ඉස්ලාම් පවසන දෙවි මොනවගේද? - දේව විශ්වාසය 07 from Ibnu Saheer's blog

අල්ලාහ් (දෙවි) අහසෙහි ‘අර්ෂ්‘ නම් තැන සිටින බව මීට පෙර ‘අල්ලාහ් (දෙවි) සිටින්නේ කොහිද?‘ නම් ලිපියෙන් සාකච්චා කලෙමු. මේ සමඟම බැඳුනු මීලග පැනය වන්නේ ඔහුට නිශ්චිත ස්වරූපයක් තිබේද?, එසේනම් එය මොනවගේද?. එසේත් නැත්නම් දෙවියන්ගේ ස්වරූපය කුමක්ද? යන්නයි.  මුස්ලිම් නොවන ප්‍රජාවට බොහෝ ආගම්වල කියවෙන ඉගෙන්වෙන දේව රූප පිලිමයන් ලෙසත් පිංතූර ලෙසත් දක්නට ලැබේ. නමුත් ඉස්ලාම් පවසන දෙවියන් පිලිබදව එවැනි කිසිවක් දක්නට නොලැබේ. මේ හේතුව නිසා ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඔවුනට ඇති ප්‍රබල කුතුහලය ‘හින්දු, බෞද්ධ හා ලොව අනිකුත් ආගම්වල සදහන් දෙවියන්ගේ ස්වරූප පිලිබදව අපට අවබෝධයක් ඇත. නමුත් ඉස්ලාම් පවසන දෙවියන්ගේ ස්වරූපය කුමක්ද?‘ යන්නයි. මේ කාරණය සදහා මෙතැනදී ද සරල  එසේම ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගත් විග්‍රහයක් ලබා දෙන්නේ නම්,



ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුව අල්ලාහ් (දෙවි) සදහා වූ නිශ්චිත ස්වරූපයක් පිලිබදව සදහන් වේ. නමුත් එය අවබෝධ කර ගැනීමට තරම් මිනිස් බුද්ධිය ප්‍රබල නොවනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එයට හේතුව කිසිදාක නොදුටු දෙවි පිලිබදව අවබෝධයක් ලබාගැනීමට නම් ඒ සදහා ආදර්ශයක් අවශ්‍ය වේ. ඉස්ලාම් පවසන දෙවි අසමසම දෙවියෙකි. එවන් දෙවි සදහා ආදර්ශයක් පැවතිය නොහැකිය. මෙය ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි. 


ඔහු මෙන් කිසිවක් නොමැත. ඔහු අසන්නාය, බලන්නාය.

ශුද්ධ වූ කුර්ආනයේ 42-11


ඉහත වාක්‍යයෙන් ඔහුගේ අසමසම බව අවධාරණය කරයි. ඒ අනුව ඉස්ලාම් පවසන අල්ලාහ් (දෙවි) මොනවගේද? යන්න පිලිබදව නිශ්චිත ස්වරූපයක් පිලිබදව සදහන් කිරීමට කිසිදු මුස්ලිම්වරයෙකුට හැකියාවක් නොමැත. නමුත් එක් කාරණයක් පැහැදිලි ලෙසම පැවසිය හැක. ඒ නියත වශයෙන්ම මිනිස් සිත කිසිදු දිනෙක නොසිතූ, මිනිස් ඇස් කිසිදු දිනෙක නොදුටු හා මිනිස් කනින් කිසිදු දිනක නොඇසූ… තරමින් අලංකාරයකින් අල්ලාහ් (දෙවියන්) පිරිපූන් වියයුතු යන්නයි. මා එසේ පැවසීමට හේතුව මේ ලෝකය අලංකාර ලෙස මවා එහි අලංකාරම ජීවියා වන මිනිසා ද ඉතා අලංකාර ස්වරූපයන්ගෙන් මැවූ දෙවියන් ඒ සියල්ලට වඩා අලංකාර වියයුතු යන්න සාධාර්ණ වූ වාදයක් බැවිණි. මේ හේතුව නිසායි මුහම්මද් (සල්) තුමාණන් පවා එක්තරා අවස්ථාවක පැවසුවේ.  


‘කියාමත් (මරණින් මතු උදාවන විනිශ්චය) දිනයේ අල්ලාහ් දෙවියන් දැකීම ඉමහත් භාග්‍යයක්‘ යනුවෙන්. 


මේ තුලින් ද පැහැදිලි වන්නේ අල්ලාහ් (දෙවියන්) හට ඔහුටම ආවේනික අලංකාර ස්වරූපයක් පවතිනවා යන්න මිස පෙර ලිපියේ සදහන් කලාසේ කිසිවිටෙක ඔහු ‘මායාවක්‘ නොවන බවයි.  එය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම පිණිස ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් තවත් කරුණූ කිහිපයක් ඔබගේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,


(‘කියාමත්’ (මරණින් මතු උදාවන)) එදින සමහර මුහුණු දීපත්තිමත් වනු ඇත. ඔවුන්ගේ දෙවි (ඔවුන්) දකිනු ඇත.


ශුද්ධ වූ කුර්ආනය 75-22,23


(මරණින් මතු උදාවන) පරලොවේ දී අල්ලාහ් (දෙවි) විශ්වාසවන්තයන් හට ඔවුන් ඔහු ගැන උපකල්පනය කර තිබූ රුවෙන් නොව වෙනත් රුවකින් ප‍්‍රථම වතාවට පැමිණ ‘ඔබලාග් දෙවි මම ය’ යයි පවසනු ඇත.


මූලාශ්‍ර ග‍්‍රන්ථය – බුහාරි


නබිතුමණන් හමුවේ ඇතැම් පිරිස් ‘අල්ලාහ්ගේ වක්තෘවරයාණනි!, පරලොවේදී අපි අපගේ දෙවියන් දකින්නෙමුද?’ යැයි ඇසූ විට නබිතුමාණන් ‘ඔව්! දකින්නෙහු ය. කිසිදු වලාකුලක් නැති දහවලක ආලෝකමත් ඉර දැකීමට එකින් එකා පොරකන්නේද? යි ඇසූහ. එවිට ජනතාව ‘නැත’ යැයි පිළිතුරු දුන්නෝය. ‘කිසිදු වලාකුලක් නැති රාත්‍රියක පුන්සඳ හි ආලෝකය දැකීමට එකා අනිකාව පොරකන්නේ ද?’ යි ඇසූහ. ජනතාව (එවිටත්) ‘නැත’ යැයි පිළිතුරු දුන්නෝය. මේ දෙකින් එකක් දැකීමට ඔබලා පොර නොකන්නාසේම පරලොවේදී අති උතුම් ශ්‍රේෂ්ඨ අල්ලාහ්ව දැකීමට ද ඔබලා පොරකන්නේ නැත. යනුවෙන් ප‍්‍රකාශ කලේය.


මූලාශ්‍ර ග‍්‍රන්ථය – බුහාරි


පරලොවේදී ඉස්ලාම් ප්‍රතික්ෂේප කල පිරිස (කාෆිර්වරුන්)ට දෙවියන් දැකීමේ භාග්‍ය හිමි වන්නේ නැත. එදින ඔවුන් දෙවියන්ගෙන් ඈත් කරනු ඇත.


ශුද්ධ වූ කුර්ආන් 8-15


ඉහත කරුණූ හොදින් විමසා බැලුවේ නම්, ඉස්ලාම් පවසන දෙවි සදහා නිශ්චිත ස්වරූපයක් තිබෙනවාද යන සැකය තවදුරටත් පැවතිය නොහැක. නමුත් ඒ ස්වරූපය කෙබඳු එකක්ද? යන පැනයට පිලිතුර ලබාගැනීමට හැකි වන්නේ විනිශ්චය දිනයේදීම පමණි. කෙසේ වෙතත් අවසාන වශයෙන් එක් කාරණයක් මෙහිදී අවදාරණය කලයුතුය. විවිධ ආගම් මිනිස් රූපයට හා සත්ව රූපයට සමානව එසේත් නැත්නම් ඒ දෙකෙහි මිශ්‍රණයක් වන ලෙස විවිධ දේව රූප නිර්මාණය කොට නැමදුම් කිරීම දක්නට ලැබේ. මෙම විකෘති රූප දේවත්වයෙන් නැමදුම් කරමින් අලංකාර යයි පැවසුවද එය එසේ නොවේ. උදාහර්ණයකට අපගේ දරුවන්, සහෝදරයන්, මාපියන් මේ දේව ස්වරූපයෙන් සිටී යයි සිතන්න. එසේත් නැත්නම් එවැනි කෙනෙකු සමාජයේ සිටී යයි සිතන්න. එය ඔබ පිලිකුල් සහගතව බලනවාද? එය අලංකාර දෙයක් ලෙස දකිනවාද?. ඉස්ලාම් මෙවැනි විකෘති උපකල්පනයන්ට ඉඩ සලසා දී නැත. එය මිනිස් බුද්ධියෙන් උපකල්පනය නොහැකි ඉතාම අලංකාර ස්වරූපයක් යන්නත් එය දකින්නට හැකි වන්නේ විනිශ්චය දිනයේ පමණක් යන්නත් නැවත අවදාරණය කරමින් එය එලෙස විශ්වාස කිරීමත් ඉස්ලාමීය මූලික ප්‍රතිපත්තිය බව සදහන් කරමින් මෙම ලිපියට විරාමය තබමි. 


වැඩිදුර කියවන්න - දේව විශ්වාසය



ඉබුනු සහීර්.


Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jul 12

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives