ඉස්ලාම් පවසන දේව සංකල්පය from Ibnu Saheer's blog

මිනිසාගේ බුද්ධීය දිනෙන් දින දියුණු වෙත්ම වඩ වඩාත් මත බේදයන්ට හා අභියෝගයන්ට තුඩුදෙන කාරණ බවට ‘දේවවාදය‘ පත්වෙමින් ඇත. එක් පසකින් දේව වාදයට පාක්‍ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී තවත් පසෙකින් එයට විවේචනයන් හා අභියෝගයන් ද ඉදිරිපත් වෙමින් ඇත. මිනිස් බුද්ධියේ වර්ධනයත් සමග දේව විශ්වාසය හා බැදුනු මන:කල්පිතයන් හා පුරාවෘත්තයන් පිලිබදව මිනිසා වඩ වඩාත් බුද්ධිමත්ව සිතන්නට පටන්ගෙන ඇත. එසේ සිතීමේ ප‍්‍රථිපලයක් ලෙස එක් පසකින් එම විශ්වාසයන් ප‍්‍රශ්නාර්ථයක් වන ගමන් එම ආගම් ද ප‍්‍රශ්නාර්ථයක් බවට පත්වෙමින් ඇත. මෙහි අනිසි ප‍්‍රථිපලයක් ලෙස මිනිසා අදේව වාදයට තල්ලූවෙමින් ඇත.  මෙවැනි තත්වයකට මිනිසා තල්ලුවීමට අතීතයේ පැවතී මිත්‍යා විශ්වාසයන් වන හිරු, සඳු, ගස්, ගල්, ගින්දර… ආදී දෑ දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීමත්, අද පවතින සමහරක් දේව වාදයන් ද බොහෝසේ පිටිවහලක් වී ඇත. උදාහර්ණයක් ලෙස එදා බ‍්‍රාහ්මණ සමාජයේ පැවතී විශ්වාසය වන බ‍්‍රාහ්මයාගේ කටින් මැවු පිරිස බ‍්‍රාහ්මණයෝ, අත්දෙකෙන් මැවු පිරිස ක්ෂත‍්‍රීයෝ, කලවාවලින් මැවු පිරිස වෛශ්‍යයෝ, හා යටිපතුලින් මැවු පිරිස ක්ෂුද්‍රයෝ යන විශ්වාසය ගෙනහැර දැක්විය හැක. මෙවැනි විවිධ ආකාරයේ දේව සංකල්පයන් හමුවේ වල්මත් වී ගිය සමාජය ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයත් එවැනිම දේව සංකල්පයක් යයි උපකල්පනයේ හිද ඉස්ලාම් හි දේව විශ්වාසය ද විවේචනය කිරීම අවාසනාවන්ත තත්වයකි. මේ හේතුව නිසාම ‘ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? එය අවබෝධ කරගත යුත්තේ කෙසේද?‘ වැනි කරුණු පිලිබදව පුර්ණ අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම සාකච්චාව නොඑසේනම්, කරුණු දැක්වීම ආරම්භ කරමි. 


මෙහිදී මෙම මාතෘකාවට මුලපිරීමේ දී සමාජයේ පවතින ජනප්‍රිය වාදයකින්ම මෙම ලිපිය ආරම්භ කරන්න අදහස් කරමි. එනම්, දේව විශ්වාසය පිලිගන්නා සමාජයේ සිටින බහුතරයක් තමන්  අදහන දහමේ ඉගෙන්වීමන් පිලිබදව පැහැදිලි අවබෝධයක් නැති නිසාත්, දේව විශ්වාසය කෙසේ වෙතත් අන්‍යආගමිකයින් සමග තමාගේ ඇති සහෝදර බැඳීම පෙන්වීම සදහාත් ජනප‍්‍රිය මතයක් ඉදිරිපත් කරයි. ඒ ‘සියලූ ආගම් එකයි හැම ආගමේම කියන්නේ එකම දේ තමයි‘ යන්නයි. මෙය බැලූ බැල්මට සත්‍යයක්සේ පෙනුනත්, අද ලොව පවතින ආගම්වල විශ්වාසයන් පිලිබදව මධ්‍යස්ථව හිද අවධානයක් යොමුකලේ නම්, ඉහත වාදය කිසිසේත්  සත්‍යයක් විය නොහැක. එය හිස් වචනයක් ම බව මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට හොදින් පැහැදිලි වනු ඇත. මන්ද එක් ආගමක් බහුදේව වාදය පවසද්දී තවත් ආගමක් ඒකදේව වාදය ඉදිරිපත් කරයි. එසේම තවත් දහමක්  ‘දෙවියන් යනු බලයක් නොමැති දුර්වල වු මැවීමක්, ඒ දෙවියන්ට ප‍්‍රබලවු ශක්තීන් නැත. විටෙක ඔවුන් මිනිසුන්ට වඩා දුර්වලයි. කොතරම් දුර්වලද යයි පවසනවා නම් මිනිසුන්ගෙන් ලැබෙන පිං අනුවයි ඔවුන් ජීවත් වන්නේ.‘ යනුවෙන් පවසයි.  ‘සියල්ලෙහිම බලධාරියා ඔහුයි, ඔහු සුපිරි බලයක්, සර්වඥානියෙක්‘ යයි තවත් දහමක් පවසයි. මේ සියළු මතයන් වර්ථමාන ලාංකීය සමාජයේම දක්නට ඇත. මෙම මතයන් සියල්ල එකින් එකට පරස්පරය. එසේම ඉහත මතයන් දරණ කිසිදු දහමක් තවත් දහමක ප‍්‍රතිපත්තීන් නිවරැදි  යයි ද නොපවසති. එනම් සෑම ආගමක්ම තමන්ගේ මාර්ගය හරියයි පවසනවා මිස, සියලූ මාර්ගයන් නිවරැදි යයි කිසිසේත් නොපවසයි. එවන් තත්වයක අප ඉදිරියේ බැරෑරුම් ප‍්‍රශ්නයක් ඇත. එනම්, ‘මේවා අතුරින් නිවරැදි මාර්ගය කුමක්ද? එය දෙමාපියන්ගෙන් අපට උරුම වු මාර්ගයද?. අද අප බොහෝ විට පිලිපදින්නේ මා පියන්ගෙන් පාරම්පරිකව උරුම වු මාර්ගය මිස බුද්ධීමත් අධ්‍යනයකින් අවබෝධ කරගත් මාර්ගයක් නොවේ. මෙය එලෙසම තවදුරටත් අන්ධ භක්තිකව පිලිපදිනවාද? එසේත් නැත්නම් නිවරැදි මාර්ගය අවබෝධ කරගන්න උත්සාහ කරනවාද?. මෙය අප තනි තනි වශයෙන් විසදාගතයුතු පැනයකි.  එම පැනය ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් මාතෘකාව වෙත යොමු වෙමි. 


ඉස්ලාම් පවසන දේව වාදය


ඉස්ලාම් දහමේ ඉගෙන්වීමට අනුව දේව සංකල්පය ඒකදේව සංකල්පයක් වන අතර ඒ එකම දෙවියා ‘අල්ලාහ්‘(Allah)නම්  වේ.  අද ලොවපුරා විවිධ වූ සමාජ ඔවුන් ඔවුන් විශ්වාස කරන විවිධ දෙවිවරුන් විවිධ භාෂාවලින් විවිධ ආකාරයට හදුන්වනු ලබයි. නමුත් ඉස්ලාම් දහම පවසන දෙවියා ඕනෑම භාෂාවකින් හදුන්වනු ලබන්නේ ‘අල්ලාහ්‘ යනුවෙන් පමණි. මෙම ‘අල්ලාහ්‘ යන පදය වෙන කිසිවක් සදහා නොයෙදෙන එසේම යෙදිය නොහැකි වචනයකි. මන්ද දෙවියන්  ‘God‘ යන පදය සැලකුවිට දෙවිවරුන් ‘Gods‘ යන බහුවචනයක්ද, දේවතාවිය ‘Goddess‘ යන ස්ත‍්‍රි ලිංග බේදයක්ද පවතී. නමුත් ‘අල්ලාහ්‘ යන පදයට බහු වාචික පදයක් හෝ ලිංග බේදයක් හෝ නැත. මෙය දෙවියන්ගේ අසමසම බවට එක් නිදසුනකි. ඒ අසමසම දෙවි අල්ලාහ් ශුද්ධ වූ කුර්ආනයේ  තමාව හදුන්වාදීමේ දී මෙසේ පවසයි.


‘අල්ලාහ් (දෙවියන්) නුඹලාට පොළොව වාසස්ථානයක්ද අහස වියනක්ද කලේය. තවද ඔහු නුඹලාව මුර්තිමත්කොට නුඹලාගේ ස්වරූපය අලංකාර කොට යහදෙයින් නුඹලාට සම්පාදනය කලේය. ඔහුයි නුඹලාගේ හිමි අල්ලාහ්. සියලූ ලොවෙහි අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. ඔහු සදාතනිකය, ඔහු හැර වෙන දෙවියෙක් නැත.‘


ශුද්ධ වූ කුර්ආන් 40-64,65


ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවි තමා ‘අල්ලාහ්‘ යනුවෙන් හදුන්වාදීමෙන් නතර නොවී තවත් සුවිශේෂ වු කරුණක් ඒ හා බද්ධ කොට පවසයි. ඒ ‘මා හැර වෙන දෙවියෙක් නැත‘ යන්නයි. ඉස්ලාම් ඒකදේව වාදය මුලික පදනම  කරගත්, බහුදේව වාදය සහමුලින්ම ප්‍රතික්ෂේප කරන දහමකි. ඉස්ලාමයේ ඉගෙන්වීමට අනුව ‘අල්කුර්ආනය‘ යනු අල්ලාහ් (දෙවි)ගේ  වදන්  පමණක් අන්තර්ගත වු ශුද්ධ වු ලියවිල්ලකි. එහි සදහන් ආකාරයට ආරම්භ මිනිසාගේ පටන් දහස් ගනන් වක්තෘවරුන් (දුතයන්) කලින් කලට එවන ලද්දේ මෙම ඒකදේව සංකල්පය මේ පොළොව මත ස්ථාපනය කිරීමටයි. එය ශුද්ධවු කුර්ආනයේ 21:25 හි මෙසේ සදහන් වේ.


‘මා හැර වෙන දෙවියෙක් නැත, යන්න පවසා මිස දේව දුතයකු නොඑව්වෙමු. ‘


මෙහිදී ඉස්ලාම් හි දේව විශ්වාසයේ ආකාරය පිලිබදව ද අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. ඉස්ලාම් පවසන දේව වාදය පිලිබදව කිසිදු අවබෝධයක් නොමැති සමහරක් තමන් විද්වතුන් යයි සිතාගෙන එදා නොදියුණු මිත්‍යාවන් හි ගිලී පැවති බ‍්‍රාහ්මණ සමාජයේ විශ්වාසයන් පදනම් කරගෙන එනම්, මිනිස් මැවීම මහා බ‍්‍රහ්මයාගේ මුඛයෙන්, අත් දෙකෙන්, කලවාවලින් හා යටිපතුලෙන් යන එම මිත්‍යා විශ්වාසය ඉස්ලාම් දහම ද පවසන බව සිතා ඉස්ලාම් දහමේ දේව වාදය විවේචනය කිරීම බොහෝ අවස්ථාවල දකින්නට ලැබේ. මෙසේ විවේචනයන් ඉදිරිපත් කරන්නන් අතර බෞද්ධයින් ප‍්‍රධාන තැනක්ගනී. බෞද්ධයින් එසේ විවේචනය කිරීමට හේතුන් 02ක් මා දකිමි. එනම්,


> දේව වාදය කෙරෙහි බෞද්ධයින් තුල තිබෙන දුර්වල වු විශ්වාසය. (එනම්, දෙවිවරුන්ට වඩා උතුම් වු ස්ථානයකයි බුදුබව තිබෙන්නේ, එම තත්වය ලබාගැනීම සදහා දෙවිවරුන් ද පෙරුම් පුරයි. එසේම දෙවිවරුන් ජීවත්වීම සදහා මිනිසුන්ගේ පිං ද අවශ්‍ය වේ යනුවෙන් විශ්වාස කිරීම.)

> බ‍්‍රහ්මණ සමාජයේ මහා බ‍්‍රහ්ම විශ්වාසය එදා ගෞතම බුදුන් කාල වකවානුවේ ඉන්දියාවේ පැවතී අන්ධ විශ්වාසයකි. එදා ගෞතම බුදුන්හට කරන්නට සිදුවුයේ මෙම මිත්‍යා මතයෙන් ජනයා මුදවා ගැනීමයි. ඒ සදහා එම මහා බ‍්‍රහ්ම විශ්වාසය දැඩිව විවේචනය කිරීමටද උන්වහන්සේට සිදුවිය.

ඉහත සදහන් හේතුන් 02ක නිසා දෙවියන් පිලිබදව අද බහුතරයක් බෞද්ධයින් තුල ඇත්තේ  දුර්වල වූ දේව විශ්වාසයකි. මෙහිදී ඉස්ලාමීය දේව සංකල්පය විවේචනය කරන පිරිසට කිවයුතු වැදගත් කාරණයක් ඇත. එනම්, බුදු දහම පවසන දේව වාදය හෝ එදා බ‍්‍රහ්මණ සමාජයේ පැවති දේව විශ්වාසය නොවේ ඉස්ලාම් පවසන දේවවාදය. එමනිසා මේ විවේචකයන් ප්‍රථමයෙන් කලයුතු වන්නේ ඉස්ලාම් හි දේවවාදය අධ්‍යනය කිරීමයි. ඉන් අනතුරුව විවේචනය කිරීමට ඉදිරිපත් වන්නේ නම්, එය බුද්ධිමත් ක්‍රියාවක් වන්නේය. එවැනි පිරිසටත් මෙම ලිපිය අත්වැලක් වනු ඇතැයි සිතමි.


ඉස්ලාම් දහම උගන්වන දේව විශ්වාසයට අනුව ‘දෙවියා‘ යනු ‘සර්වබලධාරීය‘. එනම් සියල්ල කෙරෙහි බලය ඔහු සතුය ඔහු සර්වපාලකයාය. එනම්, මුළු විශ්ව පාලනයම ඔහු සතුය, ඔහු සර්වඥානියාය, එනම් සියල්ල කෙරෙහි (අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව) පූර්ණ ඥානය ඔහු සතුය, ඔහු මැවුම්කරුවාය, එනම් සියල්ල මවන ලද්දේ ඔහු විසිනි, ඔහු සදාකාලිකය, එනම් ඔහුට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැත, ඔහුට කිසිවක් (පිං, ළමයි, බිරිද, දෙමාපියන්, ආහාර…) කෙරෙහි අවශ්‍යතාවයක් නැත්තේය, ඔහුව කිසිවකටත් සමකල නොහැක. එසේම කිසිවක් ඔහුට සමකල නොහැක. ඔහු ජාතක නොකරන්නේය, ඔහුද ජාතක කරනු නොලැබීය, ඔහු මහා කාරුණිකය, පරම දයාලූය… මේ ආකාරයට ඔහුගේ ගුණාංග පෙලගැසීම කලහැක.  මෙහි මා පෙලගසා ඇත්තේ ඔහුගේ  ගුණාංග කිහිපයක් පමණක් පමණි.  මේ සියල්ල කෙටිකොට පවසනවා නම්, සියල්ලෙහිම ශ්‍රේෂ්ඨතමයා  ‘අල්ලාහ්‘ ඔහු එකම දෙවියාය. ඉහත සදහන් මුලික කරුණු කෙටිකොට ශුද්ධ වු කුර්ආනයේ කුඩා පරිච්ඡේදයක එනම්. 112 :1 සිට 4 දක්වා දෙවියන් මෙසේ පවසයි.


ඔහු ඒකීය යයි කියව.

ඔහු සදාකාලිකය.

ඔහුගේ බලය අසීමිතය.

ඔහු ජාතක නොකරන්නේය.

ඔහුද ජාතක කරනු නොලැබීය.

ඔහුට සමාන වන කිසිවක් නැත.


මේ අනුව ඉස්ලාම් පවසන දේව සංකල්පය කුමක්ද? යන්න පිලිබදව ඔබට හොඳ අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. ලොව සම්ප්‍රදායක දේව විශ්වාසයන් මත පදනම්ව ඉස්ලාම් පවසන දේව සංකල්පය විවේචනය කිරීම සාධාර්ණ නොවන බවත් දැන් ඔබට අවබෝධ වියයුතුය. මෙහිදී සම්ප්‍රදායක දේව විශ්වාසය තුල ගිලීගිය ඔබට ඉස්ලාම් පවසන මෙම දේව සංකල්පය තරමක් අලුත් බවක් දැනෙන්නට පුළුවන. එසේම සම්ප්‍රදායක සංකල්පයන්වලට හුරු වී සිටී ඔබට ඉස්ලාමීය දේව විශ්වාසය සම්බන්ධයෙන් සමහර විට ගැටළු කිහිපයක් මතු වන්නට ද පුළුවන. එනම්,


දෙවියන් බිහිවුයේ කෙසේද ? - කියවන්න

දෙවියන්හට දරුවන්, බිරිදක් (පවුලක්) නොවුයේ මන්ද ? - කියවන්න

සියල්ල එකම දෙවියන් ඉටුකිරීම ප‍්‍රායෝගිකද ?

බහුදේව වාදය ඉස්ලාම් ඇයි ප්‍රතික්ෂේප කරන්නේ ?

දෙවියන් මොනවගේද ?

මිනිසුන් අතරින්ම දෙවියන් නොආවේ ඇයි ?


මේ පැනයන් සම්බන්ධයෙන් විමසා බැලීමක් ඉදිරි ලිපියකින්  කිරීමේ පොරොන්දුව ඇතුව මෙම ලිපියට විරාමය තබන්නේ ‘ඉස්ලාම් පවසන දෙවි ‘අල්ලාහ්‘ සර්වබලධාරී හා සර්වඥානී යන්න බුද්ධිමත් ඔබේ බුද්ධිමත් විමසුමට තබමිනි. 


මාතෘකාවට අදාල ලිපි කියවීමට - දේව විශ්වාසය



ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jul 13

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives