උපන්බිමට දක්වන ආදරය හා වියරුව from Ibnu Saheer's blog

මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි. එසේම තම උපන්බිම වෙනුවෙන් කිසියම් යුතුකමක් හා වගකීමක් සෑම පුරවැසියකු තුලම තිබෙනවා යන්නත් ප්‍රතික්ෂේප කලනොහැකි සත්‍යයකි. මෙම හැඟීම ජාතියට ආගමට සීමා වූ නොවූ කාරණයක් යන්න යථාර්තයකි. අදේවවාදීයෙකු වූවත්, දේවවාදියෙකු වූවත් එසේ නොවන ඕනෑම ආකාරයක චින්තනවාදියෙකු වූවත් ඔවුන් තුල තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකර්ෂණයක් හා හැඟීමක් පැවතීම ස්වභාවිකව ඇතිවන තත්වයකි. 


නමුත් එය හුදෙක් ජාතිමාමක උණුසුම් වාග් මාලාවන් හෝ ජන රුලීන් සංවිධානය කිරීම හා ජන රුලි පැවැත්වීම වැනි පටු සීමාවන්ට කොටු කලහැකි යුතුකමක් හෝ වගකීමක් නොවේ. එය රටේ සෑම පුරවැසියකු තුලම හඳවතින් මතුව ආයුතු හා පිලිඹිබු විය යුතු හැඟීමකි. මා මෙසේ පවසන විට මුස්ලීම් නොවන සමහරක් පිරිස් තුල ජනප්‍රිය පැනයක් මතුවෙන්නට පුළුවන. එනම්, 


‘කෝ මුසලීම්වරුන් ලඟ එවැනි හැඟීමක් දකින්න නැහැනේ. ඔවුන් තම රටට ආදරය කරන බවක් පෙනෙන්නට නැහැනේ’ යන්නයි. 


මෙය මුස්ලීම් ජනතාවට විරුද්ධව මුස්ලීම් විරෝධීන් විසින් සිතාමතා නිර්මාණය කල ජනප්‍රිය චෝදනාවකි. මෙම චෝදනාව අන්තර්ජාලය තුල නිතර දකින්නට ලැබේ. නමුත් උපන්බිම කෙරෙහි ආදරය දැක්වීම වර්ථමාන ලෝකයේ සමහරක් පිරිස් චෝදනා නඟනවාසේ, එය ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන හෝ එවැන්නක් පෙන්වා නොදෙන ආදර්ශයක් නොවේ. එය ඉස්ලාම් දහම ද මුස්ලීම් ජනයාට උනන්දු කරවන එසේම අනුමත කරන යහපත් ආදර්ශයකි. එනමුත් ඉස්ලාම් දහම දේශ, ජාති, කුල, භාෂා… යනාදීය කෙරෙහි අන්තවාදී හෝ වියරුවාදී භක්තියකට මඟපෙන්වීමක් කරන්නේ නැත. එවැනි දෘෂ්ඨියකින් ඒ දෙස බැලීම ඉස්ලාම් ‘ජාහිලියත්’ (අඥාන සම්ප්‍රදායන් – ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවති අඳුරු විකෘති සමාජ සම්ප්‍රදායන්) ලෙස දකී. 


ඉස්ලාම් දහම ජාති, කුල, ගොත්‍ර හා භාෂා... යන සියළු සංකල්ප අනුමත කලත් ඒ සියල්ල එකින් එක අභිබවා යන සාධක ලෙස නොපිලිගනී. එනම්, 

• එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස්, 

• එක් ගෝත්‍රයක් තවත් අනික් ගෝත්‍රයට වඩා උසස්, 

• එක් කුලයක් තවත් කුලයකට වඩා උසස්, 

• එක් භාෂාවක් තවත් භාෂාවකට වඩා උසස්, 


යන්න පිලිනොගනී. මන්ද ඉස්ලාමීය දෘෂ්ඨිය දේශයකට, ජාතියකට, ගෝත්‍රයකට හෝ භාෂාවකට සීමි වූ එකක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාම ඉලක්ක කරගත් ‘උම්මා’(සමස්ථ මුස්ලීම් ලෝකයම එකම ජන සමාජයක්) යන සංකල්පය මත පදනම් වූ එකකි. තවත් සරලව පවසනවා නම් ඉස්ලාමීය දෘෂ්ඨිය සමස්ථ ලෝකයම ආවර්ණය කරගත් එකක් මිස ජාතියක්, දේශයක් හෝ භාෂාවක් පදනම් කරගත් එකක් නම් නොවේ.  


ඒ අනුව ඉස්ලාම් දහම රට, ජාතිය, ගෝත්‍රය… යනාදී සීමාවන් බිඳ ඉදිරියට ගොස් මනුෂ්‍ය අයිතීන් හා නිදහස පිලිබදව ජාත්‍යන්තර මට්ටමින් කථා කරන ලොව එකම දහමකි. කෙසේ වෙතත් මා ඉහතින් සදහන් කලාසේ රට, ජාතිය, භාෂාව… වැනි කාරණයන් කෙරෙහි මනුෂ්‍ය ආකර්ශන ඇති වීම ස්වභාවික තත්වයක් වන නිසා ඒ ස්වභාවික පිලිගැනීම ඉස්ලාම් ප්‍රතික්ෂේප නොකරයි. එම යථාර්තය පහත ශූද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් ද ඔබට පැහැදිලි වේ. එනම්, 


මනුෂ්‍යයනි!, අපි නුඹලා ව එකම එක පුරුෂයෙකුගෙන් හා ස්ති‍්‍රයකගෙන් නිර්මාණය කළෙමු. පසුව නුඹලා එකිනෙකා හඳුනාගනු පිණිස ගෝත‍්‍රයන් හා ජාතීන් බවට පරිවර්ථනය කළෙමු. සැබැවින්ම, ඔබලා අතරින් දෙවියන් හමුවේ වඩාත් ම ගෞරවයට පාත්‍ර වූ තැනැත්තා වන්නේ සදාචාර සම්පන්න තැනැත්තාය. ශුද්ධ වූ කුර්ආනය 49-13  


ඉහත 49-13 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ඉහතින් මා පැවසූ යථාර්තය ඔබට පැහැදිලිවනු ඇත. ඉහත වාක්‍ය‍යේ... 


• මුල් කොටසේ අල්ලාහ් (දෙවි) ‘මනුෂ්‍යයනි!, අපි නුඹලා ව එකම එක පුරුෂයෙකු හා ස්ති‍්‍රයකින් නිර්මාණය කළෙමු’ යනුවෙන් සමස්ථ ලෝක වාසී ජනතාවගේ විකාශනය හා ඒ නිසාම ඔවුන් තුල ගොඩනැඟිය යුතු ජාත්‍යන්තර සාමූහික බැදීම පැහැදිලිව අවධාරණය කරයි.  

• එසේ රට, ජාතිය, භාෂාව ඉක්මවා ගිය ජාත්‍යන්තර බැදීමේ අවශ්‍යතාවය මනුෂ්‍ය වර්ගයාට අවධාරණය කරන ඉස්ලාම් දහම එම වාක්‍යයේ දෙවැනි කොටස වන ‘නුඹලා එකිනෙකා හඳුනාගනු පිණිස ගෝත‍්‍රයන් හා ජාතීන්බවට පරිවර්ථනය කළෙමු’ යනුවෙන් පැවසීම තුල මිනිස් වර්ගයා ජාති, කුල, ගෝත්‍ර යනාදී ලෙස වෙන් වී ජාතියක් ලෙස ගොඩනැඟීම වරදක් නොවන බව ද අවධාරණය කරයි.  

• එසේ පවසන ඉස්ලාම් එම වාක්‍යයේ ඊළඟ කොටසින් සීමාවක්ද මිනිස් සමාජයට පනවයි. ඒ ‘ඔබලා අතරින් දෙවියන් හමුවේ වඩාත් ම ගෞරවයට පාත්‍ර වූ තැනැත්තා වන්නේ සදාචාර සම්පන්න තැනැත්තා’ යන්නයි. මේ තුල මිනිස් සමාජය ජාතියක්, ගෝත්‍රයක් ලෙස බෙදී භේදවීමට කිසිවක් නොමැති බවත්, ජාතියක්, ගෝත්‍රයක් යන්න ආඩම්භර වීමට හෝ තම ජාතියට ගෝත්‍රයට මහිමයක් එක් කිරීමට හේතු කාරණයක් නොව බවත්, එය මනුෂ්‍ය වර්ගයා එකින් එකා හදුනාගැනීම පහසු පිණිස සදහා පමණක් නිර්මාණය වූ සාමාන්‍ය තත්වයක් බවත් මෙහි පැහැදිලි ලෙස පවසයි.


ඉහතින් සදහන් 49-13 වාක්‍යයට අමතරව තවත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකට අවදානය යොමු කලේනම්, 


අහස පොළොව නිර්මාණය කොට, ඔබලා සදහා භාෂාවන්ද, වර්ණයන් ද ලබා දී තිබීම ඔහුගේම සාක්ෂි වන්නේය. නියත වශයෙන්ම බුද්ධිමත් ජනයාට එහි සාක්ෂි ඇත්තේමය ශුද්ධ වූ කුර්ආනය 30-22  


ඉහත 30-22 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය වෙත බුද්ධිමත් අවදානය යොමු කලේනම්, එහි අල්ලාහ් (දෙවි) අවධාරණය කරන්නේ ලොවපුරා විවිධ භාෂාවන් හා ජාතීන් බිහිවීම බුද්ධිමත් ජනයාට දේව මැවීමන් හා එහි සැලැස්මන් පිලිබදව සාකෂි ගෙනහැර දක්වන සාධකයක් මිස ඒ ඒ ජන සමාජයට මහිමයන් ගෙනදෙන සාධකයන් නොවන බවයි. 


ඒ අනුව ඉහත ශුද්ධ වු කුර්ආන් වාක්‍යයන් දෙක තුලින් පැහැදිලි වන පොදු කාරණය නම්, රටක ජාතිය, ගෝත්‍රය හෝ භාෂාව යන්න ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන සංකල්පයන් නොවන බවයි. මෙය තවදුරටත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ නබිවදනක් (හදීසයක්) ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්, 


මුහම්මද් (සල්) තුමාණන් තමා උපන්බිමෙන් (මක්කාවෙන්) ඉස්ලාම් විරෝධීන් නෙරපූ මොහොතේ (මක්කාවේ) එහි මායිමට පැමිණි මුහම්මද් (සල්) තුමාණන් මක්කාව දෙස බලා මෙසේ පවසන ලදී. ‘මේ පොළොව මත මට ඉතා ප්‍රියමනාපම භූමිය මක්කාව වන නුඹ වන්නේය, මේ ජනයා මාව මේ ආකාරයට නෙපුවේ නැත්නම් කිසිදු දිනක මා ඔබ අතහැර නොයමි’. මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී  


ඉස්ලාම් විරෝධීන්ගේ මරණ තර්ජනය හේතුවෙන් තම උපන් බිම වන මක්කාව අතහැර මදීනාවට යන නබිතුමාණන් එහි මායිමේ හිඳ මක්කා භූමිය සමඟ දොඩමළුවූ ආකාරය ඉතා සංවේද ජනකය. කුඩා දරුවෙකු සමඟ කථා කරන ආකාරයට මක්කා භූමිය සමඟ එතුමාණන් කථා කලේ තමා උපන් බිමට එතුමාණන් තුල තිබූ ආදරය හා ඒ බිම අතහැර යාම සම්බන්ධයෙන් එතුමාණන් තුල පැවතී දුක නිසාය. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, මුහම්මද් (සල්) තුමාණන් ඉහත ආකාරයට මක්කාවෙන් සමුගෙන ගියේ ශූද්ධ වූ භූමියක් වන, තමන්ට රාජ්‍ය බලය පවා දායාද කෙරූ සියළු ජනයාගේ ආශීර්වාදය හිමිව තිබූ මදීනාව නම් භූමියකටය. එසේ නමුත් නබිතුමාණන්ට තම උපන් බිම වන මක්කාව අතහැර යාම එතරම් පහසු කටයුත්තක් නොවුයේ ඉහතින් මා සදහන් කල ආකාරයට මනුෂ්‍යාගේ ලේවල දියවී තිබෙන උපන් බිම කෙරෙහි බැදීම ඒ සියල්ල ඉක්ම වූ බැදීමක් වන නිසාත් එය ඉස්ලාම් අනුමත කරන බැදිමක් වන නිසාත්මය. 


මනුෂ්‍යෙයකු තුල තම රට මූලික කරගත් දේශමාමක, ජාතිමාමාක, භාෂාමාමක හැඟීමන් පැවතීම අවශ්‍යය. එය එක්තරා ආකාරයක තම උපන් බිමට කරන යුතුකමකි. නමුත් එය වියරුවක් නොවිය යුතුය. තම දේශය උතුම් කොට සලකා අනිකුත් දේශයන් කෙරෙහි වෛරයක් ඇති කරගැනීම පිලිකුල්සහගත ඉස්ලාමීය පෙන්වා නොදෙන ආදර්ශයකි. එසේම තමන්ගේ ජාතිය උසස් නොට සලකා අනික්තු ජාතීන් කෙරෙහි වෛරයක් ඇති කර ගැනීම ද ඉස්ලාමීය මඟපෙන්වීමක් නොවේ. තමන්ගේ භාෂාව උසස් කොට සලකා අනිකුත් භාෂාවන් ගැරහීම ද ඉස්ලාම් අනුමත කාරණයක් නොවේ. එලෙස ක්‍රියා කිරීම ඉස්ලාම් ‘ජාහිලියත්’ (නොහොත් අඥාන - ඉස්ලාම් නොමැති අඳුරු යුගයේ ක්‍රියාවක්)යයි පවසයි. තවත් සරලව පවසනවා නම්, අපගේ දේශමාමාක , ජාතිමාමක හෝ භාෂාමාමක හැඟීමන් තවත් දේශයක, ජාතියක, භාෂාවක අයිතීන් උදුරාගන්නා තැනට යොමු නොවිය යුතුය,


මනුෂ්‍ය නිදහසට එයින් බාධාවක් ඇති නොවිය යුතුය. මේ සීමාවන් නිවරැදිව හදුනාගෙන කටයුතු කිරීම තුල පමණයි සමස්ථ ලෝකවාසී ජනයා තුල සැබෑ සාමය, සහෝදරත්වය, සමඟිය, සතුට, සහජීවනය, සංහිඳියාව හා නිදහස ඇති කලහැකි වන්නේ. ඒ සදහා ශ්‍රි ලාංකීය ජනයාටත්, සමස්ථ ලෝකවාසීන්ටත් නුවණැස පෑදේවා !, යන ප්‍රාර්ථනය සමඟින් මෙම ලිපියට විරාමය තබමි.


ඉබුනු සහීර්



Share:
Previous post     
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Write to Yahamaga

මෙහි Click කරන්න

Parallel Sites

Blogs

Ibnu Saheer
මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි.... more
Ibnu Saheer
ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂි දිනයන් පිලිබදව කරන ඉස්ලාමීය විමසුම මේ ලිපිය යටතේ පෙලගැසීම සිදු... more
Ibnu Saheer
2020 නව වසර උදාවත් සමඟ නව වසර සදහ වූ සුභපැතුමන් හතරවටින් ප්‍රකාශ වෙමින් ඇත. මේ මොහොතේ බහුතර මුස්ලීම්... more

Forum Topics

Ibnu Saheer
ලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ පිළිවෙළින් ඉඩම් ආරවුල්, අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය... More
Ibnu Saheer 3 hours ago
Ibnu Saheer
සියළු සත්වයෝ සුවපත් වෙත්වා..! - මේ බෞද්ධ ප්‍රතිපදාවයි. නමුත් ලොව එකම බෞද්ධ රටේ එම ප්‍රතිපාදව... More
'':
fade
slide
Rating: