්වාසය ‘අල්ලාහ් නම් දෙවියෙක් සිටී, ඔහුයි අපගේ එකම දෙවියා‘ යනුවෙන් වූ සරල විශ්වාසයක් නොවේ. එසේ සරලව ‘දෙවියෙක් සිටී‘ යයි විශ්වාස කිරීම සැබෑ වූ දේව විශ්වාසයක් නොවේ. එවන් වූ විශ්වාසයක් එදා ඉස්ලාම් ප්‍රකාශ වූ මුල් සමාජයේ නොඑසේනම් ‘ජාහිලියා‘ සමාජයේ ද පැවතුණි. එවන් සමාජයකට නැවත මෙම දේව විශ්වාසය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නොපැවතුණි. විටෙක වර්ථමානයට වඩා හොදින් එම විශ්වාසය එදා පැවතුණි. නමුත් එලෙස (අල්ලාහ්) දෙවි පිලිබද විශ්වාසය ඔවුන් අතර තිබූ පමණින් ඔවුන් මුස්ලිම් වුයේ නැත. එය පහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් ඔබට හොදින් අවබෝධ කරගත හැකි වේ. එනම්,



…(මුස්ලිම් නොවන) ඔවුන් නැවෙහි නැඟ (යන අතර) සුළ‍ඟ හේතුවෙන් මුහුදෙහි වේගයෙන් ඇදී යන විට සතුටට පත්වන අතර චණ්ඩමාරුතයක් හමන්නට පටන‍්ගෙන විවිධ දිශවෙන් මුහුදු රළ ද ඔවුන් වෙත ඇදී එන විට ‘මෙයින් ගැලවීමට කිසිදු මඟක් නැතැයි’ සිතෙන කල්හි ‘අපේ හිමියනේ! මෙයින් අපව ආරක්ෂා කර ගතහොත් නියත වශයෙන්ම අපි ඔබට සදාකල් ස්තූති වන්තව සිටින්නෙමු’ යයි කැළඹුණූ සිතෙතිව අල්ලාහ් (දෙවියන්ට) ඉතා අවනතව ප්‍රාර්ථනා කරන්නෝය.”


ශුද්ධ වූ කුර්ආනය 10-22


ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් පවසන්නේ අල්ලාහ් දෙවියන් පිලිගෙන ඔහුට අවනතව ජීවත් වූ මුස්ලිම් සමාජයේ ක්‍රියා කලාපයන් නොව ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කල ජාහිලියා (අඥාන) සමාජයේ ක්‍රියා කලාපයන්ය. මේ අනුව පැහැදිලි වන්නේ ඉස්ලාම් ප්‍රතික්ෂේප කල ඒ අඥාන සමාජයේ පවා අල්ලාහ් (දෙවි) පිලිබදව දැඩි විශ්වාසයක් පැවතී බවයි. ඒ හේතුව නිසායි තීරණාත්මක අවස්ථාවන් හි ඔවුන් අල්ලාහ් (දෙවි) පිහිට පතන්නට මුල් වුයේ. එවන් වූ  ජාහිලියා සමාජය සමඟ වර්ථමාන මුස්ලිම් සමාජයේ ක්‍රියා කලාපයන් මොහොතක් බුද්ධිමත් ලෙස සංසන්දනය කර බලන්න. වර්ථමානයේ බොහෝ මුස්ලිම්වරුන් තීරණාත්මක අවස්ථාවල අල්ලාහ් (දෙවි) අමතක කොට විවිධ වූ මිත්‍යාවන් පසුපස දිවයෑම සුලභ දසුනකි. එයට හේතුව එදා ජාහිලියා සමාජය අල්ලාහ් (දෙවි) අවබෝධ කරගත් ආකාරයෙන්වත් වර්ථමාන මුස්ලිම් සමාජය අල්ලාහ් (දෙවි) අවබෝධ කරගැනීමට අපොහොසත් වීමයි. මෙහි විපාකය ආකාර දෙකකින් සමාජය තුල දකින්නට ඇත. එනම්,


> මුස්ලිම් සමාජයට අල්ලාහ් (දෙවි) පිලිබදව නිසි අවබෝධයක් නොමැති වීම තුල ඔවුන් විවිධ මිත්‍යා විශ්වාසයන් තුල කොටුවීම.


> මුස්ලිම් සමාජයේ ක්‍රියාකලාපයන් තුලින්, ඉස්ලාම් දකින මුස්ලිම් නොවන සහෝදර ප්‍රජාව අල්ලාහ් (දෙවි) පිලිබදව විකෘති මතවාදයන් ගොඩනගාගෙන ඉස්ලාමීය දේව සංකල්පය විවේචනය කිරීම.


මේ අනුව අල්ලාහ් (දෙවි) නිවරුදිව හදුනා ගැනීම මුස්ලිම් මෙන්ම මුස්ලීම් නොවන සමාජයටත් අනිවාර්‍ය මෙන්ම කාලීන අවශ්‍යතාවයකි.  ඉස්ලාම් පවසන දේව සංකල්පය ‘අල්ලාහ් නම් දෙවියෙක් සිටී‘ යයි විශ්වාස කරන සරල කාරණයක් නොවන බව ඉහතින් ද අවධාරණය කලෙමි. අල්ලාහ් (දෙවි) විශ්වාස කරනවා යනු ඔහුගේ බලය, හැකියාව, ශක්තීන්... වැනි  ගුණාංග 100ක්  අවබෝධයෙන් යුතුව පූර්ණ ලෙස විශ්වාස කිරීමයි.  

ඉස්ලාම් දහම ඒක දේව සංකල්පය මත ගොඩනැඟුණූ එය දැඩිව අවධාරණය කරන දහමකි. (අල්ලාහ් (දෙවි)) ඔහුගේ ගුණාංග හා ශක්තීන් ඔහුගේ මැවීමන්ට ආරූඪ කිරීම හෝ සමාන කිරීම දැඩිව ප්‍රතික්ෂේප කරයි. එය ඉස්ලාම් (ශිර්ක්) මහා පාපයක් ලෙස හදුන්වයි. එම පාපයෙන් සමාජය මිදෙන්නට නම්, දෙවියන් පිලිබදව පූර්ණ දැනුමක් සමාජයට තිබිය යුතුය. ඒ දැනුම සමාජයට ලබාදීමට යාමේදී සමහරක් මුස්ලිම්වරුන්ට මෙන්ම මුස්ලිම් නොවන බහුතරයකට මතුවන පලමු පැනය ‘අල්ලාහ් (දෙවි) සිටින්නේ කොහිද?‘ යන්නයි.  මෙම මාතෘකාව ඉස්ලාමීය ලෝකය කථා කිරීමට මැලි බවක් දක්වයි. මෙය ශ්‍රී ලංකාව වැනි බහු ආගමික හා බහු දේව විශ්වාසයන් පවතින රටක අනිවාර්‍යයෙන්ම කථා කලයුතු විෂයක් යන්න මාගේ විශ්වාසයයි. එසේම මෙම විෂය මෙලෙස යහමග තුල සාකච්චාවට ගැනීමට බලපෑ තවත් හේතුකාරණා කිහිපයක් ඇත. ඒ පසුගිය කාලවල අප රට තුල ඉස්ලාම් පවසන අල්ලාහ් (දෙවි) පිලිබදව වූ විශ්වාසය අන්තර්ජාලවල හා පුවත්පත් වැනි ලිඛිත මාධ්‍යයන් තුල සාකච්චා වූ හා සමාජගත වූ ආකාරයයි. නිදසුන් කිහිපයක් පවසන්නේ නම්,


මුස්ලීම් නොවන පිරිස් පවසන ආකාර...


…හඳට මිනිසා ගොඩ බැසීමෙන් ඉස්ලාමීය දේවවාදය මුසාවක් වී ඇත...

…මුස්ලිම්වරුන්ගේ දෙවියන් සිටින්නේ හදේ එමනිසයි ඒ පිරිස හඳට මුල්තැන දෙන්නේ…


මුස්ලීම්වරුන් අතුරින් සමහරක් පවසන ආකාර...


...අල්ලාහ් (දෙවියන්) යනු මායාවක්, ඔහුට නිශ්චිත තැනක් හෝ ස්වරූපයක් නැත. ඔහු හැම තැනම සෑම ස්වරූපයකින් සිටී. අපි දකින සියල්ල අල්ලාහ් (දෙවි) ම වන්නේය…

මේ මුස්ලිම් සමාජයේම එක්තරා කල්ලියක් සමාජය තුල වපුරන මතවාදයකි. (මෙය ග්‍රීකවරුන් තම දෙවියන් සම්බන්ධයෙන් ඇති කරගත් මතවාදයක් වන අතර එය මුස්ලිම් සමාජය ද බිලිගෙන ඇත) 


මෙවැනි මතවාදයන් රාශියක් දිනපතා සමාජය තුල අසන්නට හා දකින්නට ලැබේ. මෙවැනි කාරණා රාශියක් හේතුකොටගෙන පලමු පියවර ලෙස ‘අල්ලාහ් (දෙවි) සිටින්නේ කොහිද? ‘ යන කාරණය වෙත දැන් අවධානය යොමු කරමු,


මිනිසා සදහා මූලික අවශ්‍යතාවයන් වන ආහාර, නිවාස… යනාදීය පවතිනවා සේ, ඉස්ලාම් පවසන දෙවිට කිසිදු අවශ්‍යතාවයක්  නොමැති බව පිලිගැනීම දේව විශ්වාසයේ මූලික අවශ්‍යතාවයකි. ඔහු සියළු අවශ්‍යතාවයන්ගෙන් තොරය.  අවශ්‍යතාවයක් පවතිනවා යනු දුර්වලතාවයකි. ඉස්ලාම් පවසන දෙවියන් සියළුම ආකාරයේ වූ දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධය. එමනිසා ඔහුට අවශ්‍යතාවයන් ඇති නොවේ. මේ අනුව ඔහු සිටීමට නිෂ්චිත තැනක හෝ පහසුකමක අවශ්‍යතාවය ඇති නොවේ. එය එසේ වුවද ඉස්ලාම් දෙවියන් සිටින ස්ථානය පිලිබදව නිෂ්චිත කර පවසයි. ඒ පිලිබදව ආගමික මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසය තුලින් ඔබේ අවධානයට කරුණූ ගෙන එන්නේ නම්,


අහසෙහි සිටින්නා, නුඹලාව පොළවෙහි ගිලෙන්නට නොසලස්වන්නෙහි යැයි නුඹලා නොබියව සිටින්නෙහුද?…


ශුද්ධ වූ කුර්ආන් 67-16


‘අර්රහ්මාන්’ (මෙය අල්ලාහ් (දෙවි) හදුන්වන නම් 100 න් එකක් වන අතර එහි අරුථ ‘පරමදයාලු’ යන්නයි) අර්ෂය මත අසුන්ගත්තේය.


ශුද්ධ වූ කුර්ආනය 20-5


මුහම්මද් (සල්) තුමාණන් වරක් එක්තරා වහල් ස්ත‍්‍රීයකගෙන් ‘අල්ලාහ් සිටින්නේ කොහිද?’ යනුවෙන් විමසන ලදී. එයට ඇය ‘අල්ලාහ් අහසේ සිටින්නේය‘ යැයි පැවසුවේය.  එයට  නබිතුමාණන් ‘මම කවුද?’ යනුවෙන් ඇයගෙන් යලිත් විමසුවේය. එයට ඇය ‘ඔබ අල්ලාහ්ගේ වක්තෘවරයාණන් (දූතයාණන්)’ යයි පැවසුවේය. එවිට නබිතුමාණන් ‘ඇය මූමීන් (සෑබෑ මුස්ලිම්) කාන්තාවක් ඇයව නිදහස් කරන්න’ යයි ඇයගේ ස්වාමියාට අණ කලේය.


මූලාශ්‍ර ග‍්‍රන්ථය – මුස්ලිම්


ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් හා හදීසයන් බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් ඉහතින් සදහන් ‘අල්ලාහ් (දෙවි) මායාවක් ඔහු සෑම තැනකම සිටී...‘ යන මතවාදය පදනම් විරහිත වාදයක් යන්න පැහැදිලි වේ. ඉහත ඉගෙන්වීමන්ට අනුව අල්ලාහ් (දෙවි) සදහා නිශ්චිත ඉසව්වක් තිබෙන බව පැහැදිලි වේ. එය ඉහත 67-16 ව වාක්‍යයට අනුව  ‘අහස‘  යන්නත්, 20-5 වාක්‍යයට අනුව ‘අර්ෂ්‘ යන්නත් පැහැදිලි වේ. දැන් මෙහි ඇති ගැටළුව ‘අහස‘ හා ‘අර්ෂ්‘ යන්න එකක්ද? නොඑසේ නම් දෙකක්? යන්නයි. ඒ දෙකම එකක් නම් මෙහි ගැටළුවක් නොවේ. නමුත් ඒ දෙකම දෙකක් නම් එහි තවත් ගැටළු රාශියක් මතුවේ. එහි මතුවන ප්‍රධාන ගැටළුව නම් ඉහත 67-16 හා 20-5 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් දෙක පරස්පර වෙනවා නොවේද? යන්නයි. ශුද්ධ වූ කුර්ආනයේ එවැනි පරස්පරතාවයන් පැවතිය නොහැක. මන්ද දෙවියන්ගේ වාක්‍යයන් තුල වැරදීම්, අතපසුවීම්, පරස්පරවීම් හෝ නොගැලපීම් කිසිවිටෙක සිදුවිය නොහැක. (මේ පිලිබදව දීර්ඝ ලෙස ශුද්ධ වූ ග්‍රන්ථ හා එහි වලංගුභාවය යන ලිපියෙන් සාකච්චා කොට ඇත) එසේ සිදුවන්නේ නම් එය දිව්‍යමය වචනයක් නොවනවා යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකුට දෙවැනි මතයක්ද? නැත. එම කාරණය ද මතකයේ රදවාගෙන නැවතත් මාතෘකාවට යොමු වුයේ නම්, ඉහතින් සදහන් වචන දෙක ‘අහස‘ හා ‘අර්ෂ්‘ යන්නට අවදානය යොමු කලේනම්, මෙහි අහස යනු කුමක්ද? යන්න පිලිබදව අපට විග්‍රහයක් අවශ්‍ය නොවේ. මන්ද ඒ පිලිබදව පැහැදිලි අවබෝධයක් සෑම කෙනෙකුහටම තිබෙන බැවිණි. නමුත්  මෙහි‘අර්ෂ්‘ යන වචනය සැලකූවිට මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ පවා බහුතරයකට පැහැදිලි අවබෝධයක් නැත. ඒ හේතුව නිසා ප්‍රථමයෙන් ‘අර්ෂ්‘ යනු කුමක්ද? යන්න දැන් විමසා බලමු. 


මෙය අරාබි භාෂාවේ එන වචනයක් වන අතර එහි වචනාරුථය “සිංහාසනය” යන්නයි. මේ පිලිබදව ඉස්ලාම් දහම එහි මූලාශ්‍රයන් තුලින් පවසන අර්ථය දැන් විමසා බලන්නේ නම්,


සත් අහසට ද ශ්‍රේෂ්ඨ වූ අර්ෂයටද අධිපති කවුරුන්දැයි අසනු (මැනව)! (ඔවුන්) අල්ලාහ් යයි පවසනු ඇත.


ශුද්ධ වූ කුර්ආන් 23-86, 87


එදින (මුහම්මද්) ඔබගේ දෙවිගේ අර්ෂය (මලායිකාවරු) අටදෙනෙක් ඔවුන්ට ඉහලින් ඔසවාගෙන සිටින්නෝය.


ශුද්ධ වූ කුර්ආන් 69-17


ඉහත 23-86 වාක්‍යයට අනුව ‘අහස‘ හා ‘අර්ෂ‘ යන්න එකක් නොව දෙකක් යන්න පැහැදිලිය. එසේම එම ‘අර්ෂය‘ නම් තැන අහසෙහි තිබෙන බවත් ඉහත සදහන් 67-16 වාක්‍යයෙන් මෙන්ම ‘මුස්ලීම් ග්‍රන්ථයේ ‘ සදහන් ‘හදිසය‘ මඟින් ද පැහැදිලිය. එපමණක් නොව එම අර්ෂය මතයි දෙවියන් වැඩ හිඳින්නේ යන්නත් පැහැදිලිය. ඉහත 20-5 හා 69-17 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය    පැහැදිලි වේ. මෙහි දී තවත් කුතුහලයක් ඔබට ඇති වනු ඇත. ඒ එසේනම් අල්ලාහ් (දෙවියන්) සදහා නිශ්චිත ස්ථානයක අවශ්‍යතාවය මෙයින් පිළිඹිබු කරනවා නොවේද? යන්නයි. මෙවැනි වාදයක් මතු කිරීම බැලූ බැල්මට නිවරුදි ලෙස පෙනුනද සැබැවින්ම එය එසේ නොවේ. මෙය අවබෝධ කර ගැනීම සදහා සරල නිදසුනක් ගෙන හැර දක්වන්නේ නම්, අතීතයේ අප රටේ විසූ රජවරුන් අසුන් ගැනීම සදහා ‘සිංහාසනය‘ නම් ආසනයක් භාවිතා කොට ඇති බව ඉතිහාසයේ සදහන් වේ. මෙම සිංහාසනය එම රජවරුන් යන තැන්වලට පවා රුගෙන ගිය බවත් ඉතිහාසයේ සදහන් වේ. මෙය අප අවබෝධ කරගන්නේ කෙසේද?. රජවරුන් හට එම අසුනේ හැර වෙනත් අසුනක අසුන් ගැනීමට අපහසුතාවයක් පැවතුනා යනුවෙන්ද?, එසේත් නැත්නම් වෙනත් අසුනක අසුන් ගැනීම ඔවුන්ගේ තේජසභාවයට, ගෞරවයට කැලලක් යනුවෙන් සිතුවේද?, යන්නයි. මෙයින් පලමු කාරණය සැලකුවේ නම් එය අවශ්‍යතාවයක් එනම් ඔහුගේ දුර්වලතාවයක්. නමුත් දෙවන කාරණය සැලකුවේ නම් එය අවශ්‍යතාවයක් නොව එය තමන්ගේ තේජසභාව, ශ්‍රෙෂ්ඨත්වය, මහිමය හා බලය තම ජනතාවට කියාපෑමකි. මෙයද මනුෂ්‍යා සම්බන්ධයෙන් සැලකීමේ දී එය වක්‍ර ආකාරයට දුර්වලතාවයක් බවට පත්වේ. නමුත් දෙවියන් සම්බන්ධයෙන් සැලකීමේ දී එය එසේ නොවේ. මන්ද ආඩම්භරයට ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර කිරීමට ඔහු තරම් සුදුස්සේක් වෙන නැති බැවිණි. 

ඒ අනුව අහසෙහි තිබෙන අර්ෂ් නම් සිංහාසනයේ  අල්ලාහ් (දෙවි) සිටින්නේ යනුවෙන් අවබෝධ කරගැනීමයි ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව නිවරුදි අවබෝධය වන්නේ. ඒ අනුව මේ ලිපිය ආරම්භයේ සදහන් කලාසේ  ‘හඳේ‘ හෝ  ‘මායාවක් ලෙස සෑම තැනකම‘ යනුවෙන් විශ්වාස කිරීම ඉස්ලාමීය ඉගෙන්වීමන්ට පරස්පර වූ කිසිදු පදනමක් නැති හුදෙක් මිත්‍යා පිලිගැනීමක් පමණක් බවත් වටහාගතයුතු වේ. 


මේ පිලිබදව ලියවුණූ අනිකුත් ලිපි - දේව විශ්වාසය



ඉබුනු සහීර්


Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jul 12

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives