ශුද්ධ වූ දේවස්ථානය හා එහි පාරිශුද්ධත්වය from Ibnu Saheer's blog

ලෝක වාසී මුස්ලීම් ජනතාවට සුවිශේෂි වූ දිනයක් වන ‘හජ්’ උත්සව දිනය තව දින කිහිපයකින් උදාවීමට නියමිතය. මේ හජ් උත්සව සමය උදාවීමත් සමඟ මුස්ලීම් ජනතාව අතර නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත. ඒ ‘හජ් වන්දනා ගමන සහා එහි මහිමය’ යන්නයි. මේ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව විමසා බැලීමේ දී එහි මහිමය කියවන හදීසයක් නොහොත් මුහම්මද් (සල්) තුමාණන්ගේ දිව්‍යමය වදනක් මෙලෙස දැකිය හැකි වේ. එනම්, 


‘කිසියම් කෙනෙකු ඉස්ලාම් දහම වැලඳ ගැනීම, හිජ්රත් කිරීම (ඉස්ලාම් විරෝධීන්ගෙන් තමන්ට හෝ තම ආගමික බැදීමට හානීයක් වේවි යන බියනිසා උපන්බිම අතහැර වෙනත් ප්‍රදේශයකට පලායෑම) හෝ හජ් වන්දනය යන තුනෙන් එකක් ඉටුකිරීම යන්න තුලින් එය ඉටුකිරීමට පෙර පැවතී සියළු පාපයන් එමඟින් විනාශ කර දැමීමට එය හේතුවක් වනු ඇත.


මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්



ඒ අනුව (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) ‘දුල්හජ්’ මාසයේ ලොවපුරා වෙසෙන (අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති) මුස්ලීම් ජනතාව අරාබි දේශයේ පිහිටා ඇති ‘මක්කාව’ නම් නගරය මූලික කරගෙන එහි විවිධ වූ ආගමික ස්ථානයන් පදනම් කරගෙන නොයෙක් වූ ආගමික කටයුතුවල නිරතවීම ‘හජ් නැමදුම‘ නමින් වර්ෂයක් පාසා මෙම වකවානුවේ සිදුවන ප්‍රධාන කටයුත්තකි. මෙම කාරණය පිලිබදව තරමක් ගැඹූරින් මීට ඉහත මෙම අඩවිය තුල ‘හජ් වන්දනය හා ඉබ්බ්‍රහීම් නබි තුමා‘ යන ලිපිය තුලින් සාකච්චා කොට ද ඇත. එනමුත් පසුගිය දිනක ‘යහමඟ’ අඩවියට යොමු වූ පාඨක පැනයක් හේතු කොටගෙන මෙම විෂය තවත් පැතිකඩක් ඔස්සේ කථා කිරීමේ අවශ්‍යතාවය මතු වී ඇත.


එම කාරණයට යොමුවීමට ප්‍රථම කෙටියෙන් හෝ ඔබේ දැනුමට එක් කලයුතු කාරණා කිහිපයක් ඇත. එනම්, ‘හජ්’ වන්දනය පිලිබදව කථා කරන විට සමස්ථ මුස්ලීම් සමාජයේ මෙන්ම මුස්ලීම් නොවන සමාජයේ සැලකිය යුතු පිරිසකගේ සිත් තුල මැවෙන රූපයක් ඇත. ඒ මෙහි ඉහතින් දැක්වෙන කළු වර්ණයෙන් හා ඝනක හැඩයෙන් යුතු ගොඩනැඟිල්ලයි. මෙම ගොඩනැඟිල්ල ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ කළු වර්ණයෙන් යුක්ත ගොවනැඟිල්ලක් ලෙසය. නමුත් එහි සැබෑ ස්වරූපය කුමක්ද? යන්නත්, එම ගොඩනැඟිල්ල වටා ගොඩනැඟී ඇති අනිකුත් ඉතිහාසගත තොරතුරු කුමක්ද? යන්නත්, සමාජ මිත්‍යාවන් කුමක්ද? යන්නත් පිලිබදව මීට ඉහත ‘ලොව ප්‍රථම දෙව්මැදුර‘ යන ලිපිය තුලින් මෙම අඩවිය තුල කරුණූ සාකච්චා කොට ඇත. එම නිසා එම කාරණය වෙත මෙහිදී යොමු නොවන අතර මෙලෙස විවිධ පැති ඔස්සේ කරුණූ සාකච්චා කල එම ලිපියන් වෙත ඔබේ බුද්ධීමත් අවධානය නැවත යොමු වියයුතු යන්න සිහි කරමින් ඉහතින් සදහන් පාඨක පැනය වෙත දැන් අවධානය යොමු කරමි.


ශුද්ධ වූ කුර්ආනයේ ‘විශ්වාසවන්තයෙණි!, නියත වශයෙන්ම (අල්ලාහ් (දෙවි)ට) සමානයන් තබා නමදින්නන් අපිරිසිදුවන්තයන්ය. එම නිසා ඔවුන් මෙම ‘හරම්’ ශුද්ධ වූ දේවස්ථානයට මෙම වර්ෂයේ පටන් මින් මතුවට ලඟා නොවිය යුතුය…’


i have taken a question from an anti Islamic FB group. please read this (මෙන්න බලාපල්ලා ගෞරව කෙරිල්ල – මේකෙන් කියන්නේ බහුදේවවාදියො (ඒ කියන්නෙ බෞද්ධයො සහ හින්දුවරු) අපිරිසිදුයි කියලයි. මරු ගෞරව කෙරිල්ල නේද ?


ඉහතින් දක්වා ඇත්තේ ‘යහමග’ට යොමු වූ පාඨක පැනයේ සාරාංශ යයි. ඉහත ශූද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් පැවසෙන කාරණය වෙත අවධානය යොමු කිරීමට ප්‍රථම පාඨක ඔබේ අවධානයට ගෙන ආ යුතු තවත් කාරණා කිහිපයක් ද ඇත. ඉස්ලාම් දහම යනු දිව්‍යමය මඟපෙන්වීමක් මත පමණක් ගොඩනැඟුණූ දහමක් යන්න මුස්ලීම්වරුන් වන අපගේ දැඩි විශ්වාසයයි. ඒ අනුව මක්කාවේ පිහිටි ඉහතින් සදහන් දේවස්ථානය වන ‘බක්කාව’ ශුද්ධ වූ දේවස්ථානයක් යයි ඉස්ලාම් දහම පවසන්නේ නම් එය එලෙසින් පිලිගැනීම මුස්ලීම්වරුන් වන අප‍ගේ අනිවාර්‍ය වගකීමද වේ. නමුත් මෙතැනදී ඔබ බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම්, ශුද්ධ වූ සිද්ධස්ථාන පිලිබදව පැවසෙන ලොව එකම දහම ඉස්ලාම් දහම පමණක් නොවන බව අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවේ. සෑම දහමක ම මෙම තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. නිදසුනක් ලෙස අප රටේ ශ්‍රීපාදයේ පා සලකුණ හා නුවර මාලිගාවේ පත්තිරිප්පුව යනාදීය සදහන් කල හැක. මේ අනුව ශුද්ධ වූ ස්ථාන යන්න ඉස්ලාම් ලෝකයාට පැවසූ අලුත් කාරණයක් නොවේ යන්න මූලික වශයෙන් මෙහි දී අවබෝධ කරගත යුතුය. තවද ලෝකයේ අනිකුත් දහමන් ශුද්ධ වූ ස්ථාන පිලිබදව පවසන නිසා ඉස්ලාම් දහමත් එවැනි තැනක් ලෙස ‘බක්කාව’ හදුන්වා දී තිබෙනවා යයි ද වැරදි අවබෝධයක් ඇති කර ගතයුතු නොවේ. එසේම අනිකුත් ආගම් ඒ ඒ ආගමට ආවේනික ශුද්ධ වූ ස්ථාන සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදයට වඩා ඉදිරියට ගොස් ‘…සමානයන් තබන්නන් අපිරිසිදුවන්තයන්…’ යයි පැවසීම ආගමික අන්තවාදීත්වයක් ලෙස අවබෝධ කරගතයුතු ද නොවේ. මන්ද මා ඉහතින් අවධාරණය කලාසේ ‘ඉස්ලාම්’ යනු ලෝක දහමන් අතර තවත් දහමක් නොවේ. එය දිව්‍යමය මඟපෙන්වීමක් මත ගොඩනැඟුණූ අසමසම ජීවන සැලැස්මක්. මේ හේතුව නිසා ලොව අනිකුත් දහමන් තුල දකින පොදු ලක්ෂණ ඉස්ලාම් තුල ද එලෙසම පැවතිය යුතු යයි කිසිවකු අපේක්ෂා කිරීම සාධාර්ණ වූ අපේක්ෂාවක් නොවේ. ලොව ඕනෑම දහමකට ඒ ඒ දහමට ආවේනික වූ කරුණූ කාරණා බොහෝමයක් පැවතිය හැක. ඉස්ලාම් දහම තුලත් එවැනි දෑ දකින්න‍ට ඇත. ඉහත සදහන් ශුද්ධ වූ දේවස්ථානය මූලික කරගෙන ද එවැනි සුවිශේෂී කරුණූ කාරණා නීතිරීති බොහෝමයක් දක්නට ඇත. නිදසුනක් ලෙස කිහිපයක් පවසනවා නම්,


> අපිරිසිදුවන්තයන් (මේ පිලිබදව විග්‍රහයක් පහතින් ඉදිරිපත් කරමි) ලඟාවීම පවා සම්පූර්ණයෙන් තහනම් කල ලොව ප්‍රථම හා එකම දේවස්ථානය මක්කාවේ පිහිටි ‘බක්කා’ නම් දේවස්ථානය පමණි.

> එම ‘බක්කා’ දේවස්නය අවට භූමිය ‘අභය භූමිය’ ලෙස ඉස්ලාම් නම් කොට ඇත. ඒ අනුව එම භූමිය තුල සටන් කිරීම සම්පූර්ණයෙන් තහනම්ය.

> එම ‘බක්කා’ දේවස්නය අවට භූමිය ‘අභය භූමිය’ ලෙස ඉස්ලාම් නම් කොට ඇති නිසා එම භූමිය තුල දඩයම් කිරීම ද සම්පූර්ණයෙන් තහනම්ය.

> එපමණක් නොව එම දේවස්ථානය අවට භූමියේ ඇති ගස්කොලන් පමණක් නොව තෘණ ශාක ඉගිලීම හෝ විනාශ කිරීම පවා සම්පූර්ණයෙන් තහනම්ය.

> කුසල් අපේක්ෂාවෙන් මුස්ලීම්වරයෙකුට චාරිකා කලහැකි දේවස්ථාන තුනක් පිලිබදව ඉස්ලාම් පවසන අතර ඒ අතර මෙම ‘බක්කා’ දේවස්ථානය ද එකකි.

මේ ආකාරයට එම දේවස්ථානයට හා ඒ අවට ප්‍රදේශයට ආවේනික වූ නීතිරීති ගණනාවක් ඉස්ලාම් පනවා ඇත. මේ තුලින් ද පැහැදිලි වන්නේ ලොව අනිකුත් දහමන් තම පූජනීය ස්ථානවලට පනවා ඇති නීතිරීති පදනම් කරගෙන එයට සාපේක්ෂව ඉස්ලාමීය නීතිරීති විමසා බැලීම බුද්ධිමත් හෝ සාධාර්ණ වූ ක්‍රියාවක් නොවන බවයි. එම කාරණ හොදින් මතකයේ රදවාගෙන ඉහත පාඨක පැනය තුල ඉදිරිපත් වන ශුද්ධ වූ කුර්ආන් පාඨය වෙත දැන් අවධානය යොමු කරමු.


විශ්වාසවන්තයෙණි!, නියත වශයෙන්ම (අල්ලාහ් (දෙවි)ට) සමානයන් තබා නමදින්නන් අපිරිසිදුවන්තයන්ය. එම නිසා ඔවුන් මෙම ‘හරම්’ (බක්කා නම්) ශුද්ධ වූ දේවස්ථානයට මෙම වර්ෂයේ පටන් මින් මතුවට ලඟා නොවිය යුතුය…


ශුද්ධ වූ කුර්ආනයේ 9-28


ඉහත දිව්‍යමය වාක්‍යය තුලින් මක්කාවේ පිහිටි ‘බක්කා’ දේවස්ථානයට ‘අල්ලාහ් (දෙවි)ට සමානයන් තබන්නන්’ ලඟා නොවිය යුතු බව පැහැදිලිව පැවසේ. මෙම කාරණය හොදින් වටහා ගැනීම පිණිස ‍’දෙවියන්ට සමානයන් තැබීම’ යන්න පිලිබදව කෙටි විග්‍රා‍හයක් මෙහි ඉදිරිපත් කරන්නේ නම්,


දෙවියන්ට සමානයන් තැබීම,


  ඉස්ලාමීය විශ්වාසය අනුව දෙවියන් යනු ‘සර්වබලධාරී එකම දෙවියා වන අතර ඔහු සතු ගුණාංග හා ශක්තීන් වෙන කිසිවකුට හෝ කිසිවකට සමාන කිරීම නොකලයුත්තකි. නිදසුනක් ලෙස පවසනවා නම්, කෙනෙකු ඕනෑම තැනක සිට ඕනෑම භාෂාවකින් කියන යමක් වෙනත් තැනක සිටින කිසිවකට හෝ කිසිවකුට කිසිදු (උපකරණ භාවිතයකින් තොරව) සරලව හා අපහසුවකින් තොරව පහසුවෙන් අවබෝධ කරගත හැකි යයි කිසියම් මුස්ලීම්වරයෙකු විශ්වාස කරන්නේ නම් එය ‘ශීර්ක්’ හෙවත් ‘දෙවියන්ට සමානයන් තැබීමක්’ ලෙස ඉස්ලාම් දකී. නිදසුනක් ලෙස මියගිය පුද්ගලයන්ගෙන්, ගස්ගල්, පිලිම... යනාදීය සමඟ කථාකිරීම, ඔවුන්ගෙන් ප්‍රාර්ථනා කිරීම යනාදීය සදහන් කලහැක. මන්ද එය දෙවියන් සතු ගුණාංගයක් වන අතර එය දේව මැවීමකට ගැලපීම දෙවියන්ට සමානයන් තැබීමක් ලෙස ඉස්ලාම් දකී. මෙය ඉස්ලාමීය ඉගෙන්වීම අනුව දෙවියන් කිසිදු විටෙක සමාව නොදෙන මහා පාපයකි. මේ අනුව නමින් මුස්ලීම්වරයෙකු වූ කිසියම් පුද්ගලයෙකු ක්‍රියාවෙන් ඉහත ආකාරයේ කටයුතුවල විශ්වාසයක සිටී නම්, ඔහු ‘සමානයන් තබන්නෙකු’ බවට පත්වේ. එනම් ‘ශිර්ක්’ නම් මහා පාපයේ නිරත වන්නෙකු බවට පත්වේ. එසේ වුවා නම්, ඔහු සදහා ද ඉහත 9-28 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය අවධාරණය කරන නීතිය වලංගු බව මෙහි පැහැදිලිව වටහාගත යුතුය.  මෙතැනදී අවධාරණය කලයුතු කාරණයක් ද ඇත. එනම් ඉහත 9-28 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් අවධාරණය කරන්නේ පුද්ගලයෙකුගේ සිතුවිලි හා මතවාදය තුල ඇති පාරිශුද්ධත්වය මිස පුද්ගලයෙකුගේ බාහිර පිරිසිදුකම නම් නොවේ.


දැන් ඔබට ‘එසේනම් මුස්ලීම්වරයෙකු ශාරීරික වශයෙන් අපිරිසිදු වීම මෙහිදී වැදගත් නොවේද?’ යන සැකය මෙහිදී ඇතිවීමට පුළුවන. පැහැදිලිවම මුස්ලීම්වරයෙකු වුවත් ඔහු ශාරීරිකව අපිරිසිදු තත්වයේ  සිටින්නේ නම්, ඔහුට මෙම මස්ජිදය වෙත ගමන් කිරීම තහනම් යන්න මාගේ නිගමනයයි. මෙය වඩාත් හොදින් කියාපාන ඉගෙන්වීමක්(හදීසයක්) නබිතුමාණන්ගේ ප්‍රථම හා එකම හජ් වන්දනයේ දී එතුමාණන්ගේ බිරිද වන ආයිෂා (රලි) තුමියට මාස්ශුද්ධිය ඇතිවූ මොහොතේ නබිතුමාණන්ගේ මඟපෙන්වීම ගෙනහැර දැක්විය හැක. එහිදී නබිතුමාණන් එතුමියට අණ කලේ ඉහතින් සදහන් දේවස්ථාන ‘තවාෆ්’ (එය වටා වට 07ක් ගමන්) කිරීම නොකරන ලෙසත් පිරිසිදු තත්වයට පත්වුවාට පසු එම වන්දනය ඉටු කරන ලෙසත්ය. මේ සිදුවීම තුලින් පැහැදිලි වන්නේ ඉහත දේවස්ථානය වැදුම් පිදුම් කිරීම සදහා සිතුවිලිවල පාරිශුද්ධත්ව මෙන්ම ශාරීරික පාරිශුද්ධත්වයත් අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්න නොවේද?. අවසාන වශයෙන් එක් කාරණයක් අවධාරණය කරමින් මෙම ලිපියට විරාමය තබමි. එනම්, ඉහත නීති සියල්ල ලොවපුරා තිබෙන සියළුම මුස්ලීම් දේවස්ථාන සදහා පොදු නීතියක් නොවන අතර මෙම සියළු නීතිරීති වලංගු වන්නේ මක්කාවේ පිහිටි ලොව ප්‍රථම දෙව්මැදුර වන ‘බක්කාව’ සදහා පමණක් යන්නයි.


 

ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Aug 10

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives