බහුදේව වාදය ඉස්ලාම් ප‍්‍රතික්ෂේප කරන්නේ ඇයි ? from Ibnu Saheer's blog

ආදී මිනිසාගේ පටන් මිනිසා සෑම කලකම ප‍්‍රීය කලේ සාමුහිකව ජීවත් වීමටයි. මිනිසාට ජීවත්වීම සදහා අන් අයගේ සහයෝගය ද අවශ්‍ය විය. තනිව ජීවත්වීම ඔහුට දුෂ්කර කාර්‍යයක් විය. එමනිසයි ආදි මානවයාගේ ඉතිහාසය පුරාවට ගෝත්‍ර සංකල්පයන් ශිෂ්ඨාචාරයන් දක්නට ලැබෙන්නේ. මානවයාගේ එම දුර්වලතාවය අවබෝධ කොට සිටින අප  අපට සාපේක්‍ෂව දෙවියන් දෙස බැලීම හේතුවෙන් එකම දෙවියෙක් සියල්ල ඉටුකරන්නේ කෙසේද? යන සැකය අප තුල පැන නැඟේ. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි බහුදේව සංකල්පය මානව සමාජය තුල මෙතරම් ගැඹුරින් කිදාබැස ඇත්තේ. 


ඉස්ලාම් පවසන දේව වාදය අවබෝධ කරගැනීමට නම් ප‍්‍රථමයෙන් දෙවියන්, සාපේක්‍ෂව බැලීමෙන් බැහැර විය යුතුයි. මිනිස් මැවීම යනු දෙවියන්ගේ අනන්ත වු මැවීමන් අතුරින් තවත් එක් මැවීමක් පමණි. ඒ අනුව මිනිසාට සාපේක්‍ෂව බැලීම යන්න තාර්කිකව බැලූවත් එය සාධාර්ණ නොවේ. එසේ නම් ‘දෙවියන් සැබෑවටම අවබෝධ කරගත හැක්කේ කෙසේද?‘. මේ පිලිබදව තරමක් බුද්ධිමත් ආකාරයට විමසා බලමු. එහිදී වඩාත් ප‍්‍රායෝගික වන්නේ ඒක දේව වාදයද? බහු දේව වාදයද?


ප්‍රායෝගික ඒක දේවවාදයද? බහු දේවවාදයද?


ප‍්‍රථමයෙන් බහුදේව වාදයේ අවශ්‍යතාවය කුමක්ද?, යන්න පිලිබදව අවධානය යොමු කලේ නම්, එයට ප‍්‍රධානම හේතුව ‘සියල්ල එකම දෙවියෙකු විසින් ඉටුකල නොහැක‘ යන විශ්වාසයයි. එය එසේනම්, දෙවියන්හට දුර්වලතාවයක් ඇත යන්න අප වක්‍ර ලෙස පිලිගන්නෙමු. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව අනුව දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන් ඇත්තෙකු දෙවියෙක් විය නොහැක. එසේම දෙවියෙක් නම් නියත වශයෙන්ම ඔහු දුර්වලතාවයන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් බැහැර වුවකි. දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන් නොමැති නම් තවත් දෙවියෙකුගේ අවශ්‍යතාවයක් ඇති නොවේ. ඒ අනුව විශ්ව පාලනය සදහා ඉස්ලාම් පවසන ‘අල්ලාහ් ‘(දෙවි)ට තවත් දෙවිවරුන්ගේ අවශ්‍යතාවයක් නැත. එසේනම් දේව සංකල්පය සත්‍ය නම්, එම දෙවි සර්වබලධාරී නම්, ප‍්‍රායෝගික වන්නේ ඒකදේව වාදය මිස බහුදේව වාදය නොවේ.


තර්කයකට බහුදේව වාදය නිවරුදි යයි උපකල්පනය කලේනම්. දෙවියන් යනු සුපිරි බලයක්. මෙවන් සුපිරි බලයන් කිහිපයක් එකවිට මෙම විශ්වය පාලනය කරන්න අවශ්‍ය වේ යැයි පිලිගන්නට සිදුවේ. එවිට පෘථිවිය සදහා එක දෙවියෙක්, සුර්‍යා සදහා වෙනත් දෙවියෙක්, වෙනත් ග‍්‍රහයින්ට හා මන්දාකිණී සදහා වෙන වෙනම දෙවිවරුන් යනාදී ලෙස පැවතුණේ නම්, එහි තත්වය මොහොතක් සිතා බලන්න. එම මොහොතේම එහි පාලනයන් සියල්ල අවුල් වී එකින් එක ගැටී ලෝක විනාශය ඒ මොහොතේම සිදුවනු ඇත. මෙය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා ස්වාධිනව කටයුතු කරන දුම්රිය පාලකවරන් දෙදෙනෙකු පිලිබදව එසේත් නැත්නම් වාහන තදබදයක් පවතින හතරමං හන්දියක එක ස්ථානයක වාහන හසුරවන පොලිස් මහත්වරුන් දෙදෙනෙකු පිලිබදව උපකල්පනය කර බලන්න. ප‍්‍රථිපලය කුමක්ද? යන්න ඔබ මැවී පෙනෙනු ඇත. එම වාහන එකින් එක ගැටී මහා විනාශයක් සිදුවනු ඇත. මේ සාමාන්‍ය මාර්ගයක සිදුකරන වාහන පාලනයකම තත්වය මෙයනම්, සංකීර්ණ ගමන් මාර්ගයන් පවතින විශ්වයේ ක‍්‍රියාකාරීත්වයට කුමක් වේද?. මේ අනුව බැලුවත් විශ්ව පාලනය සදහා ප‍්‍රායෝගික වන්නේ ඒකම දේවියා යන සංකල්පය පමණි. මෙය තවදුරටත් අවබෝධ කරගැනීම සදහා රටක් එකවිට පාලනය කරන ජනාධිපතිවරුන් දෙදෙනෙකු පිලිබදව උපකල්පනය කර බලන්න. එසේත් නැත්නම් පාසලක විදුහල්පතිවරුන් දෙදෙනෙකු, එසේත් නැත්නම් සාමාන්‍ය ග‍්‍රාමීය සමිතියක සභාපතිවරුන් දෙදෙනෙකු ප‍්‍රතිඵලය කුමක් වේද?. එහි තත්වය මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. සාමාන්‍ය මිනිසුන්ගේ තත්වය මෙය නම්. සුපිරි බලයන් හා ශක්තීන් ඇති දෙවියන් අතර ගැටුමක් ඇතිවනුයේ නම්. තත්වය කොතරම් භයානක වනු ඇත්ද? බහුදේව වාදය පවසන සමහර ආගම්වල දෙවිවරුන් අතර ගැටුම්, දෙවිවරුන්ගේ බිරින්දෑවරුන් අතර ගැටුම්, දෙවියන්ගේ දරුවන් වන දේව දරුවන් අතර ගැටුම් මේ ආකාරයේ විවිධ ගැටුම් අප අසා ඇත්තෙමු. එවැනි ගැටුමන් සැබැවින්ම සිදුවුයේ නම් මුලූ විශ්වයේම ක‍්‍රියාකාරිත්වය අවුල්වී මහා විනාශයන් සිදුවෙනු ඇත. මෙය ශූද්ධ වු අල්කුර්ආනයේ 21-22 මෙසේ පවසයි.


ඒ දෙතැන (අහස , පොළොව) අල්ලාහ් (දෙවියන්) හැර තවත් දෙවිවරුන් සිටියෙය් නම්, ඒ දෙතැනම ව්‍යාකූල වන්නේය.

ශූද්ධ වු අල්කුර්ආනයේ 21-22 


එසේ ව්‍යාකූල තත්වයක් ඇති නොවීමට නම් ප‍්‍රායෝගික වන්නේ ‘එකම දෙවියා‘ යන සංකල්පය මිස බහුදේව සංකල්පය නම් නොවේ. ඉහත ශූද්ධ වු කුර්ආන් වාක්‍යයෙන් ද එය මනාව එය පැහැදිලි කරයි. මෙම ඒකදේව සංකල්පය ඉස්ලාම් දහම පමණක් නොවේ ක‍්‍රිස්තියානි බයිබලයේද අවධාරනය කිරීම දක්නට ලැබේ. එනම්,


…ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. මම පළමුවෙනියා ය, අන්තිමයාත් මම ය. මා හැර වෙන දෙවිකෙනෙක් නැත.


යෙසායා 44-6


ඒකදේව සංකල්පය පවසන ඉහත බයිබල් වාක්‍යයට අමතර බයිබලයේ තවත් බොහෝ තැන්වල මෙම ඒකදේව සංකල්පය අවධාරනය කරයි. එවැනි ස්ථාන කිහිපයක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්, ද්විතීය කථාව 4-39, ද්විතීය කථාව 6-4, යෙසායා 43-10,11,යෙසායා 45-18, කොරිත්ති 8-4, තිමෝති 2-5,6… යනාදීය එවැනි කිහිපයකි. බයිබලයේ මෙන්ම බොහෝ ස්ථානවල, බයිබලයට වඩා අධික ස්ථානවල මෙම ඒක දේව සංකල්පය ශුද්ධ වු කුර්ආනයේ දැඩිව අවධාරනය කරයි. සියලූම දේව වක්තෘවරුන් (නබි ඊසා(අලෛ) තුමා, නබි මුහම්මද්(සල්) තුමා ඇතුලූ සියලූ වක්තෘවරුන්) මගින් ද ජනයාට දෙවියන් දැඩිව අවධාරනය කලේ මෙම ඒකදේව සංකල්පයයි. එය ශූද්ධ වු අල්කුර්ආනයේ,


ඔහු (දෙවියන්) එක්කෙනෙකි.  (112-1)

ඇත්තෙන්ම මා හැර දෙවියෙක් නැත.  (20-14)

මා හැර වෙන දෙවියෙක් නැත. යන්න පවසා මිස දේව වක්තෘවරයෙකු නොඑව්වෙමු (21-25)


යනාදී වශයෙන් පවසයි. මේ අනුව බහු දේවවාදය යනු කිසිසේත් ප‍්‍රායෝගික නොවන මන:කල්පිතයක් පමණක් වන අතර ඒකදේව වාදය යනු සදාකාලික වු ප‍්‍රායෝගික සත්‍යක් යන්න හොදින් පැහැදිලි වේ.


මේ පිලිබදව තවදුරටත් කියවන්න - දේව විශ්වාසය




ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jul 14

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives