හජ් සහ උම්රා – ඉටුකළ යුතු ආකාරය - කොටස - 03 from ibnujameel's blog

හජ් ඉටුකළ යුතු ආකාරය

 

හජ් තමත්තවු

 

ඉහත සඳහන් කළ ආකාරයට උම්රාව අවසන් කොට යළිත්  හජ් සඳහා දුල් හිජ්ජා මස 8වන දින ඉහ්රාම් ඇඳ ඉටුකරන හජ් කර්තව්‍ය හජ් තමත්තවු වේ. මෙහිදී උම්රාව ඉටුකර ඉහ්රාමයෙන් මිදුනු පසු යළිත් දුල් හිජ්ජා මස 8වන දින හජ් කර්තව්‍ය සඳහා ඉහ්රාම් ඇඳගන්නා තුර ඉහ්රාමය නිසා තහනම් වූ සියල්ල කළ හැකි වේ.

 

හජ් කිරාන්

 

හජ් සහ උම්රාව එකම ඉහ්රාම් ඇඳුමකින් ඉටුකිරීම හජ් කිරාන් වේ. තමත්තවූ වලදී මෙන් ඉහ්රාමයෙන් මිදී යළි හජ් සඳහා ඉහ්රාම් ඇදීමක් මෙහි සිදු නොවේ. උම්රාවට ඇඳගත් එම ඉහ්රාමයෙන්ම හජ් කර්තව්‍යද ඉටුකළ යුතුය. කිරාන් යන්නෙහි අර්ථය එකතු කර ඉටුකිරීම නම් වේ.

 

කිරාන් ක්‍රමයට හජ් ඉටුකරන විට උම්රා කරන අවස්ථාවේ ස‍ෆා හා මර්වා අතර සඊ කළ පසු, හජ් කරන අවස්ථාවේ සඊ කිරීමට අවශ්‍ය නැත. එසේ නැත්නම් උම්රා කරන අවස්ථාවේ සඊ නො කරන හජ වලදී පමණක් සඊ කළ හැකිය.

 

තමත්තවූ හා කිරාන් යන ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට හජ් කර්තව්‍ය ඉටුකළද, ඔවුන් කුර්බාන් දිය යුතුය. එසේ කුර්බාන් දිය නොහැකි අය මක්කාවේදී දවස් තුනක් හා තම ගමට හැරුණු පසු දවස් හතක් උපවාසය රැකිය යුතු වේ.

 

හජ් ඉෆ්රාද්

 

හජ් කර්තව්‍ය පමණක් ඉටුකිරීම ඉෆ්රාද් වේ. මේ ආකාරයට හජ් කරන විට ඔවුන් උම්රා කිරීමට අවශ්‍ය නැත. එම නිසා ඔවුන් කුර්බාන් දීමටද අවශ්‍ය නැත. ඉෆ්රාද් හා කිරාන් අතර ඇති වෙනස වන්නේ නීයත් නම් චේතනාව හා කුර්බාන් දීම හැර වෙන කිසිඳු වෙනසක් නොමැත.

 

දුල් හජ් මස 8වන දින

 

දුල් හජ් මස 8වන දින ලබ්බයික් හජ්ජන්යැයි පවසා හජ් කර්තව්‍ය සඳහා ඉහ්රාම් ඇඳගත යුතු වේ. ඉහත උම්රාවලදී ඉහ්රාමයට පැවසූ නීතිරීති සියල්ල හජ්වලටද ඉහ්රාම් ඇඳගත පසු වලංගු වේ. තමා සිටින ස්ථානයේදීම හජ් සඳහා ඉහ්රාම් ඇඳගෙන තල්බීයාව පැවසිය යුතු යි. දුල් හජ් 10වන දින ජම්රතුල් අකබාවේදී ගල් ගසන තුර නොකඩවා තල්බීයාව පැවසිය යුතුය.( සාක්ෂි මුස්ලිම් – 2137, බුහාරී – 1683,1687)

 

මෙසේ ඉහ්රාමය ඇඳගෙන මිනා නම් ස්ථානයට ගොස් එහි ඊලඟ දින එනම් 9වන දින උදය වරුව දක්වා රැඳිය යුතුය. මිනාහි ලුහර්,අසර්,මග්රිබ්, ඉෂා, සුබහ් යන සලාතයන් අදාල වේලාවන්හිදී ඉටුකළ යුතුය. ලුහර්, අසර් හා ඉෂා නම් රකඅත් හතරකින් යුතු සලාතයන් රකඅත්දෙදක් ලෙස කස්රු(කෙටිකර) කර  ඉටුකළ යුතු වේ.( මුස්ලිම් – 2137)

 

දුල් හජ 9වන දින අර‍ෆා නම් ස්ථානයට යෑම

 

සූර්යා උදාවීමත් සමග මිනා නම් ස්ථානයේ සිට අරෆා නම් ස්ථානයට යා යුතු වේ. මෙසේ යන අවස්ථාවේදී තල්බීයාව හා (අල්ලාහු අක්බර් යැයි)  කත්බීරය කිව හැකිය.(බුහාරී 970)

 

 

 

අරෆා නම් ස්ථානයට යන අවස්ථාවේදී නමිරා නමින් ස්ථානයක් හමුවේ. නමිරා යනු අරෆාවට අසල ස්ථානයක් වන අතර මෙය අරෆාවට අයත් නොවේ. සූර්යා මුදුන් වී (එම තත්වය වෙනස වනතුරු එනම්,) මොහොතක් යනතුර මෙම ස්ථානයේ නැවතිය යුතුය.(මුස්ලිම් 2137)

 

සූර්යා මුදුනෙන් බැස ගිය පසු බත්නුල් වාදී(හෙවත් උර්නා) නම් ස්ථානයට පැමිණිය යුතු වේ. මෙම ස්ථානය අරෆා නම් ස්ථානයට මදක් ඉදිරියෙන් පිහිටා ඇත. මෙම ස්ථානයේදී ඉමාම් වරයා දේශණයක් පවත්වනු ඇත.(මුස්ලිම් 2137)

 

නමිරා සහ බතනුල් වාදී නම් ස්ථානවල රැදීමට නොහැකි තරමට සෙනග නම් කෙලින්ම අරෆාව වෙත යෑමෙහි වරදක් නොමැත. අරෆාහි ලුහර් සහ අසර් යන සලාතයන් දෙක ජම්උ කර එනම් එකම වෙලාව ඉටකළ යුතු අතර කස්රු කර එනම් රකඅත් හතර දෙකකට කෙටි කර ඉටුකළ යුතු ය. මෙම අසර් හා ලුහර යන සලාතයන් දෙක සඳහා එකම අදානයක් හා ඉකාමක් දෙකක් පැවසිය යුතු වේ. මෙම අසර් හා ලුහර් සලාතයන් දෙක අතරතුර නබි (සල්) තුමාණෝ වෙන කිසිඳු සලාතයක් ඉටුකර නොමැති බව අවධාරණය කළ යුතුය.(මුස්ලිම් 2137)

 

අරෆා නම් ස්ථානයට ගිය විට අරෆා සීමාව තුළ කුමන ස්ථානයක වුවද රැදී සිටිය හැකිය. හජ් කර්ත්‍යයෙහි ප්‍රධානම අංගය අරෆා නම් ස්ථානයේ රැදීමයි. නබි (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ

 

හජ් යනු අරෆා(වෙහි රැදීම) වේ. 10වන දින රාත්‍රී‍යේ ෆජ්ර් වේලාවට පෙර (අරෆාවට) පැමිණි පුද්ගලයා හජ් යාච්ඡාව අයත් කරගත්තේය

මූලාශ්‍ර ග්‍රන්ථය නසාඊ – 2966,2994තිර්මිදී 814

 

 

 

ජබලුරහිමා හි ප්‍රාර්ථනා කිරීම

 

අරෆාවෙහි කුමන ස්ථානයක වුවද රැදිය හැකි වුවත් ජබලුර් රහිමා නම් කඳු මුදුනට වී එහි සිට කිබ්ලාව දෙසට හැරී ප්‍රාර්ථනා අත් දෙක ඔසවා ප්‍රාර්ථනා කිරීම හා තල්බීයා පැවසීම ඉතාමත් යහපත් ක්‍රියාවකි.

 

අරෆවෙහි වැඩියෙන් ප්‍රාර්ථනා කළ යුතු අතර එහි සිදුවන කුත්බා දේශණයටද සවන් දිය යුතු වේ.

 

අරෆා දිනයේදී උපවාසය රැකීම හජ් ඉටුනොකරන අයට සුන්නත් ක්‍රියාවත් වුවද, එදින හජ් කර්තව්‍ය ඉටුකරන අය උපවාසය රැකීම නබි (සල්) තුමාණන් විසින් තහනම් කර ඇත.(සාක්ෂි බුහාරී – 1658,5604)

 

මුස්දලිෆා නම් ස්ථානයට යෑම

 

ඉර බැස ගිය පසු අරෆාවේ සිට මුස්දලිෆා නම් ස්ථානයට නිශ්ශබ්දව හා සන්සුන්ව ගමන් කළ යුතු වේ. මුස්දලිෆායට ගොස් එක් අදානයක් සහ ඉකාමතයක් පවසා මග්රිබ් සලාතය ඉටුකළ යුතු ය. ඒ සමගම තවත් ඉකාමතයක් පමණක් පවසා ඉෂා සලාතය රකඅත් දෙකකට කෙටිකර (ක්සරු කර) ඉටුකළ යුතු වේ. මෙම සලාත් දෙක අතරත්, ඉෂා සලාතයට පසුවත් වෙනත් කිසිඳු සලාතයක් ඉටුනොකළ යුතු ය. පසුව සුබහ් වේලාව දක්වා නිදාගත යුතු ය. ෆජිර් වේලාව වූ විට එක් අදානයක් හා ඉකාමතයක් පවසා ෆජ්ර් සලාතය ඉටුකළ යුතු ය.(මුස්ලිම් 2137)

 

සුබහ් සලාතය මුස්දලිෆාවේ ඉටුකළ යුතු වුවද, සෙනග නිසා කාන්තාවන්ට වයෝවෘද්යන් වැනි බලහීණයන්ට මධ්‍යම රාත්‍රීයෙන් පසු සුබහ් වේලාවට පෙරම පිටවිය හැකිය. (බුහාරී – 1678,1677)

 

10වැනි දිනය මෂ්අරුල් හරාම් නම් ස්ථානයේ ප්‍රාර්ථනා කිරීම

 

මුස්දලිෆා නම් ස්ථානයේ ෆජ්ර් සලාතය ඉටුකළ පසු, මෂ්අරුල් හරාම් නම් ස්ථානයට ගොස් එහි කිබ්ලා  දිශාවට හැරී අල්ලාහ් ගෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. මෙහිදී අපට අවශ්‍ය ප්‍රාර්ථනාවන් කළ හැකිය. මෙම ස්ථානයේදී අල්ලාහු අක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන වදන් පවසා අල්ලාහ්ව සුවිශුද්ධ කර ඔහුට ප්‍රසංශා කළ යුතුය.සූර්යා උදාවීමට පෙර මෂ්අරුල් හරාම් නම් ස්ථානයේ දුආ කළ යුතුය.(මුස්ලිම් 2137)

 

මුස්දලිෆාහි කුමන ස්ථානයේ වුවද රැදී සිටිය හැකිය.(මුස්ලිම් 2138)

 

 

නැවතත් මිනාවට පැමිණීම

 

10වන දින උදයවරුවේදී සූර්යා උදාවීමට ප්‍රථම මිනාවට නැවත පැමිණිය යුතු ය. මිනාවට යන විට බත්නුල් මුහස්සිර් නම් ස්ථානයේදී මදක් වේගයෙන් ගමන් කළ යුතු වේ. මිනාහි පිහිටා ඇති ජම්රතුල් අකබා නම් ස්ථානයට මාර්ගයෙහි මැදින් ගමන් කළ යුතු වේ.(මුස්ලිම් 2137)

 

මිනාහි ඉටුකළ යුතු කර්තව්‍යයන්

 

ගල් ගැසීම

දුල් හජ් 10වන දින උදය වරුවේදී මුස්දලිෆාවෙන් පිටත් වී මිනාවට ඇතුළු වූ විගස ජම්රතුල් අකබානම් ස්ථානයේ පමණක් ගල් හතක් ගැසිය යුතුය. මුස්දලිෆාහි සිට මිනාවට ඇතුළු වන විට වමතට ජම්රතුල් අකබා නම් ස්ථානය පිහිටා තිබේ.මිනාහි ගල් අහුලාගත යුතු ය. කුඩා ගල් කැට හතක් අහුලා ගත යුතු ය. එක් එක් ගල විසිකරන අවස්ථාවේදී අල්ලාහු අක්බර්යැයි තක්බීර් පැවසිය යුතුය. ගල් හතම ගැසූ පසු කිබ්ලා දිශාවට හැරී අත් දෙක ඔසවා දීර්ඝ වේලාවක් ප්‍රාර්ථනා කළ යුතුය.(බුහාරී 1753)

 

ගල් ගැසිය යුත්තේ සූර්යා උදාවීමෙන් පසුව වුවද, මුස්දලිෆාවේන් රාත්‍රීයේදීම පිටත් වූ කාන්තාවන්ට සූර්යා උදාවීමට පෙරම ගල් ගැසීම කළ හැකිය.(බුහාරී – 1679) සූර්යා මුදුන් වූ මොහොතේ ගල් ගැසීම සිදු නොකලයුතු අතර ඊට පෙර හෝ පසු රාත්‍රීය දක්වා වුවද ගල් ගැසීම කළ හැකිය.(බුහාරී 1723)

 

ජම්රතුල් අකබාවේ ගල් ගැසීම අවසන් කළ පසු මිනාහි කුර්බාන් කරන ස්ථානයට පැමිණ, එළුවෙක් හරකෙක් හෝ ඔටුවෙක් කුර්බාන් දිය යුතුය. මිනාව සම්පූර්ණයෙන්ම කුර්බාන් කරන ස්ථානය යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කර ඇති නිසා මිනාහි ඕනෑම ස්ථානයක කුර්බාන් කළ හැකිය. තමාම කුර්බාන් සතාව කැපීම නබි මග වේ. වෙනත් කෙනෙකු ලවා කැපීමෙහිද ප්‍රශ්ණයක් නොමැත.ඔටුවෙක් හෝ හරකෙ‍ක් කුර්බාන් කරන විට හත් දෙනෙක් එකතු වී එය කුර්බාන් දිය හැකිය.(මුස්ලිම් 2137,2138,2128)

 

තමත්තවු හෝ කිරාන් ක්‍රමයට හජ් ඉටුකරන අය මෙසේ කුර්බාන් දිය යුතු අතර, එසේ කුර්බාන් දිය නොහැකි කෙනෙකුට මක්කාවේදී දවස් තුනක් හා ගමට හැරුණු පසු දවස් හතක් ලෙස දවස් 10ක් උපවාසයෙහි යෙදිය යුතු ය. අයියාමුත්තෂ්රීක් යැයි හඳුන්වනු ලබන 11, 12, 13යන දිනයන්හි එම උපවාසය රැකිය හැකිය.(බුහාරී 1998)

 

හිසකෙස් බෑම

කුර්බාන් දීමෙන් අනතුරුව  හිස බූගෑම කළ යුතුය. සම්පූර්ණයෙන් හිස කෙස් ඉවත් කර හිස බාගත යුතුය. හිස කෙස් බෑම  ඉතා යෝග්‍ය වේ. කාන්තාවන් හිසකෙස් කපා අඩුකර ගැනීම කළ යුතු ය.

 

හිස බූගෑමත් සමග ඉහ්රාමයේදී තහනම් වූ ක්‍රියා වලින් සංසර්ගය හැර අනිකුත් සියලු ක්‍රියා කළ හැකිය.(අබූ දාවූද් 1708)

 

තවාෆුල් ඉහ්ෆාලා

10වන දින ක:බාව වෙත ගොස් (හජ් සඳහා වූ)තවාෆය ඉටුකළ යුතුය. මෙම තවාෆයේදී පළමු වට තුන වේගයෙන් ගමන් කිරීමට හෝ දකුණු උරහිස නිරාවරණය කිරීමට අවශ්‍ය නැත. තවාෆ‍යේ වට හත අවසානයේ මකාමු ඉබ්රාහීම් නම් ස්ථානයේ රකඅත් දෙකක් සලාත් ඉටුකළ යුතු ය. පසුව සෆා හා මර්වා අතර සඊ කළ යුතුය. කිරාන් ක්‍රමයට හජ් කරන අය උම්රා කරන විට සඊ කර ඇත්නම් මෙම අවස්ථාවේදී සඊ කිරීමට අවශ්‍ය නැත.(අබූ දාවූද් 1708, බුහාරී 396)

 

මෙම තවාෆය අවසානයේ සහමුලින්ම ඉහ්රාමයෙන් නිදහස් වන අතර සංසර්ගය ඇතුළු සියලු ක්‍රියාවල යෙදීමට අවසර ඇත.

 

හජ් කර්තව්‍ය ඉටුකර හාජිවරුන්ට හජ් අවුරුදු යාක්ඥාවක් නොමැති අතර, දුල් හජ් 10වන දින නබි (සල්) තුමාණෝ මිනාහි දේශණයක් පැවැත් වූ බවට හදීස්වල සාක්ෂි ඇත.(අහ්මද් 19218,අබූදාවූද් 1669)

 

 

 

ගල් ගැසිය යුතු දින හා ස්ථාන

10වැනි දින ජම්රතුල් අකබා නම් ස්ථානයේ පමණක් ගල් කැට හතක් ගැසිය යුතු බව මීට පෙර සඳහන් කළෙමු. එසේම දුල් හජ් 11, 12, 13යන දිනයන්ද ගල් ගැසිය යුතු දින වේ. මෙම දිනයන්හිද ගල් ගැසීම සඳහා රාත්‍රීයේ මිනාවලම රැදිය යුතු ය. මෙම දිනයන්හිදී සූර්යා මුදුනේ සිට බැසයා‍ම ඇරඹු විට ගල් ගැසිය යුතු ස්ථාන තුනෙහිම ගල් හතක් බැගින් ගැසිය යුතු ය.

 

මිනාවට ඇතුළු වන ස්ථානයේ වමතට ජම්රතුල් අකබා නම් ස්ථානය පිහිටා ඇති බව කළින් සඳහන් කළෙමු. එහි සිට මීටර් 116.77ක දුරින් ජම්රතුල් උස්තා නම් ස්ථානයද ජම්රතුල් උස්තාහි සිට මීටර් 156.4ක දුරින් ජම්රතුල් උලා නම් ස්ථානයද පිහිටා ඇත. මෙම ස්ථාන තුනම ගල් ගැසිය යුතු ස්ථාන වේ.

 

ඉබ්නු උමර් රළි තුමා උලා නැමැති ස්ථානයේ ගල් හතක් ගැසීය. එක් එක් ගල ගසන විට තක්බීර් පැවසිය. පසුව මදක් ඉදිරියට පැමිණ සමතලා තැනක් තෝරා, කිබ්ලාව දෙසට හැරී, දීර්ඝ වේලාවක් සිටගත්තේය. තම අත් දෙක ඔසවා දුආ කලේය. පසුව ජම්රතුල් උස්තා හි ගල් ගැසීය. ඉන්පසු වමතට ගමන් කොට සමතලා තැනක කිබ්ලා දිශාවට හැරී සිටගත්හ.  පසුව අත් දෙක ඔසවා දුආ කළේය. එහි දීර්ඝ කාලයක් ගත කළේය.පසුව බත්නුල් වාදී නම් ස්ථානයේ සිට ජම්රතුල් අකබාවෙහි ගල් ගැසීය. නමුත් එහි නොරැදී පිටත් විය. නබි (සල්) තුමාණෝ මෙසේ කළ බව මම දුටුවෙමියි පැවසීය.

(බුහාරී – 1751, 1753)

 

මේ ආකාරයට දවස් තුනක් මිනාහි ගත කොට ගල් ගැසිය යුතුය. ගල් ගැසීමට මිනාහි නැවතී සිටීම නබි මග වුවද, යම් අනිවාර්ය හේතුවක් නිසා මක්කාවේ නැවතීමට සිදුවේ නම් එසේ කිරීමෙහි වරදක් නොමැත.(සාක්ෂි බුහාරී – 1634,1745)

 

තවාෆුල් විදා (සමුගැනීමේ තවාෆය)

මිනාහි ගල් 11, 12සහ 13දිනයන්හි ගල් ගසා අවසන් වූ පසු, හජ්හි සියලු කර්තව්‍යයන් අවසන් වේ. නමුත් අවසාන වශයෙන් තවාෆුල් විදා නැමැති සමුගැනීමේ තවාෆය ඉටුකළ යුතු ය. තවාෆුල් ඉහ්ෆාලා ඉටුකළ ආකාරයටම මෙම තවාෆයද ඉටුකළ යුතු ය. මෙම තවාෆයත් සමග හජ්හි සියලු කටයුතු අවසන් වන අතර හාජි වරුන්ට පිටත් විය හැකිය.

 

 

ඉබුනු ජෙමීල්


Share:
Previous post     
     Blog home

The Wall

No comments
You need to sign in to comment