හජ් නැමදුම හා ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ කැපවීම from Ibnu Saheer's blog

මුස්ලීම් සමාජයට සුවිශේෂි වූ මාසයක් ඉදිරි දින කිහිපය තුල උදාවීමට නියමිතය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව ‘දුල්හජ්‘ (හජ්) නම්  වූ එම මාසය ආරම්භ වීමට නියමිත අතර එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසය ද වේ. වර්ෂයක් පාසා මෙම මාසයේ උදාවත් සමඟ එම මාසයේ මහිමය හා එම මාසයේ මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය වගකීමක් වූ හජ් වන්දනය පිළිබඳව විවිධ පැති ඔස්සේ සමාජය තුල පුළුල් සංවාදයන් සිදු වේ. නමුත් සාම්ප්‍රදායක එම සංවාදයන්ගෙන් තරමක් බැහැරව යමක් ඔබට ලබා දීමට උත්සාහ කරන අඩවියක් ලෙස මීට පෙර ලිපියෙන් මෙම විෂයට අදාලව  ‘බක්කාව නොහොත් ලොව ප්‍රථම දෙව් මැදුර‘ යන ලිපිය ඉදිරිපත් කරන ලදී. එහි තවත් අදියරක් ලෙස ‘හජ් නැමදුම හා නබි ඉබ්බ්‍රාහීම් තුමා‘ යන මාතෘකාව ඔස්සේ මෙම විෂය පිලිබදව තවත් කරුණු මෙම ලිපිය තුලින් ගෙන එන්න අදහස් කරමි.



මෙම හජ් මාසයත්, එම මාසයේ නිරත වන හජ් වන්දනයත් මුස්ලීම් සමාජයට ඉතා වැදගත් සංදිස්ථානයකි. සමස්ථ ලෝකවාසී මුස්ලීම් ජනතාවම නියමිත දිනක එකම ස්ථානයකට ඒකරාශි වී එකම වර්ණයෙන් හා එකම ආකාරයට (නොමසන ලද) සළුකඩ දෙකක් දවටාගෙන (කාන්තාවන්ට මසින ලද ඇදුම් ඇදිය හැක) කිසිදු උස් පහත් භේදයකින් තොරව කුඩා, මහළු, කාන්තා, පිරිමි සියලු දෙනා  සාමූහික ලෙස දේව වන්දනයේ නිරත වීම සුන්දර මෙන්ම අසමසම ආදර්ශමත් දසුනකි. මෙහි ඇති අසමසම ආදර්ශය  හා එම නැමදුමට මුස්ලීම් සමාජය දක්වන උනන්දුව උද්වේගය මුස්ලීම් නොවන සමාජය මවිත කරවන්නකි.  එයට හොදම නිදසුන බ්‍රිතාන්‍ය හිටපු අගමැති ‘ග්ලාඩ්ස්ටෝන‘ නැමැත්තා වරක් තම පාර්ලිමෙන්තුවේ මේ සම්බන්ධ කළ ප්‍රකාශය ගෙනහැර දැක්විය හැක. පහතින් ඉදිරිපත් කරන එම ප්‍රකාශය වත්මන් මුස්ලීම් සමාජයේ ද අවධානයට යොමුවීම කාලීන අවශ්‍යතාවයක් යයි සිතේ. එයට හේතුව මෙම හජ් වන්දනයේ යථාර්තය විටෙක මුස්ලීම් සමාජයට වඩා හොඳින් ඔවුන් අවබෝධ කරගෙන ඇතැයි සිතෙන බැවිණි. එම ප්‍රකාශය මෙසේ ය,


කරුණු 03ක් සම්බන්ධයෙන් අප තීරණයක් ගන්නා තුරු මුස්ලීම්වරුන් හමුවේ අපගේ සංකල්ප පිළිනොගැනෙනු ඇත. 

එහි පලමුවැන්න - මේ කුර්ආනය (යයි  පවසා ශුද්ධ වූ කුර්ආනයක් කෑලි කෑලිවලට ඉරා දමා) මෙලෙස ඉරා දැමීමෙන් එය විනාශ කළ හැකි වේ යයි මා විශ්වාස නොකරමි. එය මුස්ලීම්වරුන්ගේ සිත් තුලින් ඉරා දැමිය යුතු ය.

දෙවැන්න - සිකුරාදා දිනයන් හි (ප්‍රදේශවාසි) ඔවුන් සියල්ල ඒකරාශී වීම වැළැක්විය යුතු ය. 

තුන්වැන්න (හජ් වන්දනය තුල) අරෆා නම් ස්ථානයේ දී ලෝකවාසි සියල්ල ඒකරාශී වීම වැළැක්වීම කළ යුතුය.


ඔහුගේ එම වෛර්‍යය ප්‍රකාශය තුල මුස්ලීම්වරුන්ගේ මෙම ඒකරාශීවීම් සම්බන්ධයෙන් ඔවුන් මොනතරම් අවුල් වී සිටිනවාද? යන්න මනාව පැහැදිලි වේ. ශුද්ධ වූ කුර්ආනයේ 3-103 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) ‘තවද නුඹලා සියලු දෙනා අල්ලාහ්ගේ (කුර්ආනය නැමැති) ලණුව දැඩිව අල්ලා ගන්න. නුඹලා නොබෙදෙන්න‘ යනුවෙන් මුස්ලීම් සමාජයේ සාමූහිකත්ව බැඳීම අවධාරනය කරයි. ඒ අනුව මේ ශුද්ධ වූ කුර්ආනය එකම මඟපෙන්වීමක් ලෙස ගෙන ඒ වටා සමස්ථ මුස්ලීම් සමාජයම පෙලගැසී ඒ අනුව කටයුතු කරයි. එම කුර්ආනයේ මඟපෙන්වීම අනුව සෑම සතියකම සිකුරාදා ‘ජුම්මා‘ නමින් ප්‍රදේශයේ  දේවස්ථානයකට සියළු මුස්ලීම්වරුන් ඒකරාශි වී ආගමික කරුණූ ඉගෙනගැනීමක් සිදුකරයි.  ඒ ආකාරයටම කුර්ආනයේ මඟපෙන්වීම අනුව සමස්ථ ලෝකවාසී මුස්ලීම් ජනතාව එකම දිනයක මක්කාව නම් නගරයට ඒකරාශි වී හජ් නැමදුම ඉටුකිරීමක් ද සිදුකරයි. මෙහිදී  සමස්ථ ලෝක වාසී මුස්ලීම් බැතිමතුන් මක්කාවේ පිහිටි අරෆා නම් විවෘත භූමියකට ඒකරාශි වී එකම ආකාරයේ වස්ත්‍රයකින් සැරසී දිනයක් පුරාවට එහි රුදිසිට ආගමික කටයුතුවල නිරතවීම මුස්ලීම් සමාජයේ සාමූහිතක්වය වර්ධනය කරන ප්‍රබල අවස්ථාවකි. මේ අනුව ඉහත අවස්ථා තුන ග්ලාඩ්ස්ටෝන්ලාට  හිසරදයක් වූවත් මුස්ලීම් සමාජයට ආශිර්වාදයකි. ඉහත අවස්ථා තුනෙන් අරෆා නම් ස්ථානයේ සමස්ථ ලෝකවාසී මුස්ලීම් ජනතාව ඒකරාශිවීම මුස්ලීම් සමාජයට තිබෙන ඉමහත් භාග්‍යයකි. මෙය තරමක් දුරකට හෝ ග්ලාඩ්ස්ටෝන වටහාගැනීම නිසායි ඉහත ආකාරයේ ප්‍රකාශයක් ඔහු ප්‍රසිද්ධියේ සිදුකලේ. ඒ අනුව මෙහි තෙවන අවස්ථාවට පසුබිම් වී ඇති හජ් වන්දනය පිලිබදව හා එයට පසුබිම් වී ඇති සිද්ධ මාලාව පිළීබඳව අවබෝධයක් මෙම යහමග අඩවිය තුලින් මෙතැන් සිට ලබාදීමට අදහස් කරමි.


මෙහි ප්‍රථමයෙන් සදහන් කළයුතු කාරණයක් ඇත. එනම්, ‘හජ්‘ වන්දනය ඉස්ලාම් දහම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම (කොන්දේසි සහිතව) අනිවාර්ය කරන වගකීමක් යන්නයි. එනම් ආර්ථිකමය (වත්කම් ඇති) හා ශාරීරික (නිරෝගී) ශක්තිය ඇති වැඩිහිටි වයස ලද (කාන්තාවක් නම් භාරකරුවකු සිටීම අත්‍යාවශ්‍ය වේ) සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම මෙම වගකීම අනිවාර්ය වේ. මෙය ඉස්ලාම් පහත ආකාරයට අවධාරණය කරයි. එනම්,


(1)වැඳුම් පිදුම් කිරීමට අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත, මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාය, යන්න විශ්වාසයෙන් යුතුව පිළීගැනීමත්, (2) සලාතය (වන්දනය නිසි ලෙස) ඉටු කිරීමත්, (3) සකාත් (නම් අනිවාර්‍ය බද්ධ) නිසි ලෙස බෙදා දීමත්, (4) හජ් වන්දනයේ නිරත වීමත්, (5) රමලාන් (උපවාස) මාසයේ උපවාසය රැකීමත් යන කරුණු 05 මත ඉස්ලාම් ගොඩනැඟී ඇත.


මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්


ඉහත හදීසයට අනුව හජ් වන්දනය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. ඉහත හදීසයේ සඳහන් කරුණු (යුතුකම්) 05 හොඳින් විමසා බලන විට එහි ‘හජ් වන්දනය‘ යන්න අනික් කාරණයන් 04 ට වඩා තරමක වෙනස් ස්වරූපයක් ගනී. සකාත්, උපවාසය හෝ සලාත් යනාදී වන්දනයන් මෙන්ම ‘හජ් වන්දනය‘ ද තවත් එවැනි එක් ක්‍රියාවක් නොවේ. එය බොහෝ ක්‍රියාකාරකම්වල එකතුවක් වන ක්‍රියාදාමයකි. එය තවත් සරල පවසනවා නම් අතීතයේ එනම්, මුහම්මද් (සල්) තුමාණන්ටත් බොහෝ කලකට පෙර ජීවත් වූ ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකුගේ ‘දේව අවනතභාවය හා දෙවියන් වෙනුවෙන් කර ලද කැපකිරීමන්‘ මෙම හජ් වන්දනයේ පදනම වී ඇත.  මිට වසර 4100 කට පමණ පෙර මක්කාව ආශ්‍රිත    භූමියක ජීවත් වූ ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු වන ඉබ්බ්‍රාහීම් (අලෛ)  (බයිබලයේ සදහන් ආකාරයට ඒබ්‍ර්හාම්)තුමාණන්ගේ ජිවිතය හා බැදුනු සිද්ධින් මෙම හජ් වන්දනයට මූලික වී ඇත. ඒ පිළිබඳව කෙටියෙන් දැන් විමසා බලමු. 


මීට වසර 4100 කට පෙර විසූ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ගේ පියා ඇතුළු එම සමාජය දැඩි ලෙස පිළිම වන්දනයේ නිරත වූ සමාජයක් විය. එසේම ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ගේ පියා පිළිම නෙලීම තම වෘත්තිය ද කරගත් කෙනෙකු විය. එවන් වූ සමාජයක ජීවත් වූ ඉබ්බ්‍රාහීම් නැමැත්තා අල්ලාහ් (දෙවි) විසින් දේව වක්තෘවරයෙකු ලෙස තෝරාපත් කොට ඉස්ලාම් දහම ප්‍රචාරයේ වගකීම ඔහු කර මත තබන ලදී. ඒ අනුව ඉස්ලාම් දහම් ප්‍රචාරණ මෙහෙවරේ නිරත වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ට තම මෙහෙවර ජය ගැනීමට තිබූ බාධක එකක් දෙකක් නොවීය. එවන් බාධක හමුවේ තරුණයෙකු ලෙස හිඳ ඉතා සැලසුම් සහගත ලෙසත්, බුද්ධිමත් ලෙසත් එවකට සමාජයට ඉස්ලාම් දහම ප්‍රචාරය කරන්නටත්, මිත්‍යාවන්ගෙන් එම සමාජය මුදවා ගැනීමටත් කළ මෙහෙවර ඉතා විශිෂ්ඨ එසේම මවිත කරවන්නක් බව ශුද්ධ වූ කුර්ආනය කියවීමේ දී පෙනීයයි. එතුමාණන්ගේ එම මෙහෙවර ශුද්ධ වූ කුර්ආනය අදටත්  අපට කියාපාන්නේ එය සර්ව කාලීන ආදර්ශයක් මෙන්ම විශිෂ්ඨ වූ මෙහෙවරක් වූ නිසාම පමණි. 


එවන් වූ කරණු ඔබගේ බුද්ධිමත් විමර්ශනයට පෙලගසන්නේ නම්,


> කෲර පාලකයා හමුවේ පවා ධෛර්යයෙන් හා බුද්ධිමත් ලෙස කටයුතු කළ ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 2-258 මඟින් පැවසේ,

> තම පියා හමුවේ ධෛර්යයෙන් සත්‍ය දහම අවධාරනය කල ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 6-74, 9-114,19-42 සිට 49, 26-70 සිට 80, 37-85 සිට 89 දක්වා වූ වාක්‍යයන් පැවසේ,

> සත්‍ය දහම අවබෝධ කරගත් ආකාරය හා ඒ සඳහා තමන් තුල ගොඩනැඟූ තර්ක සංවාද පිළිබඳව ශුද්ධ වූ කුර්ආනයේ 6-76,77,78 හා 79 හි සදහන් වේ,

> එවකට පැවති මිත්‍යා ඇදහිල්ලක් වන පිළිම වන්දනයට එරෙහිව නැඟි සිට කටයුතු කළ ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 21-52 සිට 67, 37-91 සිට 96, 60-4 යනාදී වාක්‍යයන් පැවසේ,


ඉස්ලාම් දහමේ උන්නතිය වෙනුවෙන් මෙලෙස විශිෂ්ඨ මෙහෙවරක නිරත වූ එතුමාණන්ව අල්ලාහ් (දෙවියන්) ඉතා සංකීර්ණ හා ගැඹුරු පරීක්ෂණවලට බඳුන් කිරීම වර්තමාන මුස්ලීම්වරුන් වන අපව අදටත් මවිතයට පත් කරවන්නකි. ඒ පිළිබඳව කෙටි සඳහනක් කරන්නේ නම්, පරිපූර්ණ දේවගැති වක්තෘවරයෙකු වන ඉබ්‍රාහීම් (අලෛ) තුමාණන් සත්‍ය දහම එවකට පැවති ජනතාව මධ්‍යයේ ප්‍රකාශ කිරීම හේතුවෙන් එහි පාලකයන්ගේ කෘර දඬුවම්වලට ගොදුරුවන්ට සිදු වූ බව ශුද්ධ වූ කුර්ආනය පවසයි. ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන ලෙස තර්ජනය කොට විටෙක ගිනිමැලයන්ට පවා එතුමාණන්ව දමන ලද බව එහි සදහන් වේ. නමුත් එතුමාණන් තම ස්ථාවරයෙන් කිසි විටෙක සැලුනේ නැත. මෙලෙස බාධක හමුවේ ජීවිත් වූ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් විවාහපත් වූවායින් පසු (සෑම වැඩිහිටියෙක්ම අපේක්ෂා කරන) දරු සුරතල එතුමාත් ඉහලින්ම අපේක්ෂා කරන ලදී. ඒ වෙනුවෙන් අල්ලාහ් (දෙවියන්)ගෙන් ප්‍රාර්ථනා කරමින් කාලය ගෙවී ගොස් ඒ යුවල ඉතා මහළු වියට පත් වුවද දරු ඵල නොලැබුණි. අවසානයේ  ‘දැන්නම් ඉතින් අපට දරු සම්පතක් නොලැබෙනු ඇත (යන්න සිතෙන තරමට වයොවෘද්ධ වූ අවධියක)‘ ඔවුනට දරු සම්පත් පිළිබඳව සුභාරංචි (මලාඉකාවරුන් (දේවතාවන්) මඟින්) අල්ලාහ් (දෙවි) ප්‍රකාශ කරන ලදී. එය ශුද්ධ වූ කුර්ආනයේ 11-71, 72,73, 14-39, 15-53, 54,55, 51-29… යනාදී වාක්‍යයන්  මඟින් කියවීමට හැක. ඉහත සඳහන් ආකාරයට එම යුවලට දේවදූතයන් මඟින් සුභාරංචි පැවසූ විට එයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය ශුද්ධ වූ කුර්ආනය 11-72 මඟින් මෙසේ  පවසයි. 


එයට ඔවුන් පැවසුවා ‘අහෝ ශෝකයකි!, මම වයොවෘද්ධි වී මගේ ස්වාමියාද මහළුවියට පත්ව ඇත. මෙවන් අවධියක මා දරුවකු බිහිකරයි ද? නියත වශයෙන්ම එය විශ්මය ජනක කාරණයකි‘


ඉහත සදහන් ආකාරයට එතුමාණන්ට දරු භාග්‍යය ලබාදෙන දෙවියන් එම දරුවා බිහි වූ පසු එම කිරිකැටි දරුවාගේ සුරතල්  බැලීමට හෝ එය විඳීමට අල්ලාහ් (දෙවි) එතුමාණන් හට අවස්ථාව ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට එතුමාණන්ව තවත් පරික්ෂණයකට දෙවියන් බඳුන් කරයි. එනම්, තම වයෝවෘද්ධ ආදරණීය බිරිඳ හා තම කුළුදුල් කිරිකැටි දරුවා මක්කා නම් කාන්තාරයට ගෙන ගොස් එහි තනිකොට පැමිණෙන ලෙස අණ කරයි. ගහක් කොලක් පිපාසයට බොන්න දිය බිඳක් නොමැති කාන්තාරයක තම කිරිකැටි දරුවා සහා ආදර බිරිද හැරදා දේව නියෝගයට අවනතව ඉතා දුක්මුසු ලෙස පැමිණෙන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගෙන් මෙලෙස ප්‍රාර්ථනාවක් ද එහිදී කරයි. එනම්,


අපගේ දෙවියණේ!, නියත වශයෙන්ම මාගේ පවුල (දරුවා හා බිරිද) උතුම් වූ ඔබේ නිවස වන නටඹුන්ව පැවතී ක:බාව) ආසන්නයේ, ගහක් කොලක් නොමැති මිටියාවතක ඔබ නැමදුම සඳහා පදිංචි කොට පැමිණියෙමි. දෙවියණේ!, මිනිසුන් අතුරින් සමහරකගේ හදවත් තුල ඔවුන් කෙරෙහි ආදරයක් ඇති කරත්වා!,  ඔවුන් කෘතගුණ දැක්වීම පිණිස ඔවුනට පළතුරු (යනාදී ආහාර) ලබා දෙත්වා!


ශුද්ධ වූ කුර්ආනයේ 14-37


එතුමාණන්ගේ එම ප්‍රාර්ථානාවට ප්‍රතිචාර දැක් වූ අල්ලාහ් (දෙවියන්) එදා පටන් අද දක්වා පමණක් නොව අනාගතයේදීත් කිසිදු දිනෙක නොහිදෙන ‘සම් සම්‘ නම් වූ දිය උල්පතක් විශ්මිත අයුරින් එම කාන්තාරයේ මතු කරන ලදී. අදටත් විනාඩියකට ජල ගැලුම් 700ක් පමණ ජලය ලබාගන්නා එම උල්පත හජ් වන්දනාකරුවන්ගේ දැඩි ආකර්ශනය දිනාගත් පානයක් ව පවතී. (මේ පිළිබඳව ඉදිරියේදී තවත් කරුණු අණාවරණය කිරිමට අදහස් කරමි) එපමණක් නොව එම භූමිය ආහාර පානවලින් පිරුණු භූමියක් බවට ද  පත් කරන ලදී. මේ හේතුව නිසා කාන්තාරයක්ව පැවැති එම භූමිය කෙමෙන් කෙමෙන් ජනාවාස ඉදිවෙමින් මක්කා නම් නගරය බිහිවන්නට විය. මෙය ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ කැපකිරීමට හා අවනතභාවයට අල්ලාහ් (දෙවියන්) ලබා දුන් මහත් ගෞරවයකි.


මෙලෙස දේව නියමය පරිදි පරිපූර්ණ ලෙස දෙවියන්ට අවනතව කටයුතු කළ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් දීර්ඝ කාලයක් (වසර ගණනාවක්) තම දරුවා හා බිරිඳගෙන් වෙන්ව ජිවත් වීමෙන් අනතුරුව (දේව නියමය මත) නැවත ඔවුන් හා එක් වීමේ භාග්‍යය එතුමාණන්ට හිමි වේ. දරු සෙනෙහස හිතේ පුරවා ගෙන දීර්ඝ කාලයකට පසු තම කුළුදුල් දරුවා සමඟ එක්වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ව අල්ලාහ්(දෙවියන්) තවදුරටත් පරික්ෂා කිරිමට තිරණය කරයි. එහිදී ඔහුට අල්ලාහ් (දෙවියන්) දෙන අභියෝගය එතරම් සරල එකක් නොවේ. එය එතුමාණන්ට නොව මේ මිහිමත කිසිදු පියෙකුට ඉටු කළ නොහැකි සංකීර්ණ අභියෝගයක් විය. එනම් තම ‘කුළුදුල් දරුවා තම අතින්ම ඝාතනය කළ යුතු‘ යන්නයි. දරුවෙකු අපේක්ෂාවෙන් බලාපොරොත්තු පොදි බැදගෙන ජීවත් වී ‘දැන්නම් දරුවෙකු ලැබෙන්නේ නැහැ‘ යැයි සිතෙන අවධියක එතුමාණන්ට දරු සම්පත ලබා දී ඒ දරුවාගේ දරු සුරතල් බැලීමට අවස්ථාව ලබා නොදී ඔවුන් දෙදෙනා දීර්ඝ කාලයකට දුරස් කොට ඉන්පසු ඔවුන් දෙදෙනා හමුවීමට සලස්වා එතැන දී ‘තම අතින්ම එම ආදර දරුවා මරා දමන්න‘ යයි අල්ලාහ් (දෙවි) අණ කරන්නේ නම් එතුමාණන්ව දෙවියන් කොතරම් ගැඹුරින් පරීක්ෂා කරනවා ද? යන්න මොහොතක් විමසා බලන්න.


ආරම්භයේ පටන් විවිධ කැපකිරීමන් සිදු කරමින් දෙවියන්ට අවනත වූ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් හට මහළුවියේ දී ලැබුණු ඒ කුළුදුල් දරුවා තම අතින් ම ඝාතනය කිරීම යන්න පියෙකු ලෙස එතරම් පහසු කටයුත්තක් නොවේ යන්න මා පවසා ඔබ දැනගැනීමට අවශ්‍ය නොවනු ඇත. නමුත් දෙවියන් කෙරෙහි පැවති විශ්වාසය හා අවනතභාවය නිසා එම දේව නියෝගය ද ඉටු කිරීමට එතුමා පෙළඹේ. ඒ අනුව තම දරුවා වන ඉස්මායිල් (අලෛ) තුමාව ඝාතනය කිරීම සදහා නිවසින් බැහැරව රැගෙන යන ඉබ්‍රාහීම් (අලෛ) තුමා එක්තරා ස්ථානයකට පැමිණ දේව නියමය පරිඳි තම දරුවා ඝාතනය කිරීමට සූදානම් වේ. එහිදී අල්ලාහ් (දෙවියන්) විසින් ‘එම දරුවා ඝාතනය නොකරන ලෙසත්, ඒ වෙනුවට ප්‍රාණියකු ඝාතනය කරන්න‘ යනුවෙන් අණ කොට ඔහුව එම පරීක්ෂණයෙන් ද සමත් කරයි. මේ පිළිබඳව විස්තර ශුද්ධ වූ කුර්ආනයේ 37-102 සිට 108 දක්වා වූ වාක්‍යයන් මගින් ඔබට දැකගත හැක. මෙලෙස මහත් කැපවීමක් කරමින් පරිපූර්ණ ලෙස දෙවියන්ට අවනත වූ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් පිළිබඳව ශුද්ධ වූ කුර්ආනය මඟින් අල්ලාහ් (දෙවියන්) පවසන පහත පාඨයන් මොහොතක් විමසා බලන්නේ නම් එතුමාණන්ගේ අවනතභාවය කොතරම්ද යන්න මනාව ඔබට අවබෝධ කර ගත හැකි වනු ඇත. එනම්,


තවද ඉබ්බ්‍රාහීම්ව ඔහුගේ දෙවියන් විවිධ නියෝග නිකුත් කර (ඉමහත් ලෙස) පිරික්සුමට ලක් කළ අවස්ථාවේ දී ඔහු ඒ සියල්ල පූර්ණ වශයෙන් ඉටු කලේ ය. (එබැවින් අල්ලාහ් (දෙවියන්) ඔහුට) ‘නියත වශයෙන්ම මා ඔබව මිනිසුන්ට (සෘජු මාර්ගය පෙන්විය හැකි) ප්‍රධානියෙකු බවට පත් කරන්නෙමි’ යැයි පැවසුවේ ය. එයට ‘මාගේ පරම්පරාවේ දරුවන්වත් එලෙස කරන්නේද?’ යනුවෙන් (ඉබ්බ්‍රාහීම්) විමසුවේය. එයට ‘අපරාධකරුවන්ට මාගේ (මෙම) පොරොන්දුව අත් වන්නේ නැත’ යයි (අල්ලාහ් (දෙවියන්)) පැවසුවේය.


ශුද්ධ වූ කුර්ආනය  2-124


(තවද) ඔහුට ඔහුගේ දෙවියන් ‘ඔබ (මට) අවනත වනු!’ යයි පැවසූ අවස්ථාවේ දී, ඔහු (කිසිදු පැකිලීමක් නොමැතිව) ‘සකල ලෝකයෙහිම දෙවියන් වන ඔබට මා අවනත වුණෙමි’ යයි පැවසුවේ ය.


ශුද්ධ වූ කුර්ආනය – 2-131


ඉතිහාසයේ කිසිදු තැනක දක්නට නොමැති ආකාරයට මෙපමණ විශාල කැපකිරීමන් සිදු කරමින් සැබෑ දේවගැති මුස්ලිම්වරයෙකු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් අල්ලාහ් (දෙවියන්) එතුමාණන්ට උතුම් වූ භාග්‍යයක් ලබා දෙන ලදී. ඒ මේ මිහිපිට වෙන කිසිවකුටත් නොලැබුණු හා කිසිදු දිනක නොලැබෙන ‘අල්ලාහ් (දෙවි)ගේ මිත්‍ර‍යා‘ යන භාග්‍යයයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 4-125 මඟින් අල්ලාහ් (දෙවියන්) අපට පවසයි. එපමණක් නොවේ, එතුමාණන්ගේ කැපකිරීම හේතුවෙන් එතුමාණන්ට හා එතුමාණන්ගේ පවුලට අල්ලාහ් (දෙවියන්) ලබා දුන් භාග්‍යයන් ද සුළුපටු නොවන බව පැවසූ මුහම්මද් (සල්) තුමාණන් ‘එම භාග්‍යයන් මටද ලැබීම සදහා නුඹලා මා වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරන්න‘ යයි අපට පවසන ලදී. ඒ අනුව ලොව පුරා වෙසෙන සියලු මුස්ලිම්වරුන් දිනපතා (දිනකට කිහිපවතාවක්),


අල්ලාහ් (දෙවියනේ)!, ඉබ්බාහීම් තුමාණන්ට භාග්‍යයන් ලබා දුන්නා සේ මුහම්මද් (සල්) තුමාණන්ටත් ලබා දෙන්න, ඉබ්බ්‍රාහීම් තුමාගේ පවුලට භාග්‍යයන් ළඟා කරා සේ මුහම්මද් (සල්) තුමාගේ පවුලටත් භාග්‍යයන් ළඟා කරන්න.


යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් වෙනුවෙන් අදටත් අප ප්‍රාර්ථනා කරන්නෙමු. මෙම ප්‍රාර්ථනය මුහම්මද් (සල්) තුමාණන් වෙනුවෙන් මේ ලෝක විනාශය දක්වාම ලොව සෑම මුස්ලීම්වරයෙකුම දිනපතා ප්‍රාර්ථනා කරන්නේ නම්, ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ටත්, එතුමාණන්ගේ පවුලටත් අල්ලාහ් (දෙවියන්) ලබා දී ඇති භාග්‍යයන් කොතරම් උතුම් වූ එකක් විය යුතු ද? යන්න මා වෙනම පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. 


මෙතරම් ශ්‍රේෂ්ඨත්වයක් ළඟා කරගත් ඉබ්බ්‍රාහිම් (අලෛ) තුමාණන්ට අල්ලාහ් දෙවියන් ලබා දුන් තවත් ගෞරවයක් මෙහි දී සඳහන් කළ යුතු ව ඇත. ඒ ලොව ප්‍රථම දෙව් මැදුර වන ක:බාව ප්‍රතිසංස්කරණය කොට එය වන්දනය (හජ් වන්දනය) සදහා ජනතාවට ආරාධනා කිරීමේ භාග්‍යයි. ඒ අනුව ශුද්ධ වූ දේවස්ථානය ප්‍රතිසංස්කරණ කොට එතුමාණන් සමස්ථ මිනිස් සමාජයට ආරාධනා කරන ලදී. එම ආරාධනය එවකට ලොව ජීවත් වූ මුස්ලීම්වරුන් සදහා පමණක් වූ එකක් නොව එදා පටන් ලොව අවසාන දිනය දක්වා වූ සෑම මුස්ලිම්වරයෙකු සඳහාම පොදු වූ ආරාධනයක් බව මුහම්මද් (සල්) තුමාණන් අපට පවසන ලදී. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 2-127, 14-35, 22-26, 22-27, 2-125, 3-97… යනාදී වාක්‍යයන් මඟින් ඔබට දැක ගත හැක. ඒ අනුව ලොව නන්දෙසින් හජ් වන්දනය සදහා පැමිණෙන සියලු මුස්ලිම්වරුන් ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් හා එතුමාගේ බිරිඳ එදා කළ කැපකිරීමන් හා ඒ හා බැඳුණු ක්‍රියාකාරකම් සංකේතාත්මක ලෙස ක්‍රියාවට නැංවීම මෙම හජ් වන්දනයේ ප්‍රධාන අංගයක් ලෙස ඉස්ලාම් මුස්ලීම් සමාජයට අවධාරනය කරයි. මෙයද එතුමාණන් හට ඉස්ලාම් ලබා දී ඇති තවත් ගෞරවයකි. මෙවන් වූ ශ්‍රේෂ්ඨත්වයන් පිරි එතුමාණන්ව අල්ලාහ් (දෙවි) ‘මොහු (තනි පුද්ගලයෙකු නොව) එක් ජන සමූහයක්‘ යැයි ශුද්ධ වූ කුර්ආනයේ 16-120 ආමන්ත්‍රණය කොට එතුමාණන්ගේ මෙහෙවර සදහා අල්ලාහ් දෙවියන් ලබා දෙන සහතිකය මුස්ලීම් සමාජය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.


ඉබ්බ්‍රාහීම් එක් ජන සමූහයක් ලෙසත්, අල්ලාහ් (දෙවියන්)ට අවනත වූ කෙනෙකු ලෙසත්, සත්‍ය මාර්ගයේ සිටියේ ය. (දෙවියන්ට) සමානයන් තබන්නෙකු ලෙස ඔහු සිටියේ නැත.


අල්ලාහ් (දෙවියන්)ට පරිපූර්ණ ලෙස අවනතව, සත්‍ය මාර්ගයෙන් බැහැර නොවී, දේව විශ්වාසයේ නොසැලී, දෙවියන්ට සමානව කිසිවක් හෝ කිසිවකු නොගෙන ක්‍රියා කළ එතුමාණන් සැබැවින්ම විශිෂ්ඨ වූ උත්තමයෙකි. එවන් වූ විශිෂ්ඨ චරිතය තුල උගත යුතු බොහෝ පාඩම් අපට අදටත් ඉතිරිව ඇත. එතුමාගේ ජීවිතය තුල පැවැති අවනතභාවයත්, කැපකිරීමත්, විශ්වාසයත් වර්තමාන මුස්ලීම්වරුන් වන අපට බොහෝ දෑ කියාපාන්නකි. එපමණක් නොව දහම් ප්‍රචාරයේ පැවැති බුද්ධිමත්භාවයත්, ධෛර්‍යයත්, නොසැලීමත්, ඉවසීමත් අපට බොහෝ දෑ සිතීමට පොළොඹවයි. ඒ සියල්ල සාරාංශ කොට අවසාන වශයෙන් පවසන්න ඇත්තේ ආදර්ශ ලබන සමාජයකට එතුමාණන් පරිපූර්ණ ආදර්ශයක් යන්න පමණි.



ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Aug 7

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives