ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම ‘යහමඟ’ වෙබ් අඩවියේ මුඛ්‍ය අරමුණයි. එම අරමුණ කරා වූ ගමන් මඟ තුල බාධක ගණනාවක් ද විසඳා ගනිමින් ඉදිරියට ගමන් කිරීමට සිදුවීම වීශාල අභියෝගයක් වි‍ය. එවන් අභියෝග අතුරින් ප්‍රධානම අභියෝගය වූයේ ඉස්ලාමීය මූලාශ්‍රයන් පහසුවෙන් කියවීමට අවස්ථාවක් අන්තර්ජාලය තුල නොමැති වීමයි. අන්තර්ජාලය තුල ආගමික විෂයන් කථා කරන වෙබ් අඩවීන් බොහෝමයක් දක්නට ලැබුණත්, එහි ආගමික මූලාශ්‍ර ඉදිරිපත්වීමක් දක්නට නොලැබීම අඩුපාඩුවක් විය. මන්ද ආගමික මූලාශ්‍රයන් තුලින් කිසියම් ඉගෙන්වීමක් සෘජුවම ඉදිරිපත් වන නමුත් ලිපියක් තුලින් හෝ එහි ඉදිරිපත් කරන විග්‍රහයන් තුලින් එවැනි සෘජු හා නිවරුදි ඉදිරිපත් වීමක් අපේක්ෂා කල නොහැකි වීම විශාල දුර්වලතාවයකි.

ඒ අනුව මීට වසර කිහිපයකට පෙර එනම් 2012/2/25 දින විශේෂයෙන් ඉස්ලාමීය මූලාශ්‍රයන් සෘජුවම අන්තර්ජාලය තුල හෙළ බසින් ඉදිරිපත් නොවන අවදියක එම අඩුව දුරු කිරීමේ පලමු පියවර ලෙස ‘ශුද්ධ වූ කුර්ආනය‘ වාක්‍යයෙන් වාක්‍යයට ඉදිරිපත් වන හා පහසුවෙන් ඉඟි සෙවුම් කල හැකි වෙබ් අඩවියක් තවත් බොහෝ පිරිසකගේ සහය ඇතුව නිර්මාණය කිරීම ආරම්භ කරන ලදී. අන්තර්ජාලය තුල ශුද්ධ වු කුර්ආනය සිංහල භාෂාවෙන් පහසුවෙන් කියවීම සදහා නිසි වැඩ පිලිවලක් නොපැවති අවදියක එම අඩුව නිරාකරණය කිරීම සදහා බොහෝ පිරිසකගේ හා බොහෝ වෙබ් අඩවිවල මෙන්ම ශුද්ධ වූ කුර්ආන් සිංහල භාෂා පරිවර්ථන පොත්පත්වල සහය ඇතුව අරම්භ කල ඒ ශුද්ධ වූ මෙහෙවරේ එක් අදියරක් දැන් සාර්ථකව නිමාකොට ඇත. ශුද්ධ වු කුර්ආන් වාක්‍යයන්, වාක්‍යයෙන් වාක්‍යයට පහසුවෙන් කියවීමට හැකි ආකාරයට මෙන්ම සෙවීමට හැකි ආකාරයට ඉදිරිපත් කරන ‘ශ්‍රී-කුර්ආන්’ (www.sriquran.com) නම් වෙබ් අඩවිය ඉස්ලාමීය ඉගෙන්වීමන් අධ්‍යනය කරන මුස්ලීම් හා මුස්ලීම් නොවන සෑම කෙනෙකු හටම ඉමහත් පිටුවහලක් වනු ඇත යන්න මාගේ දැඩි විශ්වාසයයි.

විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආන් පාඨයන් පිලිබදව විවිධ වූ මතවාද ඉදිරිපත් කරමින් ඒවාට විවිධ විග්‍රහයන් ඉදිරිපත් කරමින් සංවාදයන් ගොඩනඟන නූතන වකවානුවේ මෙම ‘ශ්‍රී-කුර්ආන් ’ අඩවිය එවැනි මතවාද සදහා විවෘත වේදිකාවක් කරදීමට මෙම අඩවිය තුලින් මා අපේක්ෂා කරන මූලික ඉලක්කයයි. එයට තවත් හේතුවක් ද ඇත. එනම් කිසියම් ග්‍රන්ථයක් එහි මුල් භාෂාවෙන් පරිවර්ථන ඉදිරිපත් කිරීමේ දී විවිධ හේතු මත එහි පරිවර්ථන දෝෂ ඇතිවීමට පුළුවන. එවැනි දුර්වලතාවයන් අවම කරගැනීම පිණිස මෙම ‘ශ්‍රී-කුර්ආන්’ අඩවිය තුල ඉදිරිපත් කරන සෑම කුර්ආන් වාක්‍යයක් සදහා ම පාඨක අදහස් එක් කිරීමේ අවස්ථාව මේ තුල සලසා දී තිබීම ඔබට පහසුවකි. ඊට අමතරව එම වාක්‍යයන් සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන පිරිසටත් එම විවේචනයන්ට ප්‍රතිචාර දක්වන පිරිසටත් මෙම අඩවිය විවෘත වේදිකාවක් කර දී තිබිම මෙහි තවත් සුවිශේෂත්වයකි. එම නිසා අවංක වූ ප්‍රතිචාරයන් ශිෂ්ඨසම්පන්න ආකාරයට ඉදිරිපත් කරන්න ‘ශ්‍රී-කුර්ආන්’ පාඨක ඔබ සියළුදෙනාට මෙයින් ආරාධනා කරන අතර මෙම අඩවිය තුල ඔබ අප හමුව යහහමුවක්ම වේවා! යනුවෙන් ද ප්‍රාර්ථනා කර සිටිමි.

මෙහිදී අද විශේෂයෙන් සදහන් කලයුතු තවත් කාරණා කිහිපයක් ද ඇත. එනම් 2012/02/25 මෙම මෙහෙවර ආරම්භ කරන විට මේ ආකාරයේ වෙබ් අඩවියක් අන්තර්ජාලයේ දක්නට නොලැබුණි. නමුත් අල්හම්දුලිල්ලාහ්, ‘ශ්‍රී-කුර්ආන්’ අඩවිය ඉදිරිපත් කරන මේ මොහොත වනවිට එවැනි වෙබ් අඩවීන් ගණනාවක් අන්තර්ජාලය තුල ඉදිරිපත්ව ඇත. එවැනි වෙබ් අඩවීන්වල සහය ද ‘ශ්‍රී-කුර්ආන්’ ලබාගැනීම නිසා ඉතා ඉක්මණින් මෙම අඩවිය මෙලෙස ඉදිරිපත් කිරීමට අද හැකි වී ඇත. ඒ අනුව සෘජුව හා වක්‍ර ආකාරයන්ට මෙම අඩවියේ සාර්ථකත්වයට සහය ඒ සියළු පාර්ශවයන්ට ‘ශ්‍රී-කුර්ආන්‘ ස්තූතිය පුද කරන අතර මෙවැනි මෙහෙවරයන්ට තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා!, යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කර සිටිමි.

අවසාන වශයෙන් මෙම අඩවියේ සාර්ථකත්වය සදහා මෙන්ම වඩාත් පලදායි ආකාරයට මෙය පාඨක ඔබට සමීප කිරීම සදහා මෙම අඩවිය පිලිබදව පාඨක ඔබේ බුද්ධිමත් අදහස් හා යෝජනා අපේක්ෂා කර සිටිමි. ඒ සදහා ඔබේ ප්‍රතිචාර ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර මේ දක්වා වූ ගමන්මඟ තුල ‘ශ්‍රී-කුර්ආන්’ හා අත්වැල් බැඳගෙන නන්අයුරින් සහය වූ ඔබ සියළු පාර්ශවයන්ට ‘ශ්‍රී-කුර්ආන්’ ස්තූතිය ද පුදකර සිටිමි.

අදහස් යොමු කරන්න :- yahaadmin@yahamaga.com

වෙබ් අඩවිය වෙත පිවිසෙන්න www.sriquran’yahamaga.com

 

Leave a reply

You must be logged in to post a comment.

SLMN (Social) Site

Yahamaga Site

Sri-Quran Site

Nervali (Tamil) Site